තුන්වන ලෝක යුද්ධයේ දොරටු වැසූ කෙනඩි

 ඡායාරූපය:

තුන්වන ලෝක යුද්ධයේ දොරටු වැසූ කෙනඩි

ඇමරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා වන ජෝන් එෆ්.කෙනඩි වඩාත් ප්‍රසිද්ධ වූයේ සිය ධුර කාලය අතරතුරදී ඝාතනය වූ ජනාධිපති ලෙසය. ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ වසර 02යි, දවස් 306ක කෙටි කාල සීමාව තුළ කෙනඩි මුහුණ දුන් අසීරු අභියෝගවලට වඩා කෙනඩි ඝාතනය ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ජෝන් ෆිට්ස් ජෙරල්ඩ් කෙනඩි

ජෝන් ෆිට්ස් ජෙරල්ඩ් කෙනඩි උපත ලද්දේ 1917 මැයි 29 වැනි දින ඇමරිකාවේ Brookline, Massachusettsහි දීය.

කෙනඩිගේ පියා වූ ජෝසෆ් පී. කෙනඩි දරුවන් මත විශාල බලාපොරොත්තු තබා සිටි දූරදර්ශී පුද්ගලයකි.

ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වූ ව්‍යාපාර ඔහුට තිබිණි. ව්‍යාපාර මඟින් උපයාගත් විශාල ධනස්කන්ධයක් ජෝසෆ් පී. කෙනඩිට විය.

ජෝන් එෆ්. කෙනඩිට සොහොයුරන් තිදෙනෙකි.

නිරෝගී බුද්ධිමත් පුතුන් සතර දෙනකු ලබා සිටි ජෝසෆ් පී. කෙනඩි ඇමරිකාවේ අනාගතය තම දරුවන් අතින් විසඳෙනු ඇතැයි බලාපොරොත්තු විය.

එක් අවස්ථාවක ජෝසෆ් පී. කෙනඩි පවසා සිටියේ යම් දිනෙක කෙනඩි පවුලේ අයකු ඇමරිකාවේ ජනාධිපතිවරයා වනු ඇති බවයි.

1937 වසරේ ජෝසෆ් පී. කෙනඩි බ්‍රිතාන්‍යයේ තානාපතිවරයා ලෙස පත් විය. ඇමරිකානු දේශපාලනයේ ඉහළ ස්ථරයට කෙනඩිවරු පිවිසෙන්නේ මේ පත්වීම හරහාය. ඇමරිකාවේ දේශපාලනය ගැන අතිශය සංවේදී ජෝසෆ් පී. කෙනඩි තම වැඩිමහල් පුත්‍රයා වන ජෝ කෙනඩිගේ දේශපාලන ආගමනය කෙරෙහි බලාපොරොත්තු රඳවා සිටියේය.

නමුත් එයට ප්‍රථමයෙන් ජෝ කෙනඩි දෙවන ලෝක යුද්ධයේදී මිය ගියේය. ඉන් පසු ජෝසෆ් පී. කෙනඩි තම දෙවැනි පුත්‍රයා වන ජෝන් එෆ්. කෙනඩි මත තම බලාපොරොත්තු රැඳවීය.

1940 වර්ෂයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හමාර කළ කෙනඩි ලුතිනන්වරයෙක් ලෙස ඇමරිකානු නාවික හමුදාවට බැඳී දෙවන ලෝක යුද්ධයට එකතු විය.

සොලමන් දූපත් අසල සිදුවූ දරුණු සටනකින් කෙනඩි ඇතුළු පිරිසක් ගමන් කළ යාත්‍රාවට ජපන් ප්‍රහාරක යාත්‍රාවකින් දැඩි ප්‍රහාර එල්ල විය. ඉන් කෙනඩිගේ යාත්‍රාවට විශාල හානියක් සිදුවිය. එහිදී කෙනඩි, සහෝදර සෙබළුන්ගේ දිවි බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීය. දෙවන ලෝක යුද්ධයේදී වරින් වර විවිධ අවස්ථාවල කෙනඩි පලකළ වීරත්වය වෙනුවෙන් ඔහු ඇගයීමට ලක්විය.

කෙනඩි දේශපාලනයට අමතරව කැපී පෙනෙන දක්ෂතාවක් ලේඛණය කෙරෙහි පෙන්නුම් කළේය. පොත් කිහිපයක් ලියා පළ කළ කෙනඩිගේ සාර්ථකම කෘතිය 'Profiles in Courage' නමැති කෘතියයි. 'Profiles in Courage' වෙනුවෙන් පුලිට්සර් සම්මානය ජෝන් එෆ්. කෙනඩි හට හිමි විය. පුලිට්සර් සම්මාන දිනාගත් එකම ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේද ඔහුය. 1947 වර්ෂයේ දේශපාලනයට පිවිසෙන කෙනඩි 1953 වර්ෂය වන විට ඩිමොක්‍රටික් පක්ෂයෙන් Massachusetts ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනෙට් සභාවට පත්ව සිටියේය.

එවකට අතිශය කඩවසම් තරුණයකුව සිටි ජෝන් එෆ්. කෙනඩි බොහෝ තරුණියන් ඇසුරු කළ බව ප්‍රසිද්ධ කරුණකි. කෙනඩිගේ ස්ත්‍රී ලෝලීත්වය විවාහපත් වී ජනාධිපති වූ පසුවද අතහැරී නොගියේය. 1950 දශකයේ සුප්‍රසිද්ධ ඇමරිකානු නිළියක වූ මැරලින් මොන්රේ සමඟ පැවත්වූ සම්බන්ධයද මැරලින් මොන්රේ තරම්ම ප්‍රසිද්ධය.

අතිශය කෙළිලොල් සෙල්ලක්කාර සුකුමාර ජීවිතයක් ගතකළ ජෝන් එෆ්. කෙනඩි විවාහය සඳහා තෝරාගත් යුවතිය වූයේ ජැකොලයින් ලී බූවියර් නම් ප්‍රංශ පෙළපතක් ඇති තරුණියයි.

1953 සැප්තැම්බර් 12 කෙනඩි සහ ජැකොලයින් අතර විවාහය සිදුවිය. ඇමරිකානු මාධ්‍ය ඇයව පසුකාලීනව 'ජැකී' ලෙස හැඳින්වූ අතර කෙනඩි 'ජැක්' ලෙස හැඳින්වූවේය.

සුරූපි ජැකොලයින් ජෝන් එෆ්. කෙනඩි නම් අනාගත ජනාධිපතිවරයාගේ ගමනට ආශීර්වාදයක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇගේ මනබඳනා විලාසය ජෝන් එෆ්. කෙනඩිගේ ජනතාකර්ෂණය ඉහළ දැමීය.ජැකොලයින් කෙනඩිගේ විලාසිතාවන් ඇමරිකානු තරුණියෝ අනුකරණය කරන්නට පටන් ගත්හ. කඩවසම් ජනාධිපතිවරයා සහ සුරූපී ජනාධිපති ආර්‍යාව ඇමරිකානු ජනතාව අතර අතිශය ජනප්‍රිය විය.

කරටකර සටනකින් ධවල මන්දිරයට

ඇමරිකානු ජනාධිපතිවරණ ක්‍රමයට අනුව පක්ෂය තුළද මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවරෙක්ද යන්න තෝරා ගැනීමට මැතිවරණයක් පැවැත්වෙයි. ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂයේම කෙනඩිගේ ප්‍රතිවාදියා වූයේ ලින්ඩන් බී. ජොන්සන්ය.

එහිදී පහසු ජයක් ලබාගෙන ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනාගන්නට කෙනඩි සමත් විය. ලින්ඩන් බී. ජොන්සන් සමඟ කෙනඩිගේ සටන පහසු එකක් වුවද ජනාධිපතිවරණ සටන ලෙහෙසි පහසු එකක් නොවේ.

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වන රිචඩ් නික්සන් කෙනඩිට කරට කර තරගයක් දිය හැකි මට්ටමේ ප්‍රබල ප්‍රතිවාදියෙකි.

1960 වසරේ ප්‍රථම වරට ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ සජීවී විවාදයක් ඇමරිකානු ඡන්දදායකයන් හට දැකගන්නට ලැබිණි. එම සජීවී රූපවාහිනී විවාදයේදී වඩාත් සාර්ථක වන්නට කෙනඩි සමත් විය.

අවසානයේ කරටකර තරගයකින් කුඩා ඡන්ද පරතරයකින් කෙනඩි ජයගන්නට සමත් විය.

43 හැවිරිදි ළාබාල ජෝන් එෆ්. කෙනඩි ඇමරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා ලෙස 1961 ජනවාරි 20 දිවුරුම් දුන්නේය.

