කළු වලාවක රිදී රේඛාව

 ඡායාරූපය:

කළු වලාවක රිදී රේඛාව

යහපාලන ආණ්ඩුවට තුන් අවුරුද්දක් පිරෙයි. තෙවසරක ශේෂ පත්‍රය පිරික්සා බැලීම සඳහා එය හොඳ අවස්ථාවකි. යම් දෙයක හොඳ නරක තීන්දුවන්නේ සාපේක්ෂවය. පරමාදර්ශය යනු නිශ්චිත ඉලක්කයක් කරා යෑම සඳහා හොඳ අරමුණකි. එහෙත් ලොව කිසිම යුගයක පරමාදර්ශී පාලනයක් තිබුණා යැයි උදම් ඇනිය නොහැක. සාපේක්ෂව බැලූ විට ආභාසය ලැබිය හැකි ආණ්ඩු ක්‍රම ඉතිහාසය පුරා පවතී. සමගියෙන් රැස්ව, සමගියෙන් සාකච්ඡාකර, සමගියෙන් තීන්දු ගෙන, සමගියෙන් විසිර යෑමේ සම්මුතිය මත පදනම් වූයේ බුද්ධකාලීන භාරතයේ ලිච්ඡවි පාලනයයි.

2018 ජනවාරි 8 දේශපාලන පෙරළිය සිදු වූයේ ඉතිහාසය පුරා පසමිතුරු දේශපාලනයක නියැළුණු පාර්ශ්ව දෙකක සම්මුතියෙනි. පොදු අපේක්ෂකයා එක් පක්ෂයකිනි. ඔහු නියෝජනය කළේ ආණ්ඩු පක්ෂයයි. ඔහු එහි මහලේකම් ධුරය හෙබවීය. ඔහු දිනවීම සඳහා තම නායකත්වය යටතේ මුළු ශක්තිය යොදවා පක්ෂය මෙහෙයවූයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහය. ශ්‍රිලනිපයේ මහ ලේකම්වරයා සමග පක්ෂයෙන් එළියට ආ කුඩා කණ්ඩායම බිහිසුණු ඒකාධිපතියකුට එරෙහිව ගත් තීන්දුව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ ඓතිහාසික කැපවීමකි.

එම දේශපාලන පෙරළිය සිදු නොවූයේ නම් මේ කුඩා කණ්ඩායමට අත්වන ඉරණම සිතා ගැනීමට පවා අසීරුය. එහිදී සිහිපත් වන්නේ ඊට පෙර පැවති ජනාධිපතිවරණයේදී මහින්දගේ ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා මුහුණ දුන් අත්දැකීම්ය. මහින්දගේ ජයග්‍රහණයෙන් පසුව රෙජීමයේ වහල් මාධ්‍යවල කුලී හිඟන්නන් සරත් පොන්සේකා රැඳී සිටි රමාඩා හෝටලය වටලා ඔහුත් ඔහුගේ බිරියත් පසුපස හඹා ගියේ අපරාධකරුවන් දෙපළක් හඹායන පොලිස් දඩබල්ලන් පරිද්දෙනි. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක රාජ්‍ය මාධ්‍යයේ උදහසට ලක් වූයේ ඔහුගේ තනතුරේ ගෞරවය තුට්ටු දෙකට සලකමිනි. එහෙත් මෛත්‍රී ජනාධිපති වූ පසුව පරාජිත ජනාධිපතිවරයා ගෙදර යැවූයේ රාජ්‍ය අනුග්‍රහයෙන්, ගුවනිනි. වෙනස එයයි. මේ පහසුකම් සැලසුණේ අඩි හයක් පොළොව යටට යවන්නට බලාපොරොත්තුව සිටි පුද්ගලයා රටේ මුල් පුටුවට පත්වීමෙන් පසුව බව සිතන්නට හෘද සාක්ෂියක් පරාජිතයාට නොතිබූ බව එදා සිට අද දක්වා ඔහුගේ කල්කිරියාවෙන් පෙනේ.

2018 ජනවාරි 8 ට පෙර තත්වය හා පසු තත්වය තේරුම් ගැනීම සඳහා ඊටත් වඩා උදාහරණ ඇවැසි නැත. සම්මුති ආණ්ඩුව එතෙක් පැවති ගහමරා ගැනීමේ දේශපාලනයට එරෙහිව නිර්මාණය වූ අපූරු අත්හදා බැලීමකි. අපේ ඡන්දදායකයන්ට පෙර නුවූ විරූ අත්දැකීමකි. දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම කෙරෙහි මෙය බලපෑවේය. පිරිහුණු පසුගාමී රටක් හැටියට ජාත්‍යන්තර වශයෙන් ගොඩ නැඟෙමින් තිබූ ප්‍රතිරූපය වෙනස් වීමේ ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර සහයෝගය විශාල වශයෙන් ලැබීමය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ලෝක මට්ටමෙන් තිබුණේ අඳුරු චිත්‍රයකි. දරුස්මාන් වාර්තාව ප්‍රතික්ෂේප කරමින් පිහිටුවන ලද දේශීය යාන්ත්‍රණය වූ උගත් පාඩම් කොමිසමේ නිරිදේශ ක්‍රියාත්මක වූයේද නැත. එහි ප්‍රගතියක් ඇතැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මානව හිමිකම් කවුන්සිලයට දුන් "ගෙදර වැඩ" වාර්තාවද ව්‍යාජ එකක් බව එහි සාමාජිකයන්ට අනාවරණය විය.

යහපාලන ආණ්ඩුව යටතේ ඇතිවූ නිදහස් වාතාවරණයට එතෙරින් ලැබුණු තෑග්ගක් වූයේ යුරෝපා සංගමය නැවත ලබා දුන් ජී.එස්.ප්ලස් සහනයයි.

යුරෝපා රටවලට නැවත මාළු අපනයනය කිරීමේ අවස්ථාවද හිමි විය. ඇඟලුම් කෝටාව ආර්ථිකයට යහපත් බලපෑමකි. 2003 එජාප ආණ්ඩුව විසින් සම්මත කළ 17 වැනි සංශෝධනයෙහි පරමාර්ථය වූයේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත වීමය. මහින්ද රාජපක්ෂ පාලනය සමයෙහි 18 වැනි සංශෝධනය සම්මත කරගනිමින් කොමිෂන් සභාවලට නියෝජිතයන් පත් කිරීමේ බලය විධායකය යටතට පවරා ගන්නා ලදි.

අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් මෙන්ම කොමිෂන් සභා සභාපතිවරුන් පත්කිරීමේ තනි බලය විධායක ජනාධිපති යටතට පත් වීමේ ප්‍රතිඵලය වූයේ නිදහස් රාජ්‍ය සේවය, අධිකරණය, මැතිවරණ ක්‍රමය හා පොලීසිය දේශපාