නව කැබිනෙට්ටුවේ අභියෝග

 ඡායාරූපය:

නව කැබිනෙට්ටුවේ අභියෝග

පසුගිය 16 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඒ අනුව නව කැබිනට් මණ්ඩලයක්ද පත්කිරීමට නියමිතය. පැවති දේශපාලන අර්බුදය හමුවේ අලුතින් පත් කරන කැබිනට් මණ්ඩලයේ ඉදිරි ගමන් මඟද අභියෝගාත්මක නොවනු ඇත. ඉදිරි වසරේදී කැබිනට් මණ්ඩලයට ඇති අභියෝග පිළිබඳව මත විමසුමකි මේ.

ආර්ථික අර්බුදය සමනය කළ යුතුයි

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර

මම දකින විදියට පත්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට අභියෝග රැසක් තියෙනවා. ඉන් පළමු අභියෝගය ලෙස මම දකින්නේ ආණ්ඩුව ස්ථාවර කරගැනීම. මොකද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේ ඉන්නේ 103යි. එය අවදානම් තත්ත්වයක්. ඒ නිසා පාර්ලිමේන්තුවේ බහුතරයක් හදාගැනීම තමයි මුල්ම අභියෝගය ලෙස මම දකින්නේ. නැත්නම් ඔවුන්ට අනිත් පක්ෂත් එක්ක එක්වෙලා ජාතික ආණ්ඩුවක් හදාගන්නත් පුළුවන්. විපක්ෂයේ සිටින දෙමල ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අර්බුදයේදී සහාය දුන්නට අණ්ඩුවක් හදන්න සහාය දෙන්නේ නැහැ. මේ කැබිනට් මණ්ඩලයට මුහුණ දෙන්න වෙන දෙවෙනි අභියෝගය තමයි ආර්ථික අර්බුදය. එය පසුගිය වසර තුන තුළ උග්‍ර වුණා. ඉදිරි කාලය තුළවත් ආර්ථික අර්බුදය සමනය කළ යුතුයි. දෙපිළක් අතර ප්‍රශස්ත ගැටුමක් තිබුණු නිසා තමයි තිබුණු ආණ්ඩුවත් බිඳ වැටුණේ. මේ කාරණා ඔස්සේ අභියෝග ජයගත යුතුයි.


ආණ්ඩුව ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගන්න ඕනෑ

ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

පසුගිය සමයේ සිදුවුණු දේශපාලන අර්බුදය නිසා ආර්ථික දේශපාලන ක්‍රියාවලිය මාස එකහමාරක් මුළුමනින්ම වියවුලට පත් වුණා. රට අවුරුදු හතරක් පහක් පසු පසට ගියා කීවොත් නිවැරදයි. නීතිය සදාචාරය, ආර්ථිකය ආදී මේ කියන සියලුම පැතිකඩයන් එලෙස පසුබෑමට ලක් වුණා. නැවත රට ස්ථාපනය කළ යුත්තේ කොහොමද කියන එක කැබිනට් මණ්ඩලය සිතා බැලිය යුතුයි. ඇති වුණු තත්ත්වය නිසා විදෙස් ගනුදෙනු ඉදිරියේ අපේ රටේ විශ්වාසය බිඳී ගියා. ජාත්‍යන්තර ගනුදෙනුවලට විශාල හානියක් වුණා. ආයෝජකයන් නැවත හැරී ගියා. රාජය මූලය ආයතනවල වර්ගීකරණය ජාත්‍යන්තර වශයෙන් පහළ වැටිලා. විදේශීය මූල්‍ය සමාගම අප රට සමඟ කරන ගනුදෙනු නතර කළා. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් වැටුණු තැනින් යළි හිස ඔසවන්නේ අති විශාල කාර්යභාරයක් තිබෙනවා.