මහජන ඡන්දයෙන් තේරීපත් වූ ඇමරිකාවේ වයසින් අඩුම ජනාධිපතිවරයා ජෝන් එෆ්. කෙනඩිය. ජනාධිපති විලියම් මැකින්ලි ඝාතනය වීමෙන් පසු ජනාධිපති ධුරයට පත් වූ තියොඩර් රූස්වෙල්ට් ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත් වූ ළාබාලතම ජනාධිපතිවරයාය. තියොඩර් රූස්වෙල්ට් ජනාධිපති ලෙස පත්වන විට ඔහුගේ වයස අවුරුදු 42 කි.

අවුරුදු දෙකයි දවස් තුන්සිය හය

ජෝන් එෆ්. කෙනඩිගේ ජනාධිපති භූමිකාව වඩා වැදගත් වන්නේ සමකාලීන ලෝක දේශපාලනයේ කුණාටු හැලහැප්පීම් මැද ඇමරිකාව වෙනුවෙන් ඔහු කළ විශිෂ්ට මැදිහත්වීම් නිසාවෙනි. ඒ කාල වකවානුවේදී එම තීරණ ජනප්‍රිය තීන්දු තීරණ නොවුණද ඒවායේ නිරවද්‍යතාව ගැන කිසිදු සැකයක් නැත. ඒ තීන්දු තීරණවල නිරවද්‍යතාව එදාටත් වඩා අද හොඳින්ම දැනෙයි. කෙනඩි ජනාධිපතිවරයා වී ධවල මන්දිරයට පත්ව ආ කාල සීමාවේ අතිශය බැරෑරුම් දේශපාලන සං‍සිද්ධි සිදුවෙමින් පැවතිණි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව පැහැදිලිවම ලිබරල් ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත් අතර ලිබරල්වාදයේ ප්‍රධාන ආරක්ෂකයා තමන් බවද ප්‍රකාශ කර සිටියේය.

කෙනඩි උපන් වර්ෂයේම ඇමරිකාවේ ප්‍රධානම සතුරු රාජ්‍යයද ලොව බිහිවිය. 1917 වර්ෂයේ වී. අයි. ලෙනින්ගේ නායකත්වයෙන් සිදුකළ විප්ලවයකින් වැඩවසම් රුසියාවේ සාර් රාජාණ්ඩුව පෙරළා ලොව ප්‍රථම සමාජවාදී රාජ්‍යය වන සෝවියට් රුසියාව බිහිකරගනු ලැබීය.

එතැන් පටන් ලෝකයේ රටවල් සමාජවාදී-ලිබරල්වාදී මතවාද දෙක ඔස්සේ අන්ත දෙකකට බෙදෙන්නට පටන් ගත්තේය. සෝවියට් රුසියාව කෙටි කලකින්ම ලෝක බලවතෙක් ලෙස මතු වී ආවේය. යූරී ගගාරින් අභ්‍යවකාශය තරණය කිරීමත් සමග අභ්‍යවකාශ තරගයෙන් ඇමරිකාවට වඩා පියවරක් ඉදිරියට තබන්නටද සෝවියට් රුසියාව සමත් විය.

යුද ශක්තියද වේගයෙන් දියුණු කරගනිමින් සිටි සෝවියට් රුසියාව කෙනඩිගේ පාලන සමය වන න්‍යෂ්ටික අවි පරිහරණයටද සමත් විය.

ඇමරිකාවට පැහැදිලි තර්ජනයක් ලෙස දැන් සෝවියට් රුසියාව වැඩී ඇවිත් හමාරය. සෝවියට් රුසියාව ගමන් කළ සමාජවාදී මාර්ගයේම ගමන් කරමින් ඇමරිකාවට සමීප ලතින් ඇමරිකානු කලාපයේ කියුබාව සමාජවාදී රාජ්‍යයක් බවට 1953 වර්ෂයේ පත් විය.

තමන්ට සමීප සමාජවාදී කියුබාව තර්ජනයක් ලෙස සැලකූ ඇමරිකාව කියුබාව කෙරෙහි සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. කියුබානු නායක ෆිදෙල් ඇමරිකාවට පිටුපා සෝවියට් රුසියාව දෙසට තම මිත්‍රත්වයේ හස්තය දිගු කළේය.

කියුබානු- සෝවියට් රුසියානු සබඳතා දලුලා සරුවට වැඩෙන්නට පටන් ගත්තේය.

ෆිදෙල් විප්ලවයකින් කියුබාවේ බලය ඇල්ලීමට පෙර කියුබාවේ සිදුකළ ආයෝජන සියල්ලක්ම පාහේ සිදුකළේ ඇමරිකානු ව්‍යපාරිකයින් විසිනි. ෆිදෙල් ඇමරිකානු සමාගම් සියල්ල කියුබාවෙන් පිටමං කළේය.

