‘‘බණ්ඩා කම් ටු ටවුන් යූන්පී ඩවුන්’’

 ඡායාරූපය:

‘‘බණ්ඩා කම් ටු ටවුන් යූන්පී ඩවුන්’’

 

ලාංකේය දේශපාලනයේ පහළම අඩියේ සිට ඉහළම හිණි පෙත්තට නැඟ ගත් දේශපාලකයින් දෙපළකි. කොළඹ මහනගර සභාවට ශාන්ත බස්තියම නියෝජනය කරමින් තේරීපත්ව අගමැතිව ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස ඉන් එක් අයෙකි. අනෙකා ගාල්ල නගර සභාවට කළුවැල්ල නියෝජනය කරමින් තේරීපත් ව ලංකාවේ පස්වැනි අගමැති වූ විජයානන්ද දහනායකය.

දහනායකගේ දේශපාලන භාවිතාව විවාදසම්පන්නය. අර්බුදකාරීය. දහනායකගේ සමහර වැඩ පසුකාලීනව විවේචනවලට ලක්විය. දහා ඒ පැත්තෙන් මේ පැත්තට ද මේ පැත්තෙන් ඒ පැත්තට ද පැන්නේය. හිටිවනම ස්වාධීනවද හෙතෙම පෙනී සිටියේය. ඒ සෑම පිල් මාරුවකදීම ගාල්ලේ ජනතාව ද දහනායක සමඟ පිල් මාරු මාරු කළහ. 1944 ඇරඹී 1989 දී අවසන් වූ දහනායකගේ දීර්ඝ දේශපාලන ගමනේ අවස්ථා තුනකදී හැරෙන්නට මිනිස්සු දහනායක අත්හැර නොගියහ. දහනායක දේශපාලනයේදී දැක්වූ සුවිශේෂී දක්ෂතාවය එයයි.

ලංකාවේ දේශපාලනය හසුරු වන කොල-නිල් බලවේග දෙකම දහාගේ ඡන්ද මල්ල හමුවේ දණ ගැසුවේය. ලංකාවේ දේශපාලන කුණාටුව කවර අතකට හැමුවද ගාල්ලේදී දහනායක තමන්ට ඇවැසි ලෙස කුණාටුවේ දිශානතිය හසුරුවාලීය. දහනායකගේ දේශපාලනය කියවිය යුත්තේ එතැනින් ය.

විජයානන්ද දහනායක මියෙනතුරුම නිරන්තරයෙන්ම පොතපත අතර ගැවසෙමින් අතිශය සරල දිවිපෙවතක් ගත කළේය. අල්පේච්ඡ, නිරහංකාරී දහනායක නිතර දුගී දුප්පත් සාමාන්‍ය ජනතාව අතර ගැවසිණි. ඔවුන්ගේ ප්‍රශ්න දෙස සංවේදී වූ දහනායකගේ දේශපාලන පැමිනිලි ද මුදලින් බැඳි හිණිමං නිසා වූවක් නොවේ. ඉදින් මිනිස්සු දහනායක කෙරෙහි කුමට සිත් බිඳවා ගන්න ද?

පහළම අඩියෙන් ඇරඹෙයි

දහනායක දේශපාලනයට ඇළුම් කළද මුලින්ම දේශපාලනයට පිවිසියේ දහනායකගේ අයියා වන එස්.එච්. දහනායකය. ඔහු ගාල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් විය. එස්.එච්. දහනායක හදිසියේ මිය යෑමෙන් පසුව ඔහු නියෝජනය කළ කළුවැල්ල කොට්ඨාසයේ මන්ත්‍රී අසුන හිස් විය. එයට 1935 වසරේ අතුරු මැතිවරණයක් පැවැත්වුණ අතර එම කොට්ඨාසය ජයගෙන දහනායක ගාල්ල නගර සභාවට තේරීපත් විය.

ලංකාවේ පළමු බෞද්ධ නගරාධිපති

1939 වසරේ ගාල්ල නගර සභාව ප්‍රතිසංස්කරණය වූ අතර මුල්වරට නගරාධිපතිවරයෙක් තෝරා පත් කරගැනීමේ අවස්ථාව ඒ අනුව එළැඹිණ. නගරාධිපතිවරයා තෝරාපත්කර ගත්තේ සෘජු මහජන ඡන්දයකින් නොව මන්ත්‍රීවරුන් අතරේ ඡන්ද විමසීමක් මඟිනි. ඒ අනුව දහනායක සමඟ තරග කළ ඉංග්‍රීසි ජාතිකයා පරදා දහනායක ජයගත්තේය. ගාල්ල නගර සභාවේ නගරාධිපති වූ විජයානන්ද දහනායක ලංකාවේ මුල්ම බෞද්ධ නගරාධිපතිවරයාද වෙයි.

එකල වාමාංශික දේශපාලනයට සිත් අල්වා ගෙන සිටි දහනායක තමන්ගේ නගර සීමාව තුළ මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කළේය. ලංකාවේ මුල්වරට මැයි දිනය නිවාඩු දිනයක් වූයේ දහනායක යටතේය. මුළු රටටම බලපාන පරිදි මැයි දිනය නිවාඩු දිනයක් බවට පත්වන්නෙ ඊට කලකට පසු 1956 දීය.

 

බිබිල රසකතා

මේ අතරවාරයේ බිබිල ආසනය නියෝජනය කළ ජී.සී. රඹුක්පොත හදිසියේ මිය යෑමෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බිබිල ආසනය හිස් විය. 1943 වසරේ බිබිලට අතුරු මැතිවරණයක් පවත්වන්නට ඒ අනුව කටයුතු සිද්ධ විය. දහා කිසි දිනෙක බිබිලට ගොස් නොතිබිණි. බිබිලට යන පාර ගැනද දහාට නිච්චියක් නැත. බිබිල ගැන මෙලෝ හසරක් නොදන්නා දහනායක සිතියමකින් මඟ සොයාගෙන බිබිලට සේන්දු විය. දහනායක බිබිලෙන් ඡන්දය ඉල්ලන්නට තීරණය කර ගෙන සිටියේය. ගාල්ලෙන් දහනායක බිබිලට සේන්දු වෙන්නෙ පාවිච්චියට හිතවතෙකුගෙන් ඉල්ලා ගත් කාරයකිනි. තනි නොතනියට ඉන්නා එකම ප්‍රාණියා ඒ කාරයේ රියදුරුය.

දහනායක පවුලේ සමීප හිතවතියක් බිබිල වලව්වකට දීග ගොස් සිටියාය. බිබිල වලව්වේ ලැඟුම්ගත් දහනායක එහි සිට මැතිවරණය මෙහෙය වීමට පටන් ගත්තේය. දහනායකගේ ප්‍රතිවාදියා වූයේ ප්‍රදේශයේ ධනවත් බස් හිමියෙකු වූ එස්.ඒ. පීරිස්ය.

ගෙයින් ගෙට ගොස් ජනතාව හමුවූ දහනායක අමාරුවෙන් පළමු රැස්වීම පවත්වන්නට සූදානම් විය. රැස්වීම යන්තමින් ආරම්භ වූවා පමණි එස්.ඒ. පීරිස්ගේ ආධාරකරුවෝ රැස්වීම වට කළහ. දහාට වචනයක්වත් කතා කරන්නට ඉඩනොදී කෑ ගසන්නට පටන් ගත්ය. රැස්වීම අසාර්ථක විය. දහා ආපසු හැරී වලව්වට ගියේය. දහා උත්සාහය අත්නොහැර ගෙන් ගෙට යන්නට පටන් ගත්තේය. යන හැම නිවසකදීම එස්.ඒ. පීරිස්ගෙන් සිදුවන කරදර හිරිහැර ගැන දහා මිනිස්සුන්ට කියන්නට ද පටන් ගත්තේය. තවත් දිනෙක දහනායක රෑ බෝවී එද්දී පාර අහුරා පීරිස්ගේ බස් රථයක් නවත්වා මඟ හරස් කොට තිබිණ. කාරය අසලට ආ පිහියක් අමෝරා ගත් මැරයෙක්

"තමුසේ දහනායක නේ ද?" ඇසීය.

"ඔව් අයියේ. මං මේ ඡන්දෙ එපා වෙලා ගමේ යන ගමන්. මං ආයේ බිබිලට එන්නෙ නෑ. මං ඡන්දෙන් ඉල්ලා අස් වුණා කියලා පීරිස් මහත්තයට කියන්න" දහනායක මැරයාට කීවේය.

මැරයාගෙන් බේරුණු දහනායක කෙළින්ම පොලීසියට ගොස් පැමිණිල්ලක් දැම්මේය. අද මෙන් දේශපාලන අතපෙවීම් බලවත්ව නොතිබුණු නිසා මැර පිරිස අත්අඩංගුවට පත් විය. ගමේ නොගිය දහා මැතිවරණයට මුහුණ දුන් අතර දහනායක ඉන් පරාජය විය. ඇඳුම් කැඩුම් ටික සූදානම් කරගත් දහා නැවත ගාල්ලට එන්න ලෑස්ති විය. ඒ අතරවාරයේ දහාට උදව් උපකාර කළ හිතවතෙක් අලුත් ඔත්තුවක් දහාට දුන්නේය. පීරිස් රජයේ කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කර තිබෙන නිසා ඔහුට මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට එය නුසුදුසුකමක් බව එම ඔත්තුවයි. එය සිතෙහි තබාගෙන ගාල්ලට ආ දහනායක පීරිස්ට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළේය. බිබිලට යළිත් අතුරු මැතිවරණයක් පවත්වන්නට තීන්දුව ලැබිණ.

මේ වාරයේ බිබිල වලව්වේ සහාය ද දහාට අහිමිය. ඡන්ද පෙත්සම ගැන බිබිල වලව්වේ ඇත්තන්ගේ නොමනාපය පළ විය. වලව්වේ දියණිය දහනායකට විවාහ කරදීමේ යෝජනාවක්ද ඉදිරිපත් වී තිබිණ. කිව් දේ නාහන මුරණ්ඩු මිනිහෙකුට දියණිය විවාහ කර දීමට ඔවුහු අකමැති විය. ඒ සියල්ලෙන්ම නොසැලුණ දහනායක මැතිවරණයට ඉදිරිපත් විය. ඡන්ද පෙත්සම නිසා දහනායක ගැන බිබිලේ මිනිස්සු දැනගත්හ. එවර දහනායක ජය ලබා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. දහනායක පිවිසුණු රාජ්‍ය මන්ත්‍රණ සභාව දේශපාලන වෘත්තියක් කරගත් අයගෙන් සැදුම් ලද්දක් නොවීය. අතිවිශාල ධනයකට හිමිකම් කී දේශපාලනය කිරීම නම්බුවක් ලෙස සැලකූ පිරිසක් එහි විය. සෝල්බරි ප්‍රතිසංස්කරණවලට අනුකූලව පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවත්වීමට 1947 වසරේදී තීරණය විය.

දහනායකගේ උරුමය - ගාල්ල

දහනායක ආපසු බිබිලට නොගොස් ගාල්ලට ගියේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමටය. බොල්ෂෙවික් ලෙනින් පක්ෂයේ අපේක්ෂකයා ලෙස දහා මැතිවරණයට ඉදිරිපත් විය. දහනායකගේ ප්‍රතිවාදියා වූයේ ප්‍රසිද්ධ ධනවත් වැවිලිකරුවකු වූ එච්.ඩබ්ලිව්. අමරසූරියයි. හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයාද විය.

සිය සුප්‍රකට දේශපාලන උපහාසාත්මක කතාව දහා කියන්නේ එම මැතිවරණයේදීය. "මම සල්ලි ගහක් හොලවනවා. තමුන්නාන්සේලා ඇහිඳ ගන්න. ඇහිඳ ගෙන මට ඡන්දය දෙන්න." දහා කියූ ලෙසම ජනතාව කළ අතර දහනායක අමරසූරිය පරදා ගාල්ලෙන් පළමුව පාර්ලිමේන්තුවට පත්ව ආවේය.