ඊළඟ වසර සැලසුම් කිරීමට අවශ්‍යය අයවැයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍යයි. එය සම්මත කර ගත යුතුයි. අයවැයක් හැදීමට විශාල කාලයක් ගත වෙනවා. වෙනත් රටවල මුදල් ඒකක ක්ෂය වීම නැවතිලා. එහෙත් රුපියලේ ක්ෂය වීම නැවතුණේ නැහැ, දිගටම පහළ වැටීම් සිදුවෙනවා. ඒකට හේතුව මේ දේශපාලන අර්බුදය. ඒ නිසා ඉදිරියේදී රුපියල ශක්තිමත් කිරීමත් අවශ්‍යයි.

මේ සියල්ල කරන්න දේශපාලන සංහිඳියාව අවශ්‍යයි. මේ ආණ්ඩුව වැට උඩ තියෙන ආණ්ඩුවක්. තනි බලයක් නෑ. යම් පනතක් හෝ අයවැය සම්මත කර ගැනීමේදී විපක්ෂ විසින් ආණ්ඩුවට බලපෑම් කිරීමේ හැකියාවක් තිබෙනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති වී තිබෙන විරසකභාවය තවදුරටත් වර්ධනය වුණොත් දේශපාලනික වශයෙන් රට නැවත අස්ථාවර වෙනවා. තව වසරකින් හමාරකින් ඡන්දයක් එයි. ජනතාවට අවශ්‍යය නම් මහින්ද රාජපක්ෂ මහතා දිනවන්න පුළුවන්. එතෙක් මේ රටේ ආර්ථිකය නංවන්න විවේචනාත්මක සහයෝගයක් දීම ඔවුන්ගේ යුතුකමක්.

ජනතා මතය තේරුම් ගැනීමට නොහැකි වුණු නිසයි ආණ්ඩුවට මේ තත්ත්වය උදා වුණේ. ඉදිරි කාලයේදීවත් ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගෙන ජනතාවාදී ආණ්ඩුවක් ලෙස කටයුතු කළ යුතුයි. සියල්ල අවසන් කියලා පරණ ක්‍රමයට වැඩ කරන්න ගියොත් තව මාසෙකින් දෙකකින් මීට වඩා ප්‍රබල කැරැල්ලක් එනවා.


ජනපති අගමැති අතර හොඳ සන්නිවේදනයක් අවශ්‍යයි

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුලසිරි සමරකෝන්

කැබිනට් මණ්ඩලයට තිබෙන ප්‍රධානම වගකීම වන්නේ කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂා කර ගැනීමයි. පසුගිය ආණ්ඩු සමයේ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය අතර එකඟතාවක් නොතිබුණු බව අප දැක්කා. ජනාධිපතිවරයාගේ රහස් කැබිනට් මණ්ඩලයෙන් පිටතට ගිය අවස්ථා තිබුණා. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ අදටත් ප්‍රතිපත්තිමය බෙදීමයක් පැහැදිලිව පේන්නට තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂා කර ගැනීමේ අභියෝගයක් තිබෙනවා. එම බෙදීම් තිබුණොත් මේ අර්බුදය තවදුරටත් දික් ගැස්සෙනවා.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය ජනාධිපති. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ අවසන් තීරණ දැන ගත යුතුයි. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ අවසන් තීරණ දැනගෙන සිටියේ නැහැ. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. වහාම අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර නිවැරදි සන්නිවේදන මාර්ගයක් තිබිය යුතුයි. කැබිනට් මණ්ඩලයකින් කරන්නේ අරමුදල් වැය කරන ආකාරය තීරණය කිරීම සහ ප්‍රතිපත්ති දිශානත කිරීමයි. පසුගිය ආණ්ඩු සමයේ අධ්‍යාපන, ප්‍රවාහන, ආර්ථික, සෞඛ්‍ය වැනි ප්‍රධාන අමාත්‍යංශ යටතේ ගත් තීරණ ජනතාවට අහිතකර ලෙස බලපෑවා. සුබසාධන ආර්ථිකයට බලපාන තීරණ විශාල ගණනාවක් ඒ අමාත්‍යංශවලින් ගත්තා. මේ තත්ත්වයන් වළක්වා ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා.

පසුගිය උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ විශ්වවිද්‍යාල අතර විශාල ගැටුමක් ඇති වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ව දූෂණ චෝදනාවට ලක් කළා. මේ වගේ තත්ත්වයක් යටතේ තමන්ගේ විෂය ප්‍රදේශයට අයත් ආයතන අතර නිවැරදි සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමට අමාත්‍යවරුන්ට වගකීමක් තිබෙනවා.

පසුගිය කාලයේ ඖෂධ මිල අඩු කළ බව කීවත් ඩෙංගු පරීක්ෂණයක් සඳහා රුපියල් 2500ක් අය කරනවා. මේවා සාමාන්‍ය මිලකට ලබාදිය යුතු සේවාවන්. ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා ඉටු කරගැනීමට පහසු වෙන පරිදි සහන ලබාදිය යුතුයි.

අමාත්‍ය මණ්ඩලයට අක්‍රමිකතාවන් දූෂණය අත්‍යවශ්‍යයෙන්ම වැළැක්විය යුතුයි. ජනතා සේවය ලබාදෙන ආයතනවල ප්‍රධාන ගැටලුව දූෂණය නම් එයට වගකිව යුත්තේ අමාත්‍යංශයයි.


අලුත් දෙයක් කරන්න පුළුවන් වාතාවරණයක් නැහැ

ආචාර්ය චරිත හේරත්

පළමු කාරණාව තමයි අලුතින් පත්වන කැබිනට් මණ්ඩලයට රටේ ඉදිරි සංවර්ධන වැඩසටහන් කරන්න හැකි තත්ත්වයක් නැහැ. ඒ නිසා දිනපතා කරන්න තියෙන තාක්ෂණික කටයුතු විතරයි මේ ආණ්ඩුවට කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය අතර පවතින විරසකය හේතුවෙන් සමහර කාරණාවලට එකඟතාවකට පැමිණිය නොහැකි තත්ත්වයක් තියෙනවා. මේ අපැහැදිලි වාතාවරණය තුළ ඉදිරි ගමනක් යනවාට වඩා එකසත් ජාතික පක්ෂයටත් මැතිවරණයකට යන එක හොඳයි. එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන නිසා අයවැයක් සම්මත කරගන්න පුළුවන්. නමුත් අලුත් දෙයක් කරගන්න පුළුවන් වාතාවරණයක් නැහැ.


ජනවාර්ගික අර්බුදය පවතින තාක් දේශපාලන අර්බුදය විසඳන්න බැහැ

මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

අභියෝග රාශියක් මේ ආණ්ඩුව හමුවේ තියෙනවා. මේ පවතින අභියෝග තේරුම් ගන්න කැබිනට් මණ්ඩලයට බුද්ධිමය හැකියාවක් තිබිය යුතුයි. ප්‍රධානම අභියෝගය තමයි ආර්ථික වශයෙන් රට මුහුණදී තියෙන ගැටළුව. එහි ස්වරූපය, හැඩරුව කුමක්ද යන්න මේ ඇමති මණ්ඩලය වටහා ගත යුතුයි. මේක කොතනින් පටන් අරන් කොතනින් කෙළවර කරන්නද කියල නොවැටහෙන තරම් උග්‍ර ගැටලුවක් වෙලා හමාරයි. හැම පැත්තකින්ම මේ අර්බුදය උත්සන්න වෙලා තියෙනවා. මේ ආණ්ඩුව රට භාරගන්න විටත් මේ අර්බුදය තිබුණා. නමුත් මේ දෙපාර්ශ්වය අතරේ තිබුණු විරසකය හේතුවෙන් ඒ සඳහා කිසිදු සහායක් අගමැතිවරයාට නැති වුණා. ඒ වගේම තමයි මේ මොහොතේ පවතින දේශපාලන අස්ථාවරත්වයත් ප්‍රධාන අභියෝගයක්. මේ රටේ ජනවාර්ගික අර්බුදය පවතින තාක් දේශපාලන අර්බුදය විසඳන්න බැහැ. යුද්ධයේදී ආයුධ එක්ක කරපු අරගලයක් අවසන් කළා මිස ඒකීයභාවය ඇති වුණේ නැහැ. දකුණේ පවතින සිංහල බෞද්ධ වර්ගවාදය මේ සඳහා හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ සියල්ලෙන් ගොඩ එන්න දර්ශනයක් අවශ්‍යයි. එය අගමැතිවරයාට තියෙනවා. නමුත් ඒ සඳහා නිසි සහයෝගයක් නැහැ.


ජනතා ප්‍රශ්න විසඳයි කියන එක අවිනිශ්චිතයි

නීතීඥ ලලිත් පියුම් පෙරේරා

ජනාධිපතිතුමා කියපු ලෙසටම යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලා පළමුවෙනි මොහොතේම කරගත් වරද විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් පත් කරනවා කියලා එය නොකිරීම. එසේ පත් කරනවා නම් හොඳයි, නමුත් පසුගිය කාලයේ අත්දැකීම් අනුව එසේ පත්කරයි කියලා හිතන්නට අමාරුයි. මේ වෙනකොට මේ රටේ මහජනතාවට සෑම පක්ෂයකම මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් පොදු කලකිරීමක් තිබෙනවා. ඒ නිසා තමයි මේ රටේ තරුණ පරපුර සහ වෙනසක් බලාපොරොත්තු වෙන මිනිස්සු පාර්ලිමේන්තුවේ 225 දෙනාම ගෙදර යා යුතුයි කියලා කියන්නේ. මහ මැතිවරණයකින් අලුත් රජයක් බලයට පත්විය යුතුයි කියලා විශ්වාස කරන පිරිස් බොහෝ දෙනා ඒ වෙනුවෙන් හඬ නඟන්නේ ඒ නිසයි. මහජනතාව තුළ ඒ කැකෑරෙන ප්‍රශ්නයට පිළිතුරක් ලබාදෙයිද කියලා මට නම් තිබෙන්නේ දැඩි අවිනිශ්චිත තත්ත්වයක්.

පහුගිය අවුරුදු හතරක යහපාලන මේ රටේ පැවැති අකාර්යක්ෂම සහ ඉතාම දුප්පත් දර්ශනයක් තිබුණු ආණ්ඩුවක්. සමහර වෙලාවට යහපාලන පරමාර්ථ හොඳ වෙන්න පුළුවන්. එහි වැඩපිළිවෙළ එදා වේල ටුවර්ස් ගියේ.

රාජ්‍ය සේවය හොඳින් ක්‍රියාත්මක වුණොත් විතරයි පෞද්ගලික අංශත් හොඳ වෙන්නේ. නමුත් පහුගිය ආණ්ඩුව යටතේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රශ්න තිබෙනවා. රාජ්‍ය සේවකයා දිගින් දිගටම අනියත බියකින් සිටියේ. ඒ සමයේදී රාජ්‍ය සේවකයා තුළ අනියත බියක් ඇති කළා පසුගිය රජයේ දූෂණ හා වංචා දක්වමින් වැඩකරන රාජය නිලධාරියාවත් අකර්මණ්‍ය කළා. 2014 වසරේදී රටේ ආර්ථික වර්ධන වේගය 7.4%ක් වුණා, එය 2018 මීට මාස තුනකට පෙර 3%ක් බවට පත් වෙලා. එය ඉතාමත් නරක තත්ත්වයක්. රනිල් වික්‍රමසිංහ මහතා නොව මහින්ද රාජපක්ෂ මහතා හෝ අනුර කුමාර දිසානායක මහතා පත්වුණත් මේ රටේ ආශ්චර්යක් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නෑ. නමුත් ආණ්ඩු මාරුවීමෙන් ජනතාව යහපතක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

[රසිකා හේමමාලි][නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා