ජනවාරියේ "දෙවන ඉනිම"

 ඡායාරූපය:

ජනවාරියේ "දෙවන ඉනිම"

අගෝස්තුවේ ලැබුණේ 2020 තෙක් පැවැතිය යුතු ජනවරමකි. දෙසැම්බර් 13 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේ එයයි. ඒ ජනවරමේ කිසි තැනක රනිල් එපා නම් තමන් කැමති කෙනකු පත් කිරීමට ජනාධිපතිට බලය පවරා නැත. ජනතා කැමැත්ත වෙනස් කිරීමේ අභිමතයක් මෛත්‍රිපාල සිරිසේනටත් නැත. රනිල් වික්‍රමසිංහටත් නැත."

ඔක්තෝබරය ගෙවිණ. නොවැම්බරයෙත්, දෙසැම්බරයේත් අප බෙ දී අරගල කළෙමු. මේ එළැඹෙන්නේ බලාපොරොත්තු සහගත තවත් ජනවාරියකි. අතීත හැසිරීම්වලින් පුද්ගලයන් විනිශ්චය නොකළ යුතු බව, ආසියාවේ සාර්ථක මිනිසකු වූ ජනාධිපති අබ්දුල් කලාම් විශ්වාස කළේය. අප එකිනෙකා කළ කී දේ අමතක කළ යුතුවේ. අප නිවැරදි දේ මිස, නිවැරදි මිනිසුන් සෙවීමට උත්සාහ නොකළ යුතු වේ. ජයග්‍රාහී ජනවාරිය නතර වූ තැන නොවිමසා අපේක්‍ෂිත අරමුණු වෙත යෑමට පෙළ ගැසිය යුතු වෙමු.

ගෙවුණු ජයග්‍රාහි ජනවාරියේ අප මිනිසකු ඉවත් කළේ යහපාලනය නම් නිවැරදි අරමුණ අතැතිවය. එදා අප සමඟ සිටි මිනිසුන් බෙ දී සිටිත්ද? කවුරු දනිත්ද? මිනිසුන් බෙදුනද නොබෙදුනද, ජනවාරියේ විශිෂ්ට අරමුණු සක්‍රියව පවතී. ජනවාරියෙන් ශක්තිමත්වූ අපේ අධිකරණ පද්ධතිය අපකීර්තිමත් ඔක්තෝබර් අරවුල නිරවුල් කළේය. අශිෂ්ට ඔක්තෝබරය යටපත් කොට, යහපාලනය ජය ගත්තේය. එය මෛත්‍රීගේ පරාජයක් හෝ රනිල්ගේ ජයග්‍රහණයක් නොවේ. මෛත්‍රී වට කොට, ශක්තිමත් කළේ මෛත්‍රීට එරෙහිවූ ඔහුට නිකමා කී, සිරිසේනයා කී කණ්ඩායමකි. ඔක්තෝබර් අරගලයේ දී ජනතා විමුක්ති පෙරමුණ ශුද්ධ වූ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියේය. එහි ප්‍රතිඵලය රනිල් නැවත අගමැති වීම බව ඉතා පැහැදිලිව දැන සිටියේය. සියලු අවලාද මැඬගෙන ඔවුන් ඒ දේ කළේ රටේ පැවැත්ම වෙනුවෙනි. එසේම රනිල්ට බහුතරය පෙන්වූ දවසේ ජවිපෙ රනිල්ට කිව යුත්ත මුහුණටම කීහ. ඔවුන් කී කරුණු රවි කරුණානායක මතු නොව රනිල් වික්‍රමසිංහ පවා පිළිගත් බව පෙනිණි. වරදක් නිවැරදි කර ගැනීම පරාජයක් නොවේ.

මේ කෙටි ඉතිහාසය තුළින් අප ඉගෙන ගත යුත්තේ ඉදිරි කාලයේ පොදු වගකීමක් පක්‍ෂ ප්‍රතිපක්‍ෂ සියල්ලන්ටම පැවරී ඇති බවය. සිය පෙනී සිටිම තුළ ජවිපෙ, එකී වගකීම පවරාගෙන හමාරය. මහින්ද පත් කිරීමෙන් නොකළ යුත්තේ කුමක්දැයි මෛත්‍රීපාල සිරිසේන තේරුම් ගත යුතුය. අවශ්‍ය, රටේ නාමයෙන් ජනවාරිය අර්ථ ගැන්වීමය. අපේ පෙර ගමන්කරු වූ මාදුලුවාවේ සෝභිත හිමියන් කතා කළේ වංචාව දූෂණය ගැන මිස, ජීවන බර ගැන නොවේ. සාධාරණ සමාජයක් මිස, කා කොටා ගන්නා පොර පිටියක් නොවේ. රට නැවත ඒ දිශානතිය වෙත යොමුවී ඇත.

