ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම රජයේ අරමුණයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම රජයේ අරමුණයි

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම රජයේ අරමුණ වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (17) මොණරාගල, සියඹලාණ්ඩුව, කොටියාගල ඉදිවූ 107 වැනි ආදර්ශ ගම්මානය වන දෙව්පුදගම ආදර්ශ ගම්මානය විවෘත කරමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛව ඇති කරන ලද ජාතික ආණ්ඩුවට වසර 03 ක් ගතවන අද දිනයේදී ‘දෙව්පුදගම’ ගම්මානයත්, අපනයන ගම්මානයත් විවෘත කිරීමට අපට හැකි වුණා. වෙනත් ආකාරයකින් පවසනවා නම් හුස්ම ගත් වසර 03 අවසන් වන විට කතරගම දෙවිඳුන්ගේ පිහිටෙන් අපට මෙම ගම්මානය ආරම්භ කිරීමට හැකි වුණා. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා සඳහන් කළ ආකාරයට අපි ඉදිරියේදී මේ ප්‍රදේශයට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.

“මොණරාගල ප්‍රදේශය අඹ වගාවට ප්‍රසිද්ධ නිසා අපි බලාපොරොත්තු වන්නේ ‘අපනයන ගම්මානය’ හරහා අපනයනයට අවශ්‍ය අඹ වගා කිරීමටයි. මේ ප්‍රදේශය දියුණු කිරීමට රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමා ගන්නා උත්සාහය නිසා මේ වැඩකටයුතු රටේ නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ධූරයේ වැඩකටයුතු කරන අතරම ශ්‍රී ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩ කටයුතු එතුමාට භාරදී තිබෙනවා. එතුමා සමඟ එකතුවෙමින් මේ ප්‍රදේශයට අවශ්‍ය ජලය ලබාදීමට, වැව් ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය ආදී ව්‍යාපෘති ගණනාවක් සිදු කරනවා. මේ කාලය තුළ මොණරාගල ප්‍රදේශයේ වෙනසක් ඇති කිරීමට එතුමා ගන්නා උත්සාහය වෙනුවෙන් අප ප්‍රශංසා කළ යුතුයි.

“මෙම නිවාස සඳහා ඔබට ඔප්පු ලබාදීමට පැමිණ සිටින්නේ ගයන්ත කරුණාතිලක ඇමැතිතුමායි. අපේ රජයේ පරමාර්ථය අනුව සියලූ දෙනාටම ඉඩමක අයිතිය ලබාදීමට එතුමා කටයුතු කරනවා. ඉන්පසුව එම ඉඩම්වල සින්නක්කර අයිතිය ඔබට ලබාදීමටද අපි කටයුතු කරනවා. ඒ වගේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අඩිපාරේ යමින් උදාගම් ව්‍යාපාරය නැවත ඇති කිරීමට සජිත් ප්‍රේමදාස මැතිතුමා කටයුතු කළා. උදාගම් ව්‍යාපාරය 1994 දී නැවතුණා. එම නිසා ග්‍රාමීය ජනතාවට ක්‍රමානුකූලව නිවාස ලැබීම නතර වුණා. පියාගේ වැඩකටයුතු නැවතත් ඉදිරියට ගෙන යාම සඳහා එතුමා මෙම අමාත්‍යංශය මගෙන් ඉල්ලා සිටියා.

“මේ වනවිට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මෙහෙයවීමෙන් උදාගම්මාන 1110ක වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. අපේ ඉලක්කය එවැනි ගම්මාන 2500ක් ඉදිකිරීමයි. අද දින මේ විවෘත කරන්නේ 107 වන ආදර්ශ ගම්මානයයි. මේ සියලු වැඩකටයුතු කිරීමට එතුමාට ගත වී තිබෙන්නේ වසර 03ක් පමණක් බව මම ඔබට සිහිපත් කරනවා. අපේ රජය යටතේ නිවාස හා පොදු පහසුකම් වෙනුවෙන් වන රාජ්‍ය ආයෝජනය දෙගුණයකින් වැඩි කිරීමට අපි කටයුතු කළා. 2014 දී එය රුපියල් මිලියන 7800ක් වුවත් 2016 වන විට රුපියල් මිලියන 19600ක් බවට පත් කිරීමට අපට හැකිවුණා. ඒ ආණ්ඩුවට වසර 02 ක් ගත වන විට අප සිදු කළ කාර්යයකි.

“මධ්‍යම පාන්තිකයින්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් සජිත් ඇමැතිතුමා ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව යටතේ රුපියල් මිලියන 05ක ණය මුදලක් ලබාදීමට කටයුතු කරනවා. වැවිලි කර්මාන්තයේ නිරතව සිටින්නන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදීමේ ව්‍යාපෘතිය අප ආරම්භ කර තිබෙනවා. එහි පළමු ව්‍යාපෘතිය පසුගිය ඉරිදා දින "මහත්මා ගාන්ධිපුරම්" ගම්මානය නමින් විවෘත කළා. උතුරේ ජනතාව වෙනුවෙන් නිවාස 40,000ක් ඉදි කිරීමට අප කටයුතු කර තිබෙනවා. මේ සියල්ල අප වසර 03 ක් තුළ සිදුකර ඇති වැඩසටහන් බව පැවසිය යුතුයි.

“සෞඛ්‍ය සේවයේ හෘද රෝග ප්‍රතිකාර සඳහා නොමිලේ ස්ටේටන්ස් ලබාදීම. හොඳම අක්ෂි කාච නොමිලේ ලබාදීම, වෙළෙඳපොළේ ඇති අක්ෂි කාච 38ක මිල පාලනය කිරීම, පිළිකා රෝගීන්ට රුපියල් ලක්ෂ 15 ක් දක්වා ලබාදුන් ප්‍රතිකාරය ජීවිතාන්තය දක්වා ලබා දීමට කටයුතු කිරීම, අත්‍යවශ්‍ය ‍ඖෂධ 48ක මිල අඩු කිරීම. 1990 "සුවසැරිය" ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව ආරම්භ කිරීම ආදිය අප ගතවූ වසර 03 තුළ සෞඛ්‍ය සේවය වෙනුවෙන් ගත් පියවර ලෙස හැඳින්විය යුතුයි.

“අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ද අප ගෙවුණු වසර 03 තුළ විශාල වැඩකොටසක් සිදු කළා. "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ ප්‍රාථමික පාසල් 3577ක් ද්විතීයික පාසල් 1000කත් පහසුකම් වැඩිදියුණු කිරීමට අපට හැකි වුණා. පාසලේ පෝෂ්‍යදායි ආහාර වැඩසටහන යටතේ පාසල් දරුවන් මිලියනයකට ප්‍රතිලාභ ලබාදීමට හැකි වුණා. "සුරක්ෂා රක්ෂණ" වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අප කටයුතු කළා. විධිමත් ක්‍රමවේද ඔස්සේ පාසල් ගුරුවරු බඳවා ගැනීමටත්, උසස් කිරීමටත් අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා දේශපාලන මැදගත්වීම අප තහනම් කර තිබෙනවා. මහපොළ ආධාරය රුපියල් 2500 සිට 5000 දක්වා වැඩිකිරීමට අප කටයුතු කර තිබෙනවා. ශිෂ්‍යාධාර රුපියල් 2000 සිට රුපියල් 4000 දක්වා වැඩි කළා.

“ජීවන වියදම් සහ වෙනත් සහන ලබාදීම, 2015 දී ආරම්භ කළ රුපියල් 2000ක ගැබිණි මාතා දීමනාව තවදුරටත් ලබාදීමට අප කටයුතු කරනවා. 2014 සමෘද්ධි ලාභීන් සඳහා ගෙවන ලද රුපියල් 1500ක උපරිම සමෘද්ධි දීමනාව රුපියල් 3500ක් දක්වා වැඩිකිරීමට අප කටයුතු කළා.

“රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000න් වැඩි කිරීම, විශ්‍රාම වැටුප් සහ දීමනා වැඩි කිරීම, පොලිස් සේවයේ වැටුප් වැඩිකිරීම, පෞද්ගලික අංශය සඳහා රුපියල් 10,000ක අවම වැටුපක් නියම කිරීම සහ රුපියල් 2500න් පඩි වැඩිකිරීම, වෙළෙඳපොළ මිල අනුව බඩු භාණ්ඩ අලෙවි කිරීමට නියම කිරීම, විශාල වැඩකොටසක් අප සිදු කර තිබෙනවා. 2014 ජීවන වියදම හා සසඳන විට වර්තමානයේ ජනතාවට ජීවත්වීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අප කළ වැඩකොටසින් මම කිහිපයක් පැවසුවේ ගතවූ වසර 03 තුළ අප කළේ කුමක්දැයි අසන පිරිස වෙනුවෙනුයි.

“රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් ශක්තිමත් කිරීමට අප මේ වනවිට පියවර ගෙන තිබෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමට අප කටයුතු කළා. ස්වාධීන රාජ්‍ය සේවාව, ස්වාධීන පොලිස් සේවය, ස්වාධීන මැතිවරණ සේවාව ඇති කළා. විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම ආදී ස්වාධීන කොමිසම් ගණනාවක් ඇති කිරීමට අපට හැකි වුණා. අපට අවශ්‍ය ආකාරයට රාජ්‍ය සේවකයින් ඉවත් කිරීමට දැන් නොහැකියි. එසේ සිදු වුවහොත් ඒ වෙනුවෙන් කොමිසම හමුවට ගොස් පරීක්ෂණයක් ඉල්ලා සිටීමට රාජ්‍ය සේවකයින්ට හැකියාව තිබෙනවා.

“අධිකරණය ස්වාධීන කර තිබෙනවා. අග්‍රවිනිශ්චයකාරතුමන්ලා ජනාධිපතිතුමාටත්, මටත් වාර්තා කරන්නේ නැහැ. අපට විරුද්ධවත් තීරණය කර තිබෙනවා. ජනමත විචාරණයක් පැවැත්වීමටත් තීන්දුවක් පසුගියදා ලබාදුන්නා.

“තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කර තිබෙනවා. අතුරුදන්වූවන්ගේ පනත ගෙන එමින් ඒ පිළිබඳ කාර්යාලය ඇති කළා. ජාතික විගණන පනත බලාත්මක කළා. අගමැතිතුමා මසකට වරක් පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දිය යුතුයි. පාර්ලිමේන්තු අධීක්ෂණ ක්‍රමය ඇති කර තිබෙනවා. දූෂණ අල්ලස් පිළිබඳ විශේෂ අධිකරණයක් ඇති කර තිබෙනවා. ඉන් පළමු වැන්න දැන් ක්‍රියාත්මක වෙනවා. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 25කින් වැඩි කිරීමට කටයුතු කරනවා.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අපි ණය පහසුකම් ලබා ගත්තා. රටේ වියදම් සීමා කළා. ආදායම වැඩි කළා. 2020 වන විට රටේ සමස්ත ණය බර දේශීය නිශ්පාදනයෙන් සියයට 70 දක්වා අඩු කිරීම අපේ අරමුණයි.

“ජනාධිපතිතුමා පිබිදෙන පොළොන්නරුව වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ‘ගම්පෙරළිය’ හා ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන අපි ආරම්භ කර තිබෙනවා. මේ සියල්ල අප ඉටු කරමින් සිටිනවා. අප දැන් රටේ ගැඹුරු වල පුරවමින් සිටින බව ඔබට පැවසිය යුතුයි. ගම්පෙරළිය ආදී වැඩසටහන් හරහා අප සිදු කරන්නේ එයයි. අප සිරවී සිටින ණය වල තවත් විශාල බව මම ඔබට පැවසිය යුතුයි. එම නිසා රාජපක්ෂ ආණ්ඩුවක් නැවතත් පත්වුවහොත් රටට සිදුවන්නේ නැවතත් එම ණය තුළට ඇද වැටීම බව මම අවසාන වශයෙන් පවසනවා.

මාතෘකා