පළමු ජනපතිට ආ අභියෝග

 ඡායාරූපය:

පළමු ජනපතිට ආ අභියෝග

විලියම් ගොපල්ලව ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරයා වු අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක නොවන ජනාධිපතිද විය. (නාමික විධායක) 1972දී ලංකාව ජනරජයක් වූ බවට පත්වීමෙන් පසු ජනාධිපති ධුරයට පත් වූ ඔහු අපක්ෂපාති හා ගෞරවණීය රාජ්‍ය නායකයකු ලෙස ද ප්‍රසිද්ධියට පත්වී ඇත.

හමුදා කුමන්ත්‍රණයක් මඟින් බලය අල්ලා ගැනීමේ වැඩපිළිවෙළක් 1962 ජනවාරි 27 වැනි දිනට යෙදී තිබූ අතර පසුව එය හෙළිදරව් විය. එවක අගමැතිනියව සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායකය. එම කුමන්ත්‍රණය පසුපස අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකද සිටි බවට රජය සැක කරන ලද අතර ඔහු එම තනතුරින් ඉවත් කර විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාර ධුරයට පත් කිරීමට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පියවර ගත්තාය.

විලියම් ගොපල්ලව මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර සහ මහා සේනාධිපති ධුරයෙහි වැඩ බාරගත් බව රජයේ නිවේදනයක් හැටියට බාහිර ලෝකයටද දැනුම්දීමෙන් පසු උදේ 9.30ට අභිනව අග්‍රාණ්ඩුකාරතුමාගේ කටහඬ ලංකා ගුවන්විදුලි සේවය ඔස්සේ රට පුරා පැතිර ගියේය. විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරතුමාගේ ඒ ඓතිහාසික මංගල පණිවුඩය මෙසේය.

‘ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාරයා වශයෙන් වැඩ බාරගත් අද දවසේ ලක්වැසි ජනතාව අමතා මා කතා කරන්නේ ඉතාමත් නිහතමානී හැඟීමකින්. මට බාර ගන්නට නියම වුණු මේ පදවියට අදාළ වගකීමේ බැරෑරුම්කම මම හොඳින් දන්නවා. මේ පදවිය පිරිනැමීමෙන් මා කෙරෙහි තැබූ විශ්වාසය ගැන මගේ කෘතගුණය, මහ රැජිනිය වෙත සැලකර සිටින අතරම මට පැවරී ඇති බාරදූර මෙහෙවර රට වෙනුවෙන් ඉටුකිරීම සඳහා තම අවබෝධයත්, සහයෝගයත්, උපකාරයත් දෙන මෙන් ලක් මාතාවගේ දරුවන් වන මාගේ සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලා සිටිමි.

අපට නැතිව තිබූ නිදහස නැවත දිනා ගැනීමෙන් පසු ගත වී ඇත්තේ අවුරුදු දාහතරක් පමණයි. රටක් හෝ ජාතියක් ගැන සලකන කල අවුරුදු දාහතර ඉතා කෙටි කාලයක්. එසේ වුවත් මේ සුළු කාලය ඇතුළත ප්‍රජාතන්ත්‍රවාදයේ පාලන ක්‍රම සංවර්ධනය කිරීමටත් ක්‍රියාවෙහි යෙදවීමටත් අපි කැප වී තිබෙනවා. මහජනතාවගේ අදහස් උදහස්, තමන්ගේ කටයුතු පාලනය කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි ඉතාම සාධාරණ ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතයි. අප දැන් ඇප කැප වී සිටින්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු ආයතනයන් මඟින් රට පාලනය කිරීමේ ක්‍රමයටයි. ඒ ක්‍රමය පවා සර්ව සම්පූර්ණ නොවන බව අපි දන්නවා. එහෙත් ඒ සම්ප්‍රදාය ආරක්ෂා කරමින් එය සම්පූර්ණභාවයට පත්කර ගැනීම අපේ අභිප්‍රාය විය යුතුයි.

