තානාපති සේවයට කළු පැල්ලමක් එක් කළ උදයංග අත්අඩංගුවට

 ඡායාරූපය:

තානාපති සේවයට කළු පැල්ලමක් එක් කළ උදයංග අත්අඩංගුවට

මීට වසර 69 කට පමණ පෙර ආරම්භ වූ මෙරට විදේශ සේවාවේ අඳුරුතම කාල පරිච්චේදය ලෙස මහින්ද රාජපක්ෂ යුගය හැඳින්වීමට දෙවරක් සිතිය යුතු නැත. ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාර ගණනාවක්ම ඒ යුගයේ මෙරටට එල්ල විය. දුර්වල ප්‍රතිපත්තිමය තීරණ සහ රටක් ලෙස අනුගමනය කරන ලද දියාරු විදේශ ප්‍රතිපත්තියට අමතරව ඒම අතාර්කිකභාවයට ප්‍රධාන වශ යෙන්ම හේතු වූයේ විදේශ දූත සේවා වෙනුවෙන් මෙරටින් පිටරටවලට යවා තිබූ නියෝජිතයන්ගේ අකාර්යක්ෂමභාවයයි.  එයට කදිම උදාහරණය නම් එම යුගයේ එක්තරා අවස්ථාවක් වන විට අපගේ රාජ තාන්ත්‍රික පත්වීම් හැට දෙකෙන් තිස් පහක්ම පුරවා තිබුණේ විදේශ සේවාවෙන් පරිබාහිර දේශපාලන පත්වීම් වලිනි.

දේශපාලනික අර්ථයෙන් අතිශය වැදගත් මර්මස්ථාන වන නිව්ෙයෝර්ක්, මොස්කව්, රෝමය, ලන්ඩනය, ප්‍රිටෝරියා, බ්‍රසීලියා, ජිනීවා ආදී ස්ථාන සඳහා තම දේශපාලන සුරතලුන් රට නියෝජනය කිරීම සඳහා පත් කර යවමින් රාජපක්ෂ පාලනය මෙරටට කරන ලද හානිය සුළුපටු නොවේ. කෙසේ වෙතත්,

2015 ජනවාරි 08 වනදා සිදු වූ ආණ්ඩු පෙරළියෙන් පසුව මේ වන විට තත්වය යහපත් මට්ටමට හැරී ඇත. රාජපක්ෂ සමයේ මෙරටින් යවන ලද දූෂිත විදෙස් දූතයන් මෙරටට ගෙන්වා සුදුසුකම් මත සුදුසු පුද්ගලයින් මෙරට දූත මෙහෙවරට යොදාගැනීමට යහපාලන රජය ක්‍රියා කරනු ලැබීය.  

කරුණු එසේ වෙමින් තිබියදී රාජපක්ෂ සමයේ මෙරටින් රුසියාව වෙත යවා තිබු උදයංග වීරතුංග නම් දූෂිත රාජපක්ෂ සුරතලා ගැන නැවත පුවත් මවමින් කරළියට පැමිණියේ ඊයේ උදෑසන ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමගය.  

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ඥාති සොහොයුරකු වන උදයංග වීරතුංග වසර 09 කට ආසන්න කාලයක් තිස්සේ එකම රටක තානාපති වශයෙන් කටයුතු කළේය. එලෙස එකම රටක තානාපතිවරයකු වශයෙන් රාජකාරි කිරීමේ භාග්‍යය උදයංගට හිමි වූයේ රාජපක්ෂවරුන්ට තිබුණ ඥාතිත්වය නිසා මිසක වෙනෙකක් නිසා නොවේ. යුක්රේනයේ අගනගරය වන කිව් හි ‘ක්ලබ් ශ්‍රී ලංකා‘ නම් වූ ශ්‍රී ලාංකීය ආහාර පාන සහිත අවන්හලේ හිමිකරුවා වූ උදයංග වීරතුංගගේ සුභ කාලය උදා වූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. 2005 වසර ඇරඹෙද්දීත් සාමාන්‍යය ව්‍යාපාරිකයකු වූ වීරතුංග ඉතා කෙටි කාලයක් ඇතුළත ප්‍රබල ව්‍යාපාරිකයෙක් බවට පත්විය. තානාපති පත්වීමක් ලැබීම තරුණ විරතුංගට අත්තටු ලබුණාක් මෙන් විය. හෙතෙම කිසිම හිරිකිතයක් නැතුව රාජ්‍යතාන්ත්‍රිකයකුට හිමි වරප්‍රසාද තම ව්‍යාපාරය වෙනුවෙන්ද යොදාගත්තේය.  

