ඒබ්‍රහම් ලින්කන්ගේ ජීවිත රහස්

 ඡායාරූපය:

ඒබ්‍රහම් ලින්කන්ගේ ජීවිත රහස්

ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ දේශනයන් සඳහා සූදානම් වූවේ කෙසේද? ඒබ්‍රහම් ලින්කන්ගේ චතුර දේශන කලාවේ සමහර තාක්ෂණික උපක්‍රම ඔහුට වසර 75කට පසුව විසූ ඩින් බ්‍රවුන් වැනි ව්‍යක්ත දේශකයන් විසින් පවා මැනවින් ව්‍යවහාර කළ බව පෙනී යයි.

ලින්කන්ගේ ප්‍රසිද්ධ දේශන අතුරෙන් වඩාත් සිත්ගන්නාසුලු දේශනයක එක්තරා ස්ථානයක් වෙතට මෙහිදී ඔබව ගෙන යෑමට සිදුවේ. එක්සත් ජනපදයේ වහල්භාවය අහෝසි කිරීම සඳහා ලින්කන් විසින් ද්වන්ධ සටනක නිරතවූ එම කාල පරිච්ඡේදයේ ඔහු විසින් පූර්වෝක්ත දැකීම සහිතව ඉදිරිපත් කරන ලද ආකර්ෂණීය උදාහරණ ජනමතය ඔහුට ආකර්ෂණය කිරීමේ තෝතැන්නක් විය.

"එකිනෙකාට එරෙහි වන නිවසකට පැවැත්මක් නොමැත. මේ ආකාරයටම රජයකට එහි ජනතාවගෙන් කොටසක් පූර්ණ නිදහස භුක්ති විඳීමත් ඉතිරි කොටස වහල්භාවයෙන් දිවිගෙවීමත් යන ප්‍රතිවිරුද්ධ අන්තයන් දීර්ඝ කාලීනව දරාගත නොහැකියි...." යනුවෙන් ලින්කන් සිය දෙසුමේදී ප්‍රකාශ කළේ සිය ජීවිතයේ පෞද්ගලික අත්දැකීම් විය හැකිය. කෙසේ වුවද එම කතාවේ රාමුව ඔහු විසින් නිර්මාණය කරනු ලැබුවේ ඔහුගේ දෛනික ජීවිතයේ කාර්යයන් අතරතුරදීමය. සිය ආහාරවේල ලබා ගැනීමේදී, මහා මාර්ගයේ එහා මෙහා යන අතරතුර, සිය ගව පට්ටියේ දෙනුන්ගෙන් කිරි දෙවීමේදී, නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය ගෙන ඒම සඳහා වෙෙළඳපළට යන ගමනේදී, සිය පොඩි පුතු නිරන්තරයෙන් ඔහු හා දොඩමලු වෙමින් ප්‍රශ්න විචාරීමේදී ලින්කන්ගේ තමන්ගේම උපවිඥානීය ගවේෂණයන් උඩුසිතට අවශෝෂණය කර ගනිමින් වචනවලට පෙරලන්නට විය.

මෙලෙස නිතර නිතර තම දේශන සංස්කරණය කරමින් චිත්තාලෝකනය හෙවත් මෙනෙහි කරන ලින්කන් එම සංස්කරණ සටහන් සැම විටෙකම තමන් සමීපයේ ඇති කඩදාසි කැබැල්ලක කුමන ආකාරයකින් සටහන් කිරීම පුරුද්දක් කරගෙන සිට ඇත. මෙලෙස සිය දේශනයන් පෝෂණය කිරීම ඒවාගේ ආකර්ෂණීය ස්වභාවය සහ ගැළපුම උපරිම මට්ටමකට පැමිණෙන තෙක් සංස්කරණය කරන ලින්කන් ඉන්පසු එම වාක්‍යයන් පිළිවෙළකට සැකසීමට සුදුසු අවස්ථාවේදී ඒවා එකක් අනෙක හොඳින් ගළපමින් සකසාලයි. සමස්ත කතාවම නැවත ලියමින් පුණරීක්ෂණයට ලක් කරමින් එහි අන්තර්ගතයේ අනවශ්‍ය දෑ ඉවතලමින් අවසානයේදී වඩාත් සාර්ථක නිර්මාණයක් සැකසීම සිදුවේ.

සෑම දිනකම සෙනෙට් මණ්ඩලයේදී පැවැත්වීමට නව දේශනයක් පිළියෙල කිරීම ලින්කන්ගේ සිරිතක් විය. පැරණි සහ සැමදා භාවිත වන වචන මාලාවකින් ඉවත්වී නව කරුණු සහ වචනද නව තාක්ෂණික අංගයන්ද සිය දේශනවලට එක් කළ ලින්කන් දිනපතා අදාළ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් වන දැනුමක් ඇති කර ගැනීමට සමත්විය.

ධවල මන්දිරයේ පදිංචියට යෑමට කෙටි කලකට පෙර ඔහු සිය සමාරම්භක දේශනය පැවැත්වීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පතක් සහ ඔහුගේ සුප්‍රසිද්ධ දේශන තුනක පිටපත් උපයෝගී කරගෙන ඇත. ස්ප්‍රින්ෆීල්ඩ්හි සිය නිවසේ ගබඩා කාමරයකට උඩින් පිහිටි අඳුරු පුස් ගඳ සහිත කාමරයක් තුළට වැදුණ ලින්කන් එම කාමරය අගුළු දමා වසා දැමුවේ සිය නිර්මාණ සමාධියට බාධාවීම වැළැක්වීම සඳහායි.

ඒබ්‍රහම් ලින්කන්ගේ සුප්‍රසිද්ධ ගෙටිස්බර්ග් දේශනය සඳහා ඔහු සූදානම් වූවේ කෙසේද? මුලදී මෙම දේශනය සඳහා ආරාධනය කර තිබුණේ හාර්වඩ් විශ්වවිද්‍යාලයේ සභාපතිවරයකු සහ මැසචුසෙට්හි හිටපු ආණ්ඩුකාරවරයකු වූ එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් ධූරන්ධර එඩ්වඩ් එවරට් මහතාටයි. සමස්ත එක්සත් ජනපදයේම වඩාත් දක්ෂ සහ ව්‍යක්ත කථිකයෙක් ලෙසට ඔහු නම් දරා තිබිණි. නමුත් එවරට් මහතා විසින් එම දේශනය ප්‍රතික්ෙෂ්ප කර තිබුණේ එවැනි කෙටි දැනුම්දීමකින් ඔහුට දේශනය සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව දන්වමිනි.

මේ නිසා මෙම දේශනය කල් දමන ලද අතර ලින්කන්ට ප්‍රමාණවත් කාලයක් සූදානම් වීම සහ අදාළ මාතෘකාව අධ්‍යයනය සඳහා කාලය ඉතිරි විය. මේ සඳහා සෙනෙට් සභිකයන් කිහිප දෙනකුට ආරාධනය කරන ලද මුත් ඔවුන් එම දේශනය පැවැත්වීම ප්‍රතික්ශේප කරන ලදි. අවසානයේ ලින්කන්ගේ සාර්ථක දේශන කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් ඔහු වෙත දෙසුම පවරන ලදි.

ඔහු මුලින් දේශනයට ආරාධනය කරන ලද එඩ්වඩ් එවරෙට් මහතාගෙන් ඔහු විසින් සකස් කිරීමට යෙදුණ දේශනයේ දළ සටහනක් ඉල්ලා ගනිමින් එය කියවමින් ඒ පිළිබඳ දළ අවබෝධයක් ලබා ගන්නා ලදි. ඔහු දවසේ සියලුම ඉරියව්වල නිරතව සිටින අවස්ථාවලදී ඔහුගේ දේශනයේ අන්තර්ගතය සහ ඉදිරිපත් කිරීම පිළිබඳව මෙනෙහි කරන්නට විය. ධවල මන්දිරයට යන සහ එන ගමනේදීත්, ටෙලිග්‍රාෆ් වාර්තාවක් එන තෙක් සිය ආසනයේ ලෙදර් ආවරණය පිරිමදිමින් සිටින මොහොතේදීත් ඔහු සිය දේශනය සංවිධිත කිරීම සඳහා ආධ්‍යාත්මික උත්සාහයක නිරත වන්නට විය. මෙවන් සංස්කරණ ෆුල්ස්කැප් කොළයක ලියාගත් ලින්කන් සෑම විටෙකම එය තම හැට් තොප්පියේ රඳවා‍ගෙන රැගෙන යෑම සිරිතක් කොට සිටියේය. නිරන්තරව තම දේශනය පෝෂණය කිරීමත් නිරන්තරයෙන් එය සංස්කරණය කිරීමත් මේ නිසා ඔහු අතින් නෛසර්ගිකව සිදුවන්නට විය.

සත්‍ය වශයෙන්ම එම දේශනය දෙතුන් වතාවක්ම නැවත සංස්කරණය කර ලිවීමෙන් අනතුරුවත් ලින්කන්ට තව වතාවක් එය සැකසීමට අවශ්‍ය විය.

දේශනයට පෙරදා රාත්‍රියේ ඔහු ගෙට්ස්බර්ග් නගරයට ළඟා වන විට එම කුඩා නගරයේ ජනගහනය කිහිප ගුණයක් වී තිබිණි. විෙනා්දාස්වාදය සඳහා සංගීත කණ්ඩායම් කිහිපයක්ම ක්‍රියාත්මක වූ අතර මේ තත්ත්වය ගැහැණුන් සහ පිරිමින් දුහුවිලිවලින් පිරි මාර්ගවලට පිවිසවන්නට සමත්වී තිබිණි. ලින්කන් වට කර ගත් පිරිස් ඔහුට දෙසුමක් සඳහා ඇවටිලි කරන්නට වූ නමුත් ඔහු එයට වචන කිහිපයකින් පමණක් පිළිතුරු දී කාරුණිකව ආරාධනය ප්‍රතික්ෙෂ්ප කරන්නට සමත් විය. කිසිම දිනෙක ප්‍රසිද්ධ දේශනයක් හෝ කතාවක් සඳහා නිසි පරිදි සූදානමක් රහිතව එයට එළැඹෙන පුරුද්දක් ලෝක ඉතිහාසයේ සාර්ථක කථිකයන්ගෙන් කෙනෙක් වූ ඒබ්‍රහම් ලින්කන් හට නොවීය.

එම සන්ධ්‍යාවේ පසුභාගය ලින්කන් යාබද නිවසේ ලැගුම් ගෙන සිටි විල්ස් මහතා හමුවිය. මෙම හමුවීම ඔහු යොදා ගත්තේ ඔහුගේ ප්‍රසිද්ධ දේශනය විල්ස් මහතා හමුවේ කියවා ඔහුගේ විවේචන මඟින් ප්‍රතිපෝෂණයක් ලබා ගැනීමටයි. පසුදින උදෑසනද ලින්කන් තම දේශනය පුහුණු වෙමින් එහි වචන සහ උච්චාරණ මෙන්ම අදාළ කරුණුද මනසට හුරු කර ගැනීමේ අවසාන ප්‍රයත්නයේ යෙදී සිටියේ ඔහුගේ කර්නල්වරයා දෙසුම පැවැත්වීමට පෙර නියමිතව තිබුණ කැඳවාගෙන යෑමේ පෙරහරට සභාගීවීමේ අවස්ථාව සඳහා ඔහුට ආරාධනය කරන තෙක්ය.

පෙරහර ආරම්භ කරන ලදි. ජනාධිපතිවරයා සිය අශ්වයා මතින් සෘජුකාය විලාශය සහිතව ඉදිරියට ගමන් කළද කල්පනාබරිත ඔහුගේ හිස ඉදිරියට බරවී තිබිණි. ඔහු ඔහුගේ ජීවිතයේ සුප්‍රසිද්ධ දෙසුම්වලින් එකක් පිළිබඳව නැවත මෙනෙහි කරමින් මෙලෙස ගමන් කරන්නට ඇති බව අපට අනුමාන කළ හැකිය.

ලින්කන්ගේ බොහෝමයක් දේශනවල මහත්වූ බලයක් ගැබ් වී තිබෙන්නේ මන්ද? ප්‍රශ්නයට පිළිතුර නම් සිය දෙසුමේ ආරම්භක දළ ආකෘතිය ඒබ්‍රහම් ලින්කන් විසින් නැවත නැවත චිත්තාවලෝකනය කරමින් කරුණු මෙනෙහි කිරීමත් ඒ තුළ අතිවිශාල දැනුමක් ඔහුගේ මනසේ ගැබ් වීමත්ය. එමෙන්ම දෙසුම නැවත නැවත සංස්කරණය කිරීමේ උත්සාහය තුළ එයට වඩාත් තියුණු ලෙස ප්‍රකාශන ශක්තියක් ලබාදී තිබීමත්ය.

වරෙක ඒබ්‍රහම් ලින්කන් සමඟ එකම නිදන කාමරය බෙදාගත් සගයකු දුටු දේ ඔබට පවසන්නම්. අරුණෝදය නැගෙත්ම අවදිවූ සගයා දුටුවේ ලින්කන් ඔහුගේ සයනය මත වාඩිවී බිත්තිය දෙස ඇස් යොමාගෙන සිටින අයුරුයි. උදෑසනම මිතුරාට ඔහු පැවසූ දෙය වූවේ,

"මෙම රජයට වහල්භාවය සහ පූර්ණ නිදහස සහිත ජන කණ්ඩායම් ද්විත්වයක් සදාකාලිකව තබා ගැනීමේ හැකියාවක් නොමැතිය...." යන වදනයි.

සාර්ථක දේශනයක් සිදු කිරීම සඳහා ඔබ නිතැතින්ම සිදු කළ යුතු අත්‍යවශ්‍ය පියවර කිහිපය නැවත වරක් අවසාන වශයෙන් සඳහන් කරන්නෙමු.

1. සැම විටෙකම සාර්ථක දෙසුමක් සඳහා තද බල සහ නියත අවශ්‍යතාවක් ඔබ ඇති කර ගත යුතුයි.

2. ඔබ කතා කිරීමට යන මාතෘකාව හොඳින්ම සහ පරිපූර්ණව අවබෝධ කර ගන්න. කරුණු ගොණු කරන්න. පිළිවෙළකට සකසන්න. නැවත නැවත සංස්කරණය කරන්න. සකසන්න.....

3. වඩාත් විශ්වාසවන්ත වන්න.

4. නැවත නැවත කරුණු ඉදිරිපත් කිරීම පුහුණු කරන්න. දෙසුම පවත්වන අවස්ථාව තෙක් දෛනික ජීවිතයේ සෑම ඉරියව්වකදීම කරුණු මෙනෙහි කරන්න.

ඒබ්‍රහම් ලින්කන්ගේ වැකි

"චරිතය ගසක් වන්නේ නම් කීර්තිය එහි ඡායාව වෙයි. අපි ඡායාව ගැන සිතමු. නමුත් සැබෑ දෙය වන්නේ ගසයි."

"නිහඬව සිට මෝඩයකු ලෙස හැඟවෙන්නට සැලැස්වීම වඩාත් යහපත්ය, කතා කිරීමෙන් සියලු සැක දුරු කිරීමට වඩා."

"මිනිසුන්ගේ ආණ්ඩුවක්, මිනිසුන්ගෙන් පත්වුණු ආණ්ඩුවක්, මිනිසුන් සඳහා වන ආණ්ඩුවක් කිසිදිනෙක විනාශ කළ නොහැකිය."

"බල්ලෙකුගේ වලිගයට කකුලක් යැයි කීවොත් ඌට කකුල් කීයක් තිබෙයිද? පහක්. නැත. වලිගයට ''කකුල'' කීමෙන් එය කිසිදිනෙක කකුලක් නොවෙනු ඇත."

"නිවසක් නැති අයකුට අන් අයගේ නිවාස බිඳ හෙලීමට ඉඩ නොදෙන්න. නමුත් ඔහුට උත්සාහවන්තව සිය නිවස ගොඩනඟා ගන්නට ඉඩදෙන්න. එවිට ගොඩනැඟූ පසු ඔහුගේ නිවසට අනතුරක් නැති බව සහතික විය හැකිය."

"ඔබගේ සතුරා ඔබගේ මිතුරාගේද සතුරෙකි."

[එස්.එම්. අනුරාධ සේනාරත්න]

මාතෘකා