පාර්ලිමේන්තු ආ දහනායක විපක්ෂයේ අසුන් ගත්තේය. ඇන්.ඇම්, කොල්වින්, පිලිප්, රොබට් ආදී වාමාංශික දේශපාලකයින් දහා එකල ඇසුරු කළේය. 1951 බණ්ඩාරනායක යූන්පියෙන් ඉවත්ව ශ්‍රීලනිප පිහිටුවා ගත්තේය. 1952 දී ඩී.එස් සේනානායක මිය ගිය අතර ඩඩ්ලි සේනානායක අගමැති ධූරයට පත්විය. ඩඩ්ලි 1952 දී පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පැවත් වූ අතර සම සමාජ පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස මැතිවරණය මුහුණ දුන් දහනායක නැවත වරක් ගාල්ලෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. දහාට සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ රැඳි ඉන්නට සිදු වූයේ කෙටි කලකි. ඩඩ්ලි සේනානයක ගාල්ලට පැමිණි මොහොතේ ඩඩ්ලිට මල් මාලයක් පලන්ඳා පිළිගත් වරදට දහා පක්ෂයෙන් නෙරපා හැරිණි.

දහනායක පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගත්තෙ ඉන්පසුවය. 1953 හර්තාලයෙන් පසුව ඩඩ්ලි ඉල්ලා අස් විය. කොතලාවල අගමැති විය. කොතලාවලට විරුද්ධව බණ්ඩාරනායක සිංහල බෞද්ධ පෙරමුණක් ගොඩනැංවීය. බලය ගෙන පැය විසි හතරක් ඇතුළත සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට බණ්ඩාරනායක මැතිවරණ පොරොන්දුවක් දුන්නේය. යුරෝපීය සිරිත් විරිත් අනුගමනය කළ දරදඬු කොතලාවලට වඩා ජනතාව බණ්ඩාරනායක කෙරෙහි ආකර්ෂණය විය.

දහා ද භාෂා පෙරමුණ නමින් අලුත් සංවිධානයක් පිහිටුවාගෙන බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණට සහාය දුන්නේය. 1956 මැතිවරණයේදී යූන්පිය ආසන අටට බස්සමින් බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය අත් කර ගත්තේය. මහජන එක්සත් පෙරමුණෙන් ගාල්ල නියෝජනය කළ දහනායක පාර්ලිමේන්තුවට තේරී පත් විය.

බනිස් මාමා

බණ්ඩාරනායක රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දහනායක පත් විය. අධ්‍යාපන ඇමතිවරයා පිළිගැනීමට විශේෂ උත්සවයක ගාල්ලේ දහාගේ හිතවතුන් සංවිධානය කල අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයායි. දහාට තෑගි දීමට මහජන ආධාරවලින් මිලදී ගත් ඔස්ටින් කේම්බ්‍රිජ් වර්ගයේ කාරයක් ද උත්සව වේදිකාවේ විය. මුළු ගාල්ලම සැණකෙළි වෙස් ගෙන ඇත. සෙනග පිරිවරා ජයඝෝෂා මැද වේදිකාවට පිවිසෙන බණ්ඩාරනායක පිළිගනිමින් දහනායක මයික්‍රෆෝනයෙන් සද්දෙට මෙසේ පැවසීය.

" බණ්ඩා කම් ටු ටවුන් යූන්පි ඩවුන් "

අගමැතිවරයාට සිනහව නතර කර ගත හැකි වූයේ විනාඩි කිහිපයකට පසුවය. එකල පාසල් දරුවන් බොහෝ පිරිසක් මන්ද පෝෂණයෙන් පෙලෙන බව දහනායක දුටුවේය. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පාසල් දරුවන්ට බනිස් ගෙඩියක් හා කිරි වීදුරුවක් දීමට දහා තීරණයක් ගත්තේය. ඒ අසීරු කර්තව්‍ය සාර්ථක කරගැනීමට ඇමෙරිකාවේ 'කෙයාර්' සමාගම දහා එකඟ කරවා ගත්තේය. පාසල් ළමෝ 'බනිස් මාමා' නමින් දහනායක ඇමතූහ.

බණ්ඩාරනායක රජය වැඩ වර්ජන සහ ආණ්ඩු අභ්‍යන්තර ගැටුම් මැද අසීරු කාලයක් ගෙවමින් සිටියේය. ඒ අතරවාරයේදී අගමැති බණ්ඩාරනායකට චීවරධාරියෙකු විසින් වෙඩි තැබීය. වෙඩි පහරින් අගමැති බණ්ඩාරනායක මෙලොව හැර ගියේය. නව අගමැතිවරයෙකු පත් කර ගැනීමේ අර්බුදයක් හටගත් අතර පසුව දහනායක අගමැති ලෙස පත් කිරීමට පක්ෂය තීරණයක් ගනු ලැබීය.