නිදහස ලැබීමෙන් පසු අපට අත්වුණු දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ගැන මම මතක් කළා. එහෙත් ගම්බද ගොවියාගෙන් මෙන්ම නගරබද කම්කරුවාගෙන්ද සෑදුණු අපේ පොදු ජනතාවට, වඩා හොඳ ජීවන තත්ත්වයක් සැලසෙන්නේ නැත්නම් අප දන්නා හැටියට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති තේරුමක් නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වඩා උසස් ආර්ථික හා සමාජ සුබසිද්ධියට පරිවර්තනය කිරීමෙන් අර්ථවත් කිරීම පැවරී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මඟින් මහජන විශ්වාසය හිමිව සිටින පිරිසටයි. අපේ රටේ වරින් වර බලයට පත් ආණ්ඩු මඟින් මේ අරමුණු උදෙසා යම් යම් ප්‍රයත්න දරා ඇත. එහෙත් ඒ උසස් අරමුණුවලින් අපේ ලක්ෂ සංඛ්‍යාත මහා ජනකායට නිසි ඵල අත්කර දීමට නම් අප තවත් බොහෝ දුර ඉදිරියට යා යුතුයි.

අපේ මෙහෙවර සුළුපටු එකක් නොවෙයි. එය හරිහැටි ඉටුවීමට නම් සමාජයේ අප උරදෙන්නා වූ සෑම කටයුත්තක්ම හැකිතාක් හොඳින් ඉටු කිරීමට අප සියල්ලන්ම ඇප කැප විය යුතුයි. ඒ සඳහා අප හැමදෙනාම වැඩි වැඩියෙන් කළ යුතු ආත්ම පරිත්‍යාගයක් ඇත. මේ රටෙන් වත්පොහොසත්කම් හා වාසනාවේ වරප්‍රසාද වැඩියෙන් ලබා භුක්ති විඳින පිරිසගෙන් මේ ආත්ම පරිත්‍යාගය වඩාත් විශේෂයෙන් සිදුවිය යුතුය.

මේ රටේ ජනතාවට අයත් දේශපාලන, සමාජ හා ආගමික යන සෑම අංශයකින්ම අද දින මා ඉල්ලා සිටින්නේ තමන්ගේ රට වෙනුවෙන් මේ ආත්ම පරිත්‍යාගයේ හැඟීම එසේම තහවුරු කරගන්නා ලෙසය. අප රටේ විවිධ ජාතිකයන් හා ජන අංශයන් අතර මූලික ලක්ෂණයක් වුණු එක්සත්භාවය හා සමගිය එකින් එකට ප්‍රතිවිරුද්ධ පටු අරමුණු මුදුන්පත් කරගැනීමේ උත්සාහයන් නිසා පරිහානියට පත්ව ඇති මතභේදයක් නැති සමාජයක් ජීව ලෝකයේම නැහැ. අදහස් උදහස් හා එකඟවීමේ කැමැත්ත පිළිබඳ පිවිතුරු හැඟීම්වලින් මුහුණු දෙතොත්, සාධාරණ ලෙස විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් ඇතැයි මම විශ්වාස කරන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහස්සේ විසින් දෙසා වදාරණ ලද ශාන්තියේ හා මෛත්‍රීයේ පණිවුඩය විදේශයන්ටද බෙදා දෙමින් රැකගත් අපේ මේ රටේ ඒ ශාන්ත පණිවිඩය අපේ දිනපතා ජීවිතය මෙහෙයවීමෙහි යොදා ජීවමාන බලවේගයක්ව ඇති බව මට විශ්වාසයි.

