සීතල දෙසැම්බරයේ නික්ම ගිය කලාවැවේ හිත හොඳ මිනිසා : (හිටපු අමාත්‍ය ඒ.එම්.එස්. අධිකාරි මහතාගේ තෙවන ගුණ සමරු දිනය නිමිත්තෙනි.)

 ඡායාරූපය:

සීතල දෙසැම්බරයේ නික්ම ගිය කලාවැවේ හිත හොඳ මිනිසා : (හිටපු අමාත්‍ය ඒ.එම්.එස්. අධිකාරි මහතාගේ තෙවන ගුණ සමරු දිනය නිමිත්තෙනි.)

අධිකාරි මුදියන්සේලාගේ සෝමපාල අධිකාරි හෙවත් කාටත් හුරුපුරුදු ඒ.එම්.එස්. අධිකාරි, ඔහුට ආදරය කළ ගැමියන්ට අධිකාරි මහත්තයා සිය අවසන් සුසුම් පොද නිහඬ වාතලය හා මුසුකොට තෙවසරක් ගතව හමාරය. ඉකුත් 2015 වසරේ සීතල දෙසැම්බරයේ 19 වැනි දාක නේක හරසරින්, ධවල ධජ පතාක මැදින් ඔහු නික්ම ගියේ සත්‍ය ලෙසම කලාවැවේ හිත හොඳ මිනිසා යන අන්වර්ථය එලෙසම රැකගෙන බවට නම් අනුමානයක් නැත.

කවරකු කුමන කෙණෙහිලිකම කළ ද කවරදාකවත් අධිකාරිට ඡන්දයක් නොදුන් මිනිසුන් පවා ඇදහූ කරුණක් විය. ඒ අධිකාරිගේ ගරු ගාම්බීර පෙනුම, සැඩ හඬ ඉක්මවා යන හිත හොඳ මිනිසෙක් ඔහුගේ හදවතේ ජීවත්ව සිටි බවය. අනුරාධපුරයේ විශේෂයෙන් කලාවැවේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දහදිය කඳුළු හෙළු, ගුටි බැට කෑ, දේපොළ අහිමි කොටගත්, ජීවිත පරිත්‍යාගයෙන් පක්ෂය අතැර නොගිය පාක්ෂිකයන් නොසලකා හරින විට, තැන තැන හෑල්ලු වන විට ඔවුන් අදත් මතක් කරනුයේ අධිකාරිව ය.

අධිකාරි හිටපු අමාත්‍යවරයාගේ නික්ම යෑම පිළිබඳ පුවත ඇසූ ඔහු ගොඩනැගූ ඈත පිටිසර ගම්මැදිවල මහ පොළොව හා සටන් වැද සිටින මිනිසුන් කොඩි දමන්නට විය. බැනර් ගසන්නට විය. අවමඟුලට යන එන්නවුන්ට දන්සල් දෙන්නට විය. හදවතින්ම ශෝක වන්නට විය. එහෙත් ඔහු ගොඩනැඟූ නගරවල සුවිසල් ගොඩනැඟිලි තුළට වී යහමින් හරිහම්බ කරන, අධිකාරි රැකියා දුන් කිසිවෙකුත් ඔහු වෙනුවෙන් සුදු කොඩියක් දමන්නට තරම්වත් කෘතවේදී වූයේ නැති බව එවක කිසිවකුට රහසක් නොවූවකි. එය දෑස් මානයේ විද්‍යමාන වූ සත්‍යයයි. දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ඉහළම පුටුවල සිටි කිසිවකුට අධිකාරිගේ නික්ම යෑම පිළිබඳ වගේ වගක් නොතිබුණු තරම්ය.

වසර ගණනාවක් පක්ෂය වෙනුවෙන් ජාතික දේශපාලනය තුළ දැක්වූ දායකත්වය, දුන් නායකත්වය පිළිබඳව කෘතවේදී වීමට තරම් ඉස්පාසුවක් ඔවුන්ට තිබුණේ නැත. කලාවැවේ දේශපාලනික ප්‍රතිවාදියා වූ බර්ටි දිසානායකට පසුකාලීනව ඇතිවූ නොසලකා හැරීමට කල් ඇතිවම මුහුණ දෙන්නට අධිකාරිට සිදුවූ බව එවක ජනතා අදහස විය. එක්දහස් නවසිය තිස්පහේදී ( 1935 ) කැකිරාව, ඉපලෝගම, හිරිපිටියාගම ග්‍රාමයේදී ජන්ම දායාදය ලත් ඒ.එම්.එස්. අධිකාරි මහතා මිය යන විට අසූවන (80) වියෙහි පසුවිය.

හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ඩඩ්ලි සේනානායක මහතාගේ රජය යටතේ වර්ෂ 1965දී එවකට කැකිරාව ගම්සභාවට තරග කර ජයග්‍රහණය ලබා එහි සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව හෙතෙම එක්සත් ජාතික පක්ෂය යටතේ ජාතික දේශපාලනයට අවතීර්ණ විය. අනතුරුව 1974 වසරේදී අතුරු මැතිවරණයක් ජයගනිමින් කලාවැව මන්ත්‍රීවරයා ලෙසට පත්වූ අධිකාරි මහතා 1977දී ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ ඉඩම් සංවර්ධන, මහවැලි සංවර්ධන, විදුලි බල හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය රජරටට හැරවීමට දැඩි කැපවීමකින් කටයුතු කළ බව ජනතා විශ්වාසයයි.