දුප්පත් අගමැති

අගමැතිකම ගැන පණිවුඩය දහාට ලැබෙන්නෙ ශ්‍රාවස්තියේ මුර මඩුවේ සේවයේ නියුතු පොලිස් නිලධාරියා සමඟ දහා කහට කෝප්පයක් බොමින් සිටිනා අතරවාරයේය. ලක්දිව පස්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් විජයානන්ද දහනායක අරලියගහ මන්දිරයේ පදිංචියට ආ සැටි අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පසුව තම පොතක සඳහන් කළේය. දහනායක අරලියගහ මන්දිරයේ පදිංචියට එනවිට ගෙන ආවේ එක සූට් කේස් එකක් පමණි. එහි දහනායකගේ ඇඳුම් පැලඳුම් පමණක් නොව සපත්තු ද අහුරා තිබිණ. බ්‍රැඩ්මන් වීරකෝන් සමඟ අරලියගහ මන්දිරය ඇතුළේ ඇවිද විස්තර දැනගත් දහනායක අවසානයේ නිදන කාමරයට පිවිසියේය.

"මොකක් කිව්ව? මේක නිදන කාමරයක් නෑ? මේක මහ හෝල් එකක්. මේකෙ නිදාගත්තොත් පාර හොයගන්න බැරුව මං අතරමං වෙයි. ඇත්තටම බ්‍රැඩ්මන් මීට වඩා පොඩි කාමරයක් හොයගන්න බැරිද? "

"හොයාගන්න පුළුවන් සර්. ඒත් මේක තමයි අගමැතිතුමාට නියමිත කාමරය. ආරක්ෂාව අතිනුත් මේක හුඟක් හොඳයි."

" එහෙම නෙවෙයි බ්‍රැඩ්මන්. මම කියන්න ද වැඩක්. වඩු බාස් කෙනෙක්ට එන්න කියලා මේක ඇතුළේ පොඩි කාමරයක් හදන්න කියන්න."

" එතකොට සර්, කාමරේ ඇතුළේ තව කාමරයක් ? "

" ඔව්.පොඩි කාමරයක්."

බණ්ඩාරනායකගේ ඝාතනයෙන් පසු ආණ්ඩුව වියවුලෙන් වියවුලට පත් වූවා මිස එය සමනය වූයේ නැත. බණ්ඩාරනායකගේ ඝාතනයට ඇමැති මණ්ඩලයේ සමහර අයගේ නම් ද ගෑවී තිබිණ. පුවත්පත් පාලනයට සිදුවිය. ශ්‍රීලංනිප ඇමතිවරු දහනායකට කෙණහිලිකම් කරන්නට විය. ඒ නිසා ආපස්සට දහනායක ද ඇමතිවරුන්ගෙන් පලි ගන්නට පටන් ගත්තේය.

අගමැතිකම දරූ හය මාසයට දහනායක හය වතාවක් ඇමති මණ්ඩලය වෙනස් කළේ ය.

අගමැති වී මාස හයකට පසු හිටි හැටියේම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට දහනායක තීරණය කළේය. 1960 මාර්තු මහමැතිවරණය සඳහා අලුතින්ම පක්ෂයක් පිහිටුවා ගත් දහනායක අපේක්ෂකයින් අසූ දෙනෙකු සමඟ ඔහුද ගාල්ල ආසනයට තරග කළේය. මහමැතිවරණය ලංකාවේම එකම වර පවත්වන්නට මුලින්ම තීරණය කළේ දහනායකය. අගමැති දහනායකගේ නියමය පරිදි සෑම පක්ෂයකටම සමාන ගුවන් විදුලි කාලයක් ලබාදීමට ද මුල්වරට තීරණය විය. අලුත් පක්ෂය නිසා රට වටේම යෑමට දහනායකට සිදුවිය.

අවසානයේ දහනායක ගාල්ල ආසනයෙන් පරාජය වෙමින්ද දහාගේ පක්ෂයේ අපේක්ෂකයින් අසූ දෙනාගේ ඇප රාජසන්තක කරමින් අන්ත පරාජයකින් මැතිවරණය නිමා විය. දහනායක පරාද වී අරලියගහ මන්දිරයේ හාන්සි පුටුවකට වී වේදනාකාරී මුහුණෙන් හිඳගෙන සිටියේය. එන විට ගෙන ආ සූට් කේසයද දහනායකගේ දෙපා පාමුල ය.

"බ්‍රැඩ්මන් මට ගාල්ලට යන්න කාරෙකක් ඉල්ල ගන්න පුළුවන්ද ?"

"මොකද නැත්තේ සර්, සර්ට කාරෙකකින් යන්න සම්පූර්ණ අයිතිය තියෙනවා."

දහනායක අරලියගහ මැදුරෙන් නික්ම ගිය ආකාරය ගැන බ්‍රැඩ්මන් වීරකෝන් තම පොතෙහි (අගමැතිවරු සත් දෙනෙකු සමඟ) සඳහන් කරන්නෙ එලෙසය.

1960 මැතිවරණය ඩඩ්ලි සේනානායක ජයගත්තද ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව අවිනිශ්චිත විය. 1960 අප්‍රේල් 22 රාජාසන කතාවේ ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂය පරාජය වීම නිසා ආණ්ඩුව බිඳ වැටිණි. යළි මහ මැතිවරණයකට දින නියම විය. 1960 ජූලි මැතිවරණයෙන් ගාල්ල දිනා දහනායක අසීරු ජයග්‍රහණයක් ලබා නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

දහා පාර්ලිමේන්තුවෙන් සමුගෙන සිටියේ මාස හතරක් වැනි සුළු කාලයකි. ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක දිවුරුම් දෙන ලදි. දහා විපක්ෂයේ නිකම්ම නිකම් මන්ත්‍රීවරයෙක්ව අසුන්ගෙන සිටියේය. විපක්ෂයේ සිටින දහාට ආණ්ඩු පක්ෂයේ සිටින විරුද්ධවාදීන්ගෙන් නිතර විවේචන එල්ල විය. වරක් ඒවාට දහනායක මෙලෙස පිළිතුරු දුන්නේ ය.

ගරු කථානායකතුමනි,

"මා මගේ ජීවිතයේ කාලයේ ලොකුම මෝඩකම ලංකාවේ අගමැතිකම භාර ගැනීමයි. විලියම් ශේක්ෂ්පියර් මහා කවියා කියා තිබෙනවා ඔටුන්න දරනා හිසට කවදාවත්ම නිවනක් සැනසිල්ලක් නැති බව."

නැවතත් රාජාසන කතාව එක් ඡන්දයකින් පරාජය වීමෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුව විසුරුවා හැරීමට 1964 දෙසැම්බර් සිදු විය. 1965 මාර්තු මැතිවරණයේදී දහනායක එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට මුහුණ දීමට සූදානම් විය.

දහනායක අඳුනනවා ද ?

රට පුරා මැතිවරණ රැස්වීම් අමතන අතරතුර දහනායක බිබිලටද ගියේය. බිබිල ආසනය සඳහා යූන්පියෙන් බිබිලේ ආර්.එම්. ධර්මදාස බණ්ඩාද ශ්‍රීලනිපයෙන් පිටගම්කාරයෙකු වූ රොනී ද මැල් තරග කළහ. බිබිලේ රැස්වීමකදී ඡන්දදායකයින්ගෙන් දහනායක තමන් හඳුනනවාද ඇසීය.

"මොකද නැත්තේ මේ අපේ දහනායක මහත්තයනේ" මිනිස්සු පිළිතුරු දුන්හ.

"අන්න හරි. ඔබතුමන්ලට මතකද මට ඡන්දය දීලා මාව කවුන්සිලේට යැව්වා ?"

"මොකද නැත්තේ. අපිත් ඡන්දෙ දුන්නනෙ."

"අන්න හරි. තමුන්නාන්සෙලා ඡන්දය දුන්න දහනායක දිනලා කවුන්සිලේට ගියා. ඊට පස්සෙ තමුන්නාන්සෙලා දහනායකව දැක්ක ද ?"

දහනායක නැවතත් ප්‍රශ්න කරයි.

"මොන පිස්සුද දැක්කෙත් අදයි." ඡන්දදායකයෝ ඔලොක්කුවට සිනාසෙයි.

"අන්න හරි. දැන් ඒකෙන්වත් ඉතින් පාඩමක් ඉගෙන ගන්න. තමුන්නාන්සේලාගේ මන්ත්‍රී විදියට ගමේ කෙනෙක් පත් කරගන්න. පයින් බැරි නම් බයිසිකලෙන් ගිහින් හම්බ වෙන්න පුළුවන් කෙනෙක් මන්ත්‍රී කරගන්න. පිට මොන මනුස්සයා ආවත් කරන්නෙ මං කරපු දේමයි. දිනුවට පස්සෙ අංජනං එළි ඇරලත් අල්ල ගන්න බෑ."

එවර බිබිල ආසනය ජයගත්තෙ යූඇන්පියේ ධර්මදාස බණ්ඩාය. 1965 මැතිවරණයෙන් නැවතත් දහා ගාල්ලෙන් තේරීපත් විය. ඩඩ්ලි සේනානායක සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයට පත් විය. දහා ඩඩ්ලිගේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමති ලෙස පත් විය. නිසි ආයු කාලය සැපිරූ ඩඩ්ලිගේ ආණ්ඩුවේ නිල කාලය 1970 අවසන් විය. 1970 මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල ආසනයෙන් දහනායක තරග වැදිණි. යූඇන්පිය එවර අන්ත පරාජයකට මුහුණ පෑ අතර යූඇන්පියට හිමි වූයේ ආසන 17ක් පමණී. සිරිමාවෝ මැතිණියගේ සමගි පෙරමුණ තුනෙන් දෙකක ජයක් වාර්තා කළේය. ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් සැදුම්ලත් දකුණු පළාතෙන්ම යූඇන්පිය නියෝජනය කරමින් ජයගත් එකම අපේක්ෂකයා විජයානන්ද දහනායකය.

බලයට ආ සමගි පෙරමුණු ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට තීරණය කළ අතර එම පනතට ස්වාධීනව ඡන්දය දීමට ඉඩ දෙන්නැයි දහා එජාපයෙන් ඉල්ලා සිටියේය. දහාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. දහනායක එජාපයෙන් නෙරපා හරින ලදි. දහනායක යළිත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගත්තේය.

1977 මැතිවරණය ළං වන විට සිරිමාවෝ රජයේ වාමාංශික ප්‍රතිපත්ති නිසා ආණ්ඩුව අප්‍රසාදයට ලක්ව ජනතාව අතර පිරිහී ගොස් තිබිණ. නායක ජේ.ආර්. ජයවර්ධන යටතේ යූඇන්පියේ කාලය නැවත හොඳ අතට හැරෙමින් තිබිණ. දැන් ස්වාධීනව පාර්ලිමේන්තුවේ සිටින දහනායක තම දේශපාලන පලපුරුද්දෙන් නැවත කරණමකට ඉව ඇල්ලීය. දහනායකට ජේ.ආර්. ගේ කණෙන් රිංගන්නට බැරි වෙයි.

1977 මහ මැතිවරණයට පෙර සිදුවීමකි. ඒ වන විට ගාල්ලෙ එජාප ආසන සංවිධායකවරයා වූයේ ඇල්බට් සිල්වා ය. එජාප නායක ජේ.ආර් ජයවර්ධන ගාල්ලේ රැළියකට සහභාගී වීමට එමින් සිටී. දහනායක තම කාරය හික්කඩුවේ ජේ.ආර් එන අතරමඟ නවතාගෙන සිටී. ජේ.ආර්ගේ මෝටර් රථය හඳුනාගත් දහනායක තම කළු කුඩය පාරට දිගුකර මෝටර් රථය නවත්වන ලෙස ඉල්ලා සන් කළේය. මෝටර් රිය නැවතිණි.

" ඇයි ඩොක්ටර් දහනායක? " ජේ. ආර් ඇසීය.

" මට පොඩි අකරතැබ්බයක් වුණා. කාර් එකේ මොකක් හරි අවුලක්. කරුණාකරලා මාව ගාල්ලට ඇරලවන්න පුළුවන් ද?"

දේශපාලනයේ දශක ගණනාවක් නියැලීමෙන් දේශපාලනයේ කෙළපැමිණි මොළ දෙකක් හමු වුණු අවස්ථාවකි.

ජේ.ආර්. දහනායකගේ සැඟවුණු කපටි අරමුණ වහා දුටුවේය.

"මිස්ටර් දහනායක මෙන්න සල්ලි. කුලී කාරෙකක් අරන් ගෙදර යන්න..."

