ආණ්ඩුවේ ප්‍රමුඛතාව?

 ඡායාරූපය:

ආණ්ඩුවේ ප්‍රමුඛතාව?

අපිට ඕනේ මැතිවරණයක්

පී.එම්. ජයසිරි - පයාගල

ඔක්කොටම කලින් අපිට ඕනේ මැතිවරණයක්. දැන් මිනිස්සුන්ට කරදර වැඩියි. මේ ආණ්ඩුවෙන් කෙරෙන වැඩ කිසිම පිළිවෙළකුත් නැහැ. ඒ නිසා මැතිවරණයකින් අලුත් ආණ්ඩුව පත් වෙන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. අලුත් ආණ්ඩුවකින් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි කියලා මිනිස්සු හිතනවා. මිනිස්සු ඔක්කොම මේ වෙලාවේ ඉන්නේ බොහොම කරදරෙන්. අලුත් අවුරුද්දක් එනවා. ඒත් මිනිස්සුන්ට අලුත් අවුරුද්දේ මොකක්ද කරන්නේ කියලාවත් හිතාගන්න බැරි මට්ටමක් දැන් තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය උඩ මැතිවරණයකින් අලුත් ආණ්ඩුවක් පත් කරලා රට සංවර්ධනය කරනවා නම් වඩා හොඳ වෙයි කියලා මම හිතනවා.

මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ආර්ථික සහන

ආර්.ජී. විජේතුංග - අනුරාධපුර

මේ ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ආර්ථික සහන. ඒත් ඒ තරම් මිනිස්සුන්ට ආර්ථික සහන ලබාදීලා නැහැ. ඒ නිසා ආර්ථික සහන තියෙනවා නම් හොඳයි. මිනිස්සු ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන්. සමහරුන්ට රස්සා නෑ. රස්සා තිබුණු අයටත් දැන් රස්සා නැති වෙලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ට කාටවත් අතනොපා ජීවත් වෙන්න පුළුවන් වෙන විදියට මිනිස්සුන්ගේ ආර්ථිකය හදන්න ඕනේ. ජීවන බර නිදහස් කරන්න ඕනේ. ඒත් පාර්ලිමේන්තුවේ ඉන්න අය නම් ඒ වගේ මිනිස්සු ගැන හිතනවා කියලා පේන්නේ නැහැ. එයාලා හිතන්නේ එයාලා ගැන විතරයි. ඒ වගේම මිනිස්සු දැන් බලාගෙන ඉන්නේ නැවත ඡන්දයක් එනකං. මොකද ජනතාව කැමතියි ජනමතයට නැවත ඉඩ දෙනවා නම්.

සංවර්ධනයට කලින් දේශපාලන ප්‍රශ්න විසඳන්න

ආර්.එම්. නිමල් - මහියංගණය

දැන් පාර්ලිමේන්තුවේ ලොකු අවුලක් තියෙනවා. ඒක මැතිවරණ අවුලක් කිව්වොත් හරි. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂය ආණ්ඩු පක්ෂයට වඩා ප්‍රබලයි. ඒ නිසා යම් යම් සම්මුතීන්වලට එළැඹීමේදී ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ නිසා මහ මැතිවරණයක් කැඳවනවා නම් වඩා හොඳයි කියලා මම හිතනවා. නැති නම් කෙසේ හෝ පවතින දේශපාලන අවුල ලිහන්න ඕනේ. මිනිස්සුන්ට සහන දෙන්න, රටේ ආර්ථිකය ස්ථාවර කරන්න වගේ දේවල් කරන්න කලින් පවතින දේශපාලන ප්‍රශ්නය විසඳන්න ඕනේ. ඊටපස්සේ පුළුවන් රට සංවර්ධනය කරන්න. මිනිස්සුන්ටත් දැන් කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. මේ වෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා ඇරුණාම ඒ අයට වෙන විසඳුමක් නැහැ. කොහොම වුණත් ප්‍රශ්න වෙසඳෙනකං සංවර්ධනය කියන දේ හීනයක් තමයි.

ඉක්මනින් ජනතාවට සහන ලබාදෙන්න

එච්.එම්. කරුණාතිලක - කොළඹ

රටේ දැන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා තියෙන්නේ. ඒ නිසා ඉක්මනින් ජනතාවට සහන ලබාදෙන්න ඕනේ. මාස ගාණක් මේ ප්‍රශ්න එක්ක මිනිස්සු සෑහෙන්න දුක් වින්දා. දැන් ඒ අයට සහන අවශ්‍යයි. අලුත් අවුරුද්දක් එනවා. රටක මිනිස්සු අලුත් අවුරුද්දෙදි හිස් අතින් ඉන්නවා නම්, මිල මුදල් නැතිව ඉන්නවා නම් ඒ රටේ පාලක පක්ෂය ඒකට වගකියන්න ඕනේ. ඒ නිසා දැන් තිබුණු ප්‍රශ්න විසඳිලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වුණු නිසා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ආර්ථික සහන. දවසින් දවස බඩුවල මිල ගණන් ඉහළ යනවා. එන්න එන්න ජනතාවට ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් මේ රටේ ඇති වෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදියට ආර්ථිකය හදන්න ඕනේ.

කොමිෂන් සභාවල කටයුතු කඩිනම් කරන්න

ඩී. දිල්ෂාන් - ජාඇළ

19 වැනි සංශෝධනයේ අඩුපාඩු ගොඩක් තියෙනවා. පසුගිය කාලයේ වුණු දේවල්වලින් ඒක හැමෝටම තේරෙනවා ඇති. ඒ නිසා මුලින්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන අඩුපාඩු ටික හදන්න ඕනේ. ඒ වගේම තමයි ජනාධිපතිවරයා පසුගිය කාලේ කොමිෂන් සභා කීපයක් පත් කළා. ඒ කොමිෂන් සභාවල කටයුතු කඩිනම් කරලා එ් වාර්ථා ඔස්සේ කටයුතු ක්‍රියාත්මක කරන්න ඕනේ. රාජපක්ෂ ආණ්ඩුවේ සිදු වුණු දූෂණ වංචා සම්බන්ධයෙන් සහ අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග කඩිනම් කරලා ඒ සඳහා තීන්දු ලබාදෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. මේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණේ හොරු අල්ලන්න. ඉතින් තාමත් ඒ කටයුතු සිදුවෙන බවක් පේන්නේ නැහැ. ඒ වගේම පසුගිය කාලේ රට අකර්මණ්‍ය වෙලා තිබුණේ. ඒ අතරින් අපිට විශාල පාඩුවක් වෙන්නේ සංචාරක කර්මාන්තයේ බිඳවැටීම නිසා. මේ හේතුවෙන් රටට එන්න තියෙන විදේශ විනිමය අඩු වෙනවා. ඉතා ඉක්මනින්ම දැන් රටේ තියෙන ස්ථාවරභාවය ගැන ඔවුන්ව දැනුවත් කරලා නැවත සංචාරක කර්මාන්තය ගොඩනඟන්න ඕනේ.

තරුණයන්ට රැකියා දෙන්න

එස්. සෙන්දිල්කුමාර් - කළුතර

අද බොහෝ තරුණයන් රැකියා නැතුව ඉන්නවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව බොහෝ තරුණයන් පිරිසක් නිවසේ රැකියාවක් නැතුව සිටිනවා. උසස් පෙළිනුත් විශාල පිරිසක් හැලෙනවා. ඔවුන් ඉගෙන ගන්නෙත් නැතුව, රැකියාවක් කරන්නේත් නැතුව නිවසට වී හිදීම අපරාධයක්. ගෙදරට වගේම රටට සමාජයටත් බරක්. තරුණයන්ට රැකියා තිබෙනවා නම් එය තරුණ ජීවිතවලට පහසුයි. රැකියාවක් නැතුව ජීවත් වෙන්නේ කොහොමද? ඒත් රැකියාවක් තනියම හොයා ගන්න පුළුවන් වෙන්නෙ කීයෙන් කී දෙනාටද? පාසලේ අධ්‍යාපනය අවසන් කරලා ගෙදරට වෙලා නිකම් ඉන්න බෑ. අම්මාල දුක් විඳිනවා බලාගෙන ඉන්න බෑ අපව මෙච්චරටත් ලොකු මහත් කරාටත් පස්සේ. පවුලට බරක් නැතුව අම්මලාටත් සහනයක් වෙන්නයි අපට අවශ්‍ය වන්නේ. එවිට තමන්ගේ ජීවිතය හදා ගන්න පුළුවන් වගේම අපේ හිතටත් සන්තෝෂයක් ගෙන එනවා.

අපි කොහොම හරි රැකියාවක් හොයා ගත්තා. අනිත් තරුණයන්ටත් රජය මැදිහත් වෙලා රැකියා ලබා දෙන්න පුළුවන් නම් හොඳයි.

 

ජීවත්ෙවන්න ක්‍රමයක් හදන්න

වන්නිආරච්චිගේ සුමනාවතී - මාතර

ඉක්මනට මේ ආණ්ඩුව අවසන් වෙන්න ඕනෑ. එයයි අද රටට අවශ්‍ය වන්නේ. ජීවත් වෙන්න අමාරුයි. එළවළු, හාල් මිල වැඩියි. අනිත් බඩු භාණ්ඩවලත් මිල වැඩියි. මිනිස්සු සෑහෙන්න දුක් විඳිනවා. වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒකයි ඇත්ත කතාව.

අද අපේ දරුවන්ට රස්සා නෑ. එයාලා රැකියා නැතුව ගෙදරට වෙලා ඉන්නේ. එයාලා කැමැත්තක් නෑ අපට බරක් වෙන්න. දරුවන්ටත් හිතේ බරක් ඔවුන් රැකියා නොමැතිව සිටින එක.

ඒ වගේම දැන් නිදහසක් නෑ. හමුදාවේ නිලධාරීන්, පොලිසියේ නිලධාරීන් මිය යනවා. ඉක්මනට මේ ආණ්ඩුව වෙනස් වෙන්න ඕනෑ කියන්නේ ඒකයි.

ජනතාව වෙනුවෙන් දෙයක් කරයි කියලා විශ්වාස නැහැ

රාමවික්‍රම - මාතර

ආපසු වෙන්න දෙයක් නෑ. තව අවුරුදු එකහමාරකින් තමයි දෙයක් සිදු වෙන්නේ. කරනවා කියලා කියපු කිසි දෙයක් කරන්නේ නෑනේ. කියපු දේවල් කවදාවත් කරලත් නෑ. ජනතාව වෙනුවෙන් යම් කිසි දෙයක් කරයි කියලා විශ්වාසයක් ඇත්තෙත් නෑ.

අද කෝ නිදහස? අපට කිසි දෙයක් ගැන විශ්වාසයක් නෑ.

එදා අපට හාල් කිලෝ එකක් නොමිලේ ලැබුණා. අපි හොඳට කාලා බීලා හිටියා. ජීවත් වෙන්නේ කොහොමද කියලා බයක් තිබුණේ නෑ. එදා අපේ රට කාටවත් ණය වුණේ නෑ. ඒ නිසයි අපට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් වුණේ.

අද ඉපදෙන ළමයෙක් පවා ලෝකෙට ණයයි. මේ තත්ත්වයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා ආණ්ඩුව හිතන්නේ නෑ. අනාගතය ගැන හිතනකොටත් ඇති වෙන්නේ බයක්. ඉපදෙන දරුවා පවා ණයකාරයකු වෙන එක මොන තරම් භයංකාරද? මේවා සැහැල්ලුවට හිතන්න හොඳ නෑ. මොකුත් වෙලා නෑ කියලා සැහැල්ලුවෙන් ඉන්න බෑ පාලකයන්ට. මේ විදිහට රටක් දුවන්නේ කොහොමද? ඒ ගැන හිතන්න ඕනෑ.

ආර්ථිකය ස්ථාවර කරන්න

නිපුණිකා ඇන්තනී - රාගම

අද ආර්ථිකය අස්ථාවරයි. එය ඉක්මනින් ස්ථාවර කළ යුතුයි. එසේ නොවුණහොත් රට ඉතාම නරක තැනකට පත් වෙනවා. ඒ වගේම උගත් පිරිස පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. රට පාලනය කරන්නේ නූගත් පිරිසක් නිසයි රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ හැසිරීම දෙස බලන්න. දේශපාලනඥයන් ගන්නා තීන්දු තීරණ දෙස බලන්න. මේ දේශපාලනඥයන් ගැන සතුටු වෙන්න බැහැ. දේශපාලන ඉතිහාසය ගැන හදාරලා ඒ අනුව රටේ තීන්දු තීරණ ගන්න ඕනෑ. කිසිම දෙයක් නොදැන රටක තීන්දු තීරණ ගන්න යන නිසා මේ විදිහට ප්‍රශ්න ඇති වෙනවා.

ඉගෙන ගත්තු පිරිස රැකියා නැතිව නිවෙස්වල ඉන්නවා. ලැබෙන රැකියා වුණත් ලැබෙන්නේ තමන් ඉගෙනගත් දේ සලකා නෙවෙයි. තමන් ඉගෙන ගත් විෂය ධාරාවලට ප්‍රතිවිරුද්ධ රැකියා අවස්ථා ලැබෙන්නේ. එතකොට ඒ ශ්‍රමිකයාගෙන් හොඳ සේවයක් බලාපොරාත්තු වෙන්න බෑ. එවිට ශ්‍රමිකයන්ට තමන්ගේ රැකියාව ගැන ඇති වෙන්නේ කලකිරීමක්. රැකියා ලබා දෙනවිට ඒ සඳහා ක්‍රමවේදයත් තිබිය යුතුයි. අපි තරග විභාග ලියලා, සුදුසුකම් සහිතව ප්‍රතිඵල ලැබිලත් ගෙදර තවම. ලිස්ට්වලට තමයි අවස්ථා ලැබෙන්නේ. එහෙම නොවෙන්න ක්‍රමවේදයක් තිබෙන්න ඕනෑ.

බඩවල් ගැන හිතා නොව අනාගතය ගැන හිතා තීරණ ගන්න

පැට්‍රීෂියා වල්ඩාරිස් - රාගම

මේ රට පිටරැටියන්ට විකුණන්නේ නැතුව නිදහස් නිවහල් රටක් ලෙස පැවතිය යුතුයි. අපේ රටේ ජනතාවට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එවිටයි.

මිනිස්සු තීරණ ගන්නේ ආත්මාර්ථකාමීවයි. පෞද්ගලික වාසි තකා තීන්දු ගන්නේ. අපේ ළමයින් ගැන හිතලා තීරණයන් ගන්න, ගොඩක් මිනිස්සු හිතන්නේ තමන්ගේ බඩ ගැනයි. බඩ ගැන හිතලා මිනිස්සු ඡන්දෙ දෙන්නෙත්. ඒ නිසයි අපේ රට අද මේ වගේ තැනක තිබෙන්නේ. මේ තත්ත්වයන් වෙනස් විය යුතුයි. එහෙම නොවුණොත් බලාගෙන සිටින විට රට අගාධයට යනවා.

මාතෘකා