එයින් ඇමරිකානු ආර්ථිකයට සිදුවූ පාඩුව විශාල එකකි.

කෙනඩිට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා වූ Dwight D. Eisenhowerගේ සමයේ පටන්ම ඇමරිකාව විසින් කියුබාව ආක්‍රමණය කළ යුතු බවට මත පළවිය.

ඇමරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක ආයතන, ඔත්තු සේවා මේ අදහස ගැන අයිසන්හවර් ජනාධිපතිවරයාව දැනුවත් කොට තිබිණි. පැරා මිලිටරි කණ්ඩායම් යොදාගෙන ඇමරිකානු හමුදාවේ සෘජු මැදිහත්වීමකින් තොරව සිදුකරන ආක්‍රමණයක සැලැස්මක් CIA සංවිධානයෙන් ඉදිරිපත් කර තිබිණි.

එයට අවශ්‍ය අනුමැතිය සහ අනුග්‍රහය අයිසන්හවර් ජනාධිපතිවරයාගෙන් හිමි විය. නමුත් එහි අවසාන ක්‍රියාත්මක වීමේ අදියර කෙනඩිගේ පාලන සමයේ සිදුවීමට නියමිතය. ඇමරිකානු හමුදා යොදාගෙන සිදුකරන ආක්‍රමණයකින් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරූපයට හානි සිදුවේ.

ඒ නිසා ඇමරිකාව ආක්‍රමණයට අවශ්‍ය පිරිස් බලය සොයාගත්තේ අපූරු උපක්‍රමයක් භාවිත කරමිනි.

ෆිදෙල්ගේ සමාජවාදය නොරිස්සූ, ෆිදෙල්ගේ තාඩන පීඩනවලට ලක් වූ කියුබානු රටවැසියන් පිරිසක් සරණාගතයන් ලෙස ඇමරිකානු භූමියේ රැඳී සිටියහ.

දෙදහසකට ආසන්න මේ පිරිස ෆිදෙල්ගේ නව රජය සමග බද්ධ වෛරයකින් පසුවෙයි. ඒ පිරිස ආයුධවලින් සන්නද්ධකොට පුහුණුව ලබාදී බේ ඔෆ් පිග්ස් හරහා ඔවුහු කියුබාවට ගොඩ බස්වනු ඇත. ඒ අනුව අත පුච්චා නොගෙන ඇමරිකාව කියුබාව ආක්‍රමණය කරනු ඇත. කුමන සැලසුම් තිබුණද සියලු සැලසුම් අසාර්ථක කරමින් පැය 72ක් තුළ කියුබානු ප්‍රතිවිප්ලවකරුවන්ගේ ආක්‍රමණය සම්පූර්ණයෙන්ම ව්‍යාර්ථ කරන්නට ෆිදෙල් කස්ත්‍රෝගේ රජය සමත් විය.

කියුබානු සරණාගත ආක්‍රමණිකයන්ට ගුවන් ප්‍රහාර මඟින් සහාය වන බවට ඇමරිකානු රජය පොරොන්දු වී තිබුණද එය සිදු වූයේ නැත. අයිසන්හවර්ගේ මුල් සැලැස්මට අනුව ගුවන් ප්‍රහාර සහය ලබාදෙන බව ප්‍රකාශ කර තිබුණද කෙනඩිගේ උපදෙස් මත එය වැළැක්විණි. කියුබානු ආක්‍රමණිකයන්ට එක එල්ලේ සහාය දීමෙන් සෝවියට් රුසියාව සමඟ ගැටුමකට යාමට කෙනඩිට අවශ්‍ය නොවීය. ඒ වන විට ශක්තිමත්ව තිබූ සෝවියට් රුසියානු- කියුබානු ප්‍රබල සබඳතාව නිසා ඇමරිකාවට එරෙහිව කියුබාවේ සහායට සෝවියට් රුසියාවේ පැමිණීම අනිවාර්යයෙන්ම සිදුවිය හැකි දෙයකි.

ආක්‍රමණය අසාර්ථක වීම ගැන කෙනඩි CIA සංවිධානයට චෝදනා කළේය. කියුබානු ස‍රණාගතයෝ දැන් ෆිදෙල්ටත් වඩා කෙනඩිට වෛර කරති. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ දැවැන්ත අත්වැරද්දක් මෙන්ම ලෝක ඉතිහාසයේ ඇමරිකාව ගැන කළු පැල්ලමක් ලෙස බේ ඔෆ් පිග්ස් ආක්‍රමණය ඉතිහාසගත විය. ඇමරිකානු ජනතාවද බේ ඔෆ් පිග්ස් ආක්‍රමණය අසාර්ථක වීම ගැන කෙනඩිට දෝෂාරෝපණය කළහ.