කොටි සංවිධානයට එරෙහිව රටේ සිදු වූ දැවැන්ත යුද්ධයේදී යුක්රේනයෙන් ශ්‍රී ලංකා රජය අවි ආයුද හා යුද උපකරණ මිලදී ගැනීමේදී අතරමැදියා වශයෙන් කටයුතු කරන ලද්දේ උදයංග වීරතුංගය. පසුගිය සමයේ දැඩි කතා බහකට ලක්වූ මිග් යානා ගනුදෙනුව පිටු පස සිටි මහා මොළකරු උදයංග විරතුංගයි. "බෙලිමිසා හෝල්ඩින්ග්ස්" නමැති ආයතනයක් හරහා සිදු කරන ලද මෙමෙ ගනුදෙනුව හරහා ශ්‍රී ලංකා රජයට වූ පාඩුව සුළුපටු නොවේ. 1980 මුල භාගයේ නිෂ්පාදනය කරන ලද ගුවන් යාන හතරක් මෙම ගනුදෙනුව යටතේ මිලදී ගත් අතර, පැවති ගුවන්යානා හතරක් අලුත්වැඩියා කිරීමද මෙම ගනුදෙනුව හරහා එම සමාගමට පවරන ලදි. එය සිදු වුයේ පැවති සම්මත මිල ගණන් වලට වඩා රුපියල් මිලියන 400 ක් ගෙවමිනි. විශේෂිතම කාරණය වනුයේ "බෙලිමිසා හෝල්ඩින්ග්ස්" ආයතනය පවත්වාගෙන යන ස්ථානය බව පවසමින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලබා දී තිබූ බ්‍රිතාන්‍ය ලිපිනයද වැරදි ලිපිනයක් වීමයි. මේ ගනුදෙනුවට යුක්රේනයේ සිට උදයංග වීරතුංග සම්බන්ධීකාරක වන විට මෙරට සිට මහින්ද රාජපක්ෂගේ සම්පූරණ අනු දැනුම සහිතව ගෝඨාභය රාජපක්ෂ මෙහෙයුම් කටයුතු සිදු කළේය. වේදිකාව මත සිට පපුවට අතින් ගසාගනිමින් පළමුවත් මගේ රට දෙවනුවත් මගේ රට තෙවනුවත් මගේ රට කියා පවසමින් රට පුරා ඇවිද ගියද රටේ සිය ගණනක් ජීවිත පුජා කරමින් ආබාධිත බවට පත් කරමින් සිදු වූ ඒ යුද්ධය සමයේදීද ඒ හරහා තම බැංකු ගිණුම් තර කරගැනීම සඳහා ක්‍රියා කළ රාජපක්ෂ පාලනය රටට ජනතාවට සැබෑ ආදරයක් තිබුණා නම් ජනතා මුදල් මෙලෙස විනාශ වීමට ඉඩදෙනු ඇත්දැයි සිතා බැලිය යුතුය.  

මිට අමතර උදයංග විරතුංගට එල්ල වූ තවත් බරපතළ චෝදනාවක් වුයේ යුක්රේන කැරලිකරුවන්ට නීතිවිරෝධී ලෙස අවි ආයුධ සැපයීමයි. යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රාන්තයේ සිට ක්‍රියාත්මක වන කැරලිකරුවන්ට අවි ආයුධ සැපයීම සම්බන්දයෙන් යුක්රේන රජය විසින් උදයංග විරතුංගට විරුද්ධව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක්ද ඉතිරිපත් තර තිබිණ. මෙරට නියෝජනය කරමින් සිටින තානාපතිවරයෙකු මෙලෙස එරට කැරලි කරුවන් සමග ව්‍යාපාරික කටයුතු කරමින් හා උදවු කිරීමෙන් මෙරටට ඇති විය හැකි අපකීර්තිය හා එහි ඇති බරපතළ කම ඕනෑම කෙනෙකුට වැටහෙන කාරණාවකි. තවද තම ව්‍යාපාරික සගයා වන රණවීර කළු ආරච්චිගේ නොයෙල් රණවීර යන අයගේ ඝාතනය ගැනද ඔහුට වරක් චෝදනා එල්ල වී තිබුණි.  

මුදල් විශුද්ධිකරණ වරද යටතේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා උදයංග වීරතුංග අත්අඩංගුවට ගත යුතු බව මුල්‍ය අපරාධ කොට්ටාශය කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ මහේත්‍රාත් අධිකරණය මගින් ජාත්‍යන්තර වරෙන්තුවක් ඔහුට එරෙහිව නිකුත් කරනු ලැබීය. මෙලෙස වරෙන්තු නිකුත් කර තිබියදීත් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඉදිරිපත් නොවී කට්ටි පනිමින් සිටි ඔහු මහින්ද රාජපක්ෂ පිටරට සංචාරයන්හි නිරතවද්දී ඔහු සමග එකට හිඳ තම සමාජ ජාලා ගිණුම්වල පින්තුර පළ කළේය. නීතියට සහ ජනතාවට මෙලෙස ඔච්චම් කරමින් සිනාසුන උදයංග වීරතුංග නමැති රාජපක්ෂ සුරතලා 04.02.2018 දින තම ඥාති සොහොයුරෙකු වන ගෝඨාභය රාජපක්ෂව හමුවීමට ඇමරිකාව බලා පිටත්ව යාමට ඩුබායි ගුවන්තොටුපළෙහි රැඳී සිටියදී ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

[සුජිත් ප්‍රියන්ත]