තඹුත්තේගම, ගල්නෑව, බුල්නෑව, ගල්කිරියාගම, මීගලෑව ආදී නව නගර ස්ථාපිත කරමින් රජරට නව ජනාවාස පිහිටුවා මහවැලි එච් කලාපය රජරට ගොවි ජනතාවට දායාද කිරීමට පුරෝගාමී මෙහෙවරක නියැලුණු අය අතර අධිකාරි ද සිටි බව අද සමහරකුට අමතකව තිබේ. එහෙත් එච් කලාපය කලකදී මිරිස් වගාව නිසාම රතු පලස යන අන්වර්ථය ලබා අදත් නිල්වන් දිය දහරින් පණ ලබන වගා බිම් ඊට නොමදව දෙස් දෙයි.

1977දී තරුණ, තරුණියන් විසිදහසකට පමණ රැකියා ලබාදෙමින් එතෙක් පැවැති රැකියා අර්බුදයට පිලියම් යෙදූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයකු වූ ඒ මහතා විදුලි සන්දේශ අමාත්‍යවරයා ලෙස ජංගම දුරකථන සේවාව අප රටට හඳුන්වාදීමට මුල් වූ නායකයකු ලෙසට ද වාර්තා වී ඇත. එසේම සංචාරක, පුනරුත්ථාපන, ප්‍රතිසංවර්ධන, සමාජ සුබසාධන,තැපැල් හා විදුලි සන්දේශ ආදි අමාත්‍යාංශ ගණනාවක් ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී ඇත.

1994 එක්සත් ජාතික පක්ෂයේ පරාජයත් සමග යුගයක නිමාව සටහන් විය. වර්ෂ 2000දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වී මන්ත්‍රී ධුරය අහිමිවීමත් සමග අනුරාධපුර දේශපාලනයේ අධිකාරි භුමිකාව නිමාවට පත්විය. පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවීම හේතුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක එවක ජනපතිනිය විසින් 2001දී යළි කැඳවූ මහ මැතිවරණයට තරග කිරීමට අධිකාරි මහතාට නාම යෝජනා නොලැබීමත් සමග එම තත්ත්වය තවදුරටත් සහතික විය.

වර්ෂ 1994 මහ මැතිවරණයෙන් පරාජය වී විපක්ෂයට වැටුණු එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ගාමිණී දිසානායක මහතා ගෙන ඒමේ අරගලයේ අධිකාරි විසල් භූමිකාවක සිටි බව කිසිවෙකුට රහසක් නොවන්නකි. ගාමිණී මහවැලි ඇමතිවරයා වෙද්දි නියෝජ්‍ය ඇමතිවරයා වූයේ කලාවැවේ අධිකාරිය. එහෙයින්ම පක්ෂ කෘතාධිකාරි මණ්ඩලයට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අධිකාරිගේ නම යෝජනා වූ විට දෙවරක් නොසිතාම යෝජනාව ස්ථිර කිරීම කළේ ද ඔහුය. එහෙත් ගාමිණී දිසානායක මහතාගේ අකල් වියෝවත් සමග ඔහුට පක්ෂ වූ බොහෝ දෙනෙකුට හොඳක් වූයේ නැත. අධිකාරි වැටුණේ ද ඒ ගොඩටය.

අධිකාරි මහතාට ඉතාම සමීප අයවලුන්ගේ අමනෝඥකම් වර්ෂ 2000 පාර්මේන්තු මැතිවරණයේදී ඔහුගේ පරාජයට හේතුවූ සමහරකු පවසන්නකි. 2001 යළි කැඳවූ මහ මැතිවරණයේදී අධිකාරිට නාම යෝජනා නොලැබීම පිටුපස ඔහුගේම පක්ෂයේ ජාතික තලයේ සහ දිස්ත්‍රික්කයේ ප්‍රබලයන් සිටි බව අදට ද ජනතා විශ්වාසය වී තිබේ.

94දී ගාමිණිට පක්ෂ වීමේ විපාකය 2001දී අධිකාරිට විඳින්නට සිදුවූ බව කවුරුත් කියන්නට විය. කවරක් වුවද අධිකාරිගෙන් පසුව සමස්ත අනුරාධපුරයේත් විශේෂයෙන් කලාවැවෙත් එක්සත් ජාතික පක්ෂයේ නොතිත් බිඳවැටීම කිසිවකුට රහසක් නොවන්නකි. ඒ අවගමනය ප්‍රගමනයක් වන දවස බොහෝ ඈත බව නම් තවත් පැහැදිලිය.

තඹුත්තේගම විශේෂ [ඩබිලිව්. ප්‍රදීප්]

මාතෘකා