මා කෙරෙහි තැබූ විශ්වාසය ගැන ගරු අගමැතිනියටත් එතුමියගේ රජයටත් මගේ ස්තූතිය හා අනුප්‍රසාදය මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. එතුමියගේ හා රජයේ උපදෙස් හා සහයෝගය ඇතිව මේ උසස් පදවියේ වගකීම හා යුතුකම් මට හැකි තරම් උසස් අන්දමින් ඉටු කිරීම මගේ පරිශ්‍රමයයි. මේ මෙහෙවර මා බාරගන්නේ නිරහංකාරවය. මගේ රටට සේවයක් කිරීමේ හැඟීම ඇතිවයි. ගරු අගමැතිනියගේ රජයටත්, ලංකාවාසී මහජනතාව වන තමුන්නාන්සේලාටත් මගේ නිරවශේෂ පක්ෂපාතකම ගැන අද දින ප්‍රතිඥාදී සිටිනවා. තමුන්නාන්සේලා සියලුදෙනාටම තුනුරුවන් සරණ හා දේවාරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා."

ඔහු බෙහෙවින්ම අපක්ෂපාතී නායකයෙක් විය.

මේ අතර 1970 මැයි 27 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ ජයග්‍රහණය ලැබීය.

සමගි පෙරමු‍ණේ මැතිවරණ පොරොන්දුවක් වූයේ ව්‍යවස්‌ථාව වෙනස්‌කොට නව ව්‍යවස්‌ථාවක්‌ සකසන බවය. මැතිවරණයෙන් පසු පත්වන මන්ත්‍රීන්ට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ වශයෙන් ක්‍රියා කිරීමටත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමටත් එය පිළිගෙන ක්‍රියාත්මක කිරීමටත් බලය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. අවශ්‍ය වූ බලය ලැබුණු හෙයින් 1970 බලයට පත් රජය, නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීම සඳහා ව්‍යවස්‌ථාදායක සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවනු ලැබීය. අගමැතිනිය විසින් මෙකී ව්‍යවස්‌ථාදායක සම්පාදක මණ්‌ඩලයක්‌ ඇති කරනු ලබන්නේ ජනතාවගේ ඡන්දයෙන් තේරී ආ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වන ආකාරයටය. මෙම මණ්‌ඩලයට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීමට හා පිළිගැනීමට ක්‍රියාත්මක කිරීමට බලය දෙන ලදී. එම සම්පාදක මණ්‌ඩලයේ ව්‍යවස්‌ථා කෙටුම්පත රටේ ව්‍යවස්‌ථාව ලෙස පිළිගනිමු යනුවෙන් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ සභාපතිනිය ලෙස අගමැතිනිය කළ යෝජනාවට ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ අනුමැතිය ලැබිණි. 1972 ව්‍යවස්‌ථාවේ උපත එසේ සිදු වූ අතර එයින් සෝල්බරි ව්‍යවස්‌ථාව අහෝසි වී ගියේය. ඒ අනුව,

1. රැජිනගේ නාමයෙන් රජයේ සේවකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීම අහෝසි විය.

2. ලංකාවේ උපරිම අධිකරණය ලෙස බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සලය එතෙක් හැඳින්වූ අතර ලංකාධිකරණය තුළ අවසාන ඇපැල් උසාවිය ලෙස හඳුන්වන ලද්දේ එයයි. නව ව්‍යවස්ථාවෙන් ලංකාවේ අවසාන අධිකරණය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වාදෙන ලදී.

3. බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා ලෙස අග්‍රාණ්ඩුකාරයා 1972 දක්වා හඳුන්වා තිබූ අතර පාර්ලිමේන්තු සැසිවාර විවෘත කිරීම අගමැතිගේ උපදෙස් මත පාර්ලිමේන්තු කැඳවීම, විසුරුවා හැරීම, කල් තැබීම, යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම ආදියද ඔහුට අයත් කාර්යයන් අතර විය. 1972 ව්‍යවස්ථාව මඟින් එම අග්‍රාණ්ඩුකාර ධුරය අහෝසි කරන ලද අතර නාමමාත්‍ර විධායකය ලෙස නම් තැබූ ජනාධිපති ධුරයක් ස්ථාපිත කරන ලදී.