දෙවන ලෝක යුද්ධයෙන් යටත් වූ ජර්මනිය දෙකට බෙදාගෙන පාලනය කරන්නට සෝවියට් රුසියාවත් ඇමරිකාවත් කටයුතු කළේය. 1961 ජූලි වන විට සෝවියට් රුසියාව සහ ඇමරිකාව ජර්මනිය තුළ තමන්ගේ හමුදා ප්‍රමාණයෙන් ඉහළ දමන්නට විය. දෙපාර්ශ්වයම කුමන මොහොතක හෝ ගැටුමක් ඇති කරගන්නට ආසන්න තත්ත්වයකට පත්ව සිටියහ.

නමුත් කෙනඩි මෙන්ම සෝවියට් රුසියාවේ නිකීතා කෲෂෙව්ද ඉතා සංයමයකින් මේ අසීරු අවස්ථාවේ කටයුතු කළහ. ඒ දෙදෙනාගෙන් එක් අයකු හෝ ඉවසීම නැති කරගත්තේ නම් තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය එයයි. සීතල යුද්ධය නමින් ප්‍රකට මේ කාල සීමාව තුළ උණුසුම ඉහළ ගිය අවස්ථාවක් උදාවන්නේ මේ මොහොතේය.

ඇමරිකාවේ ඔත්තු බලන U2 යානාවකින් ලබාගත් ඡායාරූප ඇමරිකාව භීතියෙන් මුසපත් කරලීය. කියුබාව තුළ රඳවා ඇති සෝවියට් මිසයිල ඡායාරූපගත කරන්නට U2 යානා සමත්ව තිබිණි. එතෙක් මෙතෙක් ඇමරිකාවේ ආරක්ෂාවට පැමිණි ප්‍රබලම තර්ජනවලින් එකක් වන්නේ එයයි. කුමන මොහොතක හෝ විනාඩි කිහිපයක් තුළ ඇමරිකාවට ප්‍රහාර එල්ල කරන්න දැන් සෝවියට් රුසියාවට හැකිය.

මේ අනාරක්ෂිත තත්ත්වය නිසා වහාම කියුබාව ආක්‍රමණය කළ යුතු බවට ජාතික ආරක්ෂක කවුන්සිලයේ බහුතරයක්ද හමුදාවේ ඉහළ පෙලේ නිලධාරීන්ද කෙනඩිට බලපෑම් කළහ. ආවේගශීලීව හැසිරීම ප්‍රතික්ෂේප කළ කෙනඩි කියුබාව වටා මුහුදේ නාවික හමුදාවේ යාත්‍රා යොදා බාධක ඇති කළේය. ඒ හරහා සෝවියට් රුසියානු නැව් කියුබාවට ඇතුළු වීම වළක්වන ලදී.

කෙනඩි සෝවියට් රුසියානු නායක නිකීතා කෲෂෙව් සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලය ලෙස කියුබාව තුළ රඳවා ඇති න්‍යෂ්ටික මිසයිල ඉවත් කර ගැනීමට සෝවියට් රුසියාව එකඟ විය. ඊට කොන්දේසි ලෙස තුර්කියේ රඳවා තිබූ ඇමරිකානු මිසයිල ඉවත් කරගැනීමටද නැවත කියුබාව ආක්‍රමණයට උත්සාහ නොකරන බවට පොරොන්දු වන්නටද කෙනඩි කටයුතු කළේය. කෙනඩිගේ මේ විශිෂ්ට සාමකාමී මැදිහත්වීම් සියල්ලේම සහායට කෙනඩිගේ සොහොයුරු වන ඇටර්නි ජනරල් ලෙස කටයුතු කළ රොබට් එෆ්. කෙනඩිද ආරක්ෂක ලේකම් මැක්නමාරා ද සහාය දැක්වීය.

මෙම න්‍යෂ්ටික මිසයිල අර්බුදය ඊට පෙර හෝ පසු න්‍යෂ්ටික යුද්ධයක් අද්දරටම ලෝකය ගෙන ආ එකම අවස්ථාව ලෙස ඉතිහාසගත විය. එහෙත් ජෝන්. එෆ්. කෙනඩි නම් ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශිෂ්ට රාජතාන්ත්‍රික හැසිරීම ලෝකයම තුන්වැනි ලෝක යුද්ධයකින් බේරා ගැනීමට හේතු විය.

[කේතක දිනාජ්]

මාතෘකා