ඒකමතිකව පාර්ලිමේන්තුව අනුමත කළ 17 වැනි සංශෝධනය එක් රැයෙන් වළලා, මහින්ද රාජපක්‍ෂ 18 වැනි සංශෝධනය ගෙනාවේය. 17 වැනි සංශෝධනය විනාස කළ, 19 වැනි සංශෝධනයට වෛර කරන්නෝ ඔක්තෝබරයේ වීදි බැස්සාහ. එහෙත් 19 වැනි සංශෝධනය ඉතිහාසය වෙනස් කර හමාරය. අගමැති වෙනස් කළ විධායකයට පොලිස් පරීක්‍ෂකයකු මාරු කළ නොහැකි වුණේ ඒ නිසාය. ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තහනම් කළේ ලංකාවේය. මේ වනවිට, ජනවාරිය විසින් විධායක ජනාධිපති තනතුරේ සියයට අසූවක් බලතල ඉවත් කර හමාරය. 43 වැනි අග විනිසුරුට නින්දා අපහාස කර පන්නා දැමූ ඉතිහාසය නැවත නොපැමිණෙනු ඇත. උත්තරීතර, පාර්ලිමේන්තුව මිස තනි පුද්ගලයකු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 13 වැනි දින තීරණය කළේය. "මම ලේසියෙන් යන්නේ නෑ" කී මහින්ද රාජපක්‍ෂ සෙත් පිරිත් මැද ගෙදර ගියේය. එය දුටු "ඇයි අරූ මරලා හරි බලය ගත්තේ නැත්තේ" කියා ඇසු නීලා වික්‍රමසිංහ විලාප ගැසුවාට සැක නැත. එහෙත් රටේ බහුතරය වීදි බැස සතුට පළ කළහ. සත්‍ය ලෙසම අප විසින් දිනාගත් ජනවාරි ජයග්‍රහණ නිශ්චිත බව තහවුරු වුණේ එදාය.

මේ උදාව ඇත්තේ ජනවාරියේ දෙවන ඉනිමය. අප පෙළ ගැසිය යුත්තේ දූෂිතයන් ඉල්ලන මැතිවරණය දීමට නොවේ. ජනවාරිය අපේක්‍ෂා කළ අරමුණ සහතික කිරිමටය. එකිනෙකාට වාසියට ගණන් හැදිය හැකිය. අගෝස්තුවේ ලැබුණේ 2020 තෙක් පැවැතිය යුතු ජනවරමකි. විවිධ විග්‍රහ හරහා දෙසැම්බර් 13 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේ එයයි. ඒ ජනවරමේ කිසි තැනක රනිල් එපා නම් තමන් කැමති කෙනකු පත් කිරීමට ජනාධිපතිට බලය පවරා නැත. ජනතා කැමැත්ත වෙනස් කිරීමේ අභිමතයක් මෛත්‍රීරපාල සිරිසේනටත් නැත. රනිල් වික්‍රමසිංහටත් නැත. ඉහත කෙටි කාලය තුළ ප්‍රතික්ෂේප වුණේ නොකළ යුතු දේය. කළ යුතු දේ ඉටු කරන තෙක් රට බලා සිටියි.

සියල්ල කෙළවර රනිල් නැවත රටේ අගමැති විය. ඔහු ජනවාරියේත් අගෝස්තුවේත් නැවත දෙසැම්බරයේත් අගමැති වුණේ එජාප නායකයා ලෙසය. අදටත් රටේ විධායක ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේන ජනවාරියේ ජනාධිපති වුණේ නිර්පාක්‍ෂික දේශපාලනඥයකු ලෙසය. සජිත් පේ‍්‍රමදාස කී පරිදි ජනාධිපතිට කිසිවකු අත නොතබනු ඇත. දෝෂාභියෝග නොගෙනෙනු ඇත. සජිත්ගේ ප්‍රකාශය වලංගු වන්නේ මෛත්‍රීපාල සිරිසේන නිර්පාක්‍ෂිකයකු ලෙස පෙනී සිටින තෙක් පමණකි. එජාප නායක රනිල්ගේ අගමැතිකම මෛත්‍රී කැමති වෙනත් කෙනෙකුට දීමේ වරයක් බලයක් මෛත්‍රීට නැත. මේ වාක්‍ය කිහිපය තවත් සාරාංශ කරයි නම් රටේ අගමැති එජාපයේය. එහෙත් රටේ ජනාධිපති නිර්පාක්‍ෂිකය.

පාර්ලිමේන්තුව අභිභවා යා නොහැකි විධායක ජනාධිපති සතු භූමිකාවේ දිග පළල ජනතාව තේරුම් ගෙන හමාරය. ජනවාරි ජන බලය ඉක්මවා යා නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුවේ. මෛත්‍රීපාල සිරිසේන තවමත් රනිල් වික්‍රමසිංහට අවලාද නඟයි. රනිල් වික්‍රමසිංහ එහි දී ප්‍රදර්ශනය කළ පෞරුෂය ඉතිහාසය තීරණය කරනු ඇත. මෛත්‍රී සියලු අවලාද නතර කර බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කළ යුතුය. ජනාධිපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ පරීක්‍ෂණ කඩිනම් කළ යුතුය.

කලීල් ජිබ්රාන් කියන ලස්සන සහ අවලස්සන අතර වෙනස එවිට අවබෝධ කරගත හැකිය. බොරුව සහ ඇත්ත අතර දුර එපමණය.

ජනාධිපති අගමැති දෙදෙනාම එක්ව, රටට අවංකව, දූෂණ වංචා පරීක්‍ෂණ සහ නඩු කඩිනම් කළ යුතුවේ. එසේම ජනතා විමුක්ති පෙරමුණ අපේක්‍ෂා කරන පරිදි කුමන්ත්‍රණය සෙවීමට කොමිසමක් මෙන්ම පාර්ලිමේන්තුව කෙළෙසූ තක්කඩින්ගේ සිවිල් අයිතිවාසිකම් යම් කලකට තහනම් කිරීමට නව නීති පනවා විශේෂ උසාවියක නඩු පැවරිය යුතුවේ. පාර්ලිමේන්තුව ත්‍රීරණය කළොත් හදිසි මැතිවරණයක් පැවැත්වෙනු ඇත. එතෙක් ජනවාරි එකඟතාව අනුව ජනාධිපති අගමැති එක්ව ක්‍රියා කළ යුතුවේ.

[නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න]

මාතෘකා