1972 මැයි 22 වැනි දින සුබ නැකතින් නව ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නව ජනාධිපති ධුරයද ප්‍රතිස්ථාපනය විය.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු ප්‍රථම ජනාධිපතිවරයා හැටියට විලියම් ගොපල්ලව මහතා මන්ත්‍රීවරුන් ඉදිරියේ දිවුරුම්දී වැඩ භාරගත්තේය. එතෙක් කල් රජ ගෙදර “ජනාධිපති මන්දිරය” බවට පත්විය.

ශ්‍රී ලංකාදීපය අධිරාජ්‍යවාදයෙන් මිදුණු ඓතිහාසික

ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම ජනාධිපති විලියම් ගොපල්ලව මහතා ජාතියට දුන් මංගල පණිවුඩය ගුවන්විදුලිය ඔස්සේ තුන්සිංහලේ පුරා පැතිරී ගියේය.

එතුමාගේ කථාව

"පරිපූර්ණ නිදහස ඇති ජනරජයක් මඟින් අභිනව යුගයක් ආරම්භ වන මොහොතේ ජනරජයේ පළමු වැනි ජනාධිපති වශයෙන් පත්වීමේ භාග්‍ය මා වෙත පැවරීම ගැන ගරු අග්‍රාමාත්‍යවරියටත්, රජයටත් ජනතාවටත් මාගේ හෘදයංගම කෘතගුණය මුලින්ම සඳහන් කරමි. ශ්‍රී ලංකා ජනරජය මගින් අපේක්ෂිත ශ්‍රී සෞභාග්‍ය මුළුමහත් ජනතාවට උදා වේවායි ප්‍රාර්ථනා කරමිනි. ඒ අභිනව යුගයේ සමාරම්භ ලක්ෂණය වශයෙන් අපේ ස්වාධීන ධජය සදහටම බැබලෙන සේ ඔසවමි.”

1972 මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම ජනාධිපති ධුරයට පත්වූ විලියම් ‍ගොපල්ලව මහතාගේ‍ සේවා කාලය 1976 මැයි මස 22 වැනිදාට අවසන් වීමට නියමිතව තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ පත්වීම කෙරෙන්නේ අවුරුදු හතරක් සඳහාය.

නියමිත කාලය අවසන් වනවිට ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමට කැමැති බව ගොපල්ලව මහතා අගමැතිනියට දන්වා සිටියේය. එහෙත් අග්‍රාණ්ඩුකාරයා වශයෙන් මෙන්ම ජනාධිපති වශයෙන්ද ගොපල්ලව මහතා ඉතාමත් අපක්ෂපාතීව බුද්ධියෙන් යුතුව කටයුතු කර තිබුණු නිසා ඒ මහතාගේ සේවය තවදුරටත් ලබා ගැනීමට තමාත් ඇමැති මණ්ඩලයත් තීරණය කර තිබුණු බව අගමැතිනිය කියා සිටියේය. ඒ අනුව විලියම් ගොපල්ලව මහතාගේ සේවා කාලය තවත් අවුරුදු හතරකින් දීර්ඝ කරන ලදී.

1977 ජූලි 23 වැනිදා මහමැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් වැඩ භාරගත්තේය.

ගොපල්ලව මහතාගේ පාලන කාලය තුළදී ශ්‍රී ලංකාවේ මහමැතිවරණ තුනක් පවත්වා ඇත. 1965, 1970 සහ 1977 යන වර්ෂවල පවත්වන ලද මේ මහමැතිවරණ තුනෙන්ම බලයේ සිටි ආණ්ඩු පෙරළී ගියේය. මැතිවරණවලින් පසු විපක්ෂය බලයට පත්විය. ඒ හැම අවස්ථාවකදීම රාජ්‍ය නායක හැටියට ඉතාමත් අපක්ෂපාතී ලෙස කටයුතු කිරීමෙන් විලියම් ගොපල්ලව මහතා ජනාදරය දිනා ගත්තේය. හෙතෙම අපක්ෂපාතී භාවයේ ප්‍රතිමූර්තියක් හැටියට වාර්තා පිහිටු වූයේය.

මාතෘකා