දහනායකගේ ඒ උපාය සාර්ථක නොවීය. දහනායකට අවශ්‍ය වූයේ ඇල්බට් සිල්වාගේ රැළිය ඉදිරිපිට ජේ.ආර්.ගේ කාරෙයන් ගොස් බසින්නටය. එවිට එජාප නායකයාගෙත් දහනායකගෙත් හිතවත්කම දකින ඇල්බට් සිල්වාගේ පාක්ෂිකයෝ ඇල්බට් සිල්වා කෙරෙහි සිත් බිඳවා ගනී. ඇල්බට් සිල්වාත් තෙද සිඳී දුර්මුඛ වෙයි.

1977 මහමැතිවරණයේ වාසිය එජාපයට බව පෙනෙන්නට පටන් ගෙන තිබිණි. දහනායක එජාපයෙන් ගාල්ල ආසනයට තරග කරන්නට නාමයෝජනා ඉල්ලුවේය. දහනායක විරෝධී ගාල්ලෙ එජාප පාක්ෂිකයින්ගේ දැඩි විරෝධය නිසා නාම යෝජනා ප්‍රතික්ෂේප විය. දහනායක ගාල්ලට ස්වාධීනව ඉදිරිපත් වන්නට තීරණයක් ගත්තේය.

" රට ජේ.ආර්ට ගාල්ල දහනායකට"

දහනායකගේ උපක්‍රමික මැතිවරණ ප්‍රචාරණ පාඨය වූයේ එයයි. 1977දී රට ජේ.ආර්. හයෙන් පහක ජයක් ලබා උඩින්ම දිනාගත්තද දහනායකට ගාල්ල දිනාගන්නට බැරිව ගියේය. එවර ගාල්ල ජයගත්තේ එජාපයේ ඇල්බට් සිල්වාය.

පරණ නැති පැරණි උපක්‍රමය

දහනායක තම දේශපාලනයේ මුල් යුගයේදී බිබිලේදී අත්හදා බැලූ උපක්‍රමය යළිත් අත්හදා බලන්නට සිතීය. ඇල්බට් සිල්වා ද ආණ්ඩුවේ කොන්ත්‍රාත් කළ අයෙකි. හරියට චෝදනා ගොනුකොට උසාවිය ඉදිරියේ ඔප්පු කරගැනීමට හැකි වුවහොත් ඉන් ඇල්බට් සිල්වාගේ මන්ත්‍රීකම ගහලා යන බව දහා දනී. දහා ගාල්ල මහාධිකරණයට ඇල්බට් සිල්වාට විරුද්ධව මැතිවරණ පෙත්සමක් ගොනු කළේය. විත්තියේ මූලික විරෝධතා හමුවේ පෙත්සම විසිවිය. දහා පෙත්සම අභියාචනාධිකරණයට ද ශ්‍රේෂ්ඨාධිකරණයට ද යොමු කළේය. ඒ සියලු අවස්ථාවලදී උසාවිය ඉදිරියේ කරුණු දැක්වීම වෙනුවෙන් දහනායකම පෙනී සිටියේය. නීති පොත් කියවමින්, පූර්ව නඩු තීන්දු හදාරමින් දහනායක ඊට මහන්සි වූවේය.

අවසානයේ ඇල්බට් සිල්වාගේ මන්ත්‍රී ධූරය අහිමි විය. 1979 නැවතත් ගාල්ලට අතුරු මැතිවරණක් පැවත්වීමට තීරණය විය. දහනායක ගාල්ලට නැවතත් වැදගත් චරිතයක් බවට පත්ව සිටියේය. ජේ.ආර්. ජයවර්ධන කලින් ගාල්ල ආසනය දිනූ ඇල්බට් සිල්වාට කඹුරුපිටිය ආසනයදී දහනායකට ගාල්ල ආසනය ලබාදුන්නේය. 1979 අතුරු මැතිවරණයෙන් එජාපය නියෝජනය කරමින් දහනායක නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් විය. දහානායක පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඇමති පදවියක් ලැබීමට තවත් කාලයක් ගත විය. 1986දී දහනායකට ජයවර්ධන රජයේ සමූපකාර ඇමතිකම ලැබුණි.

[කේතක දිනාජ්]

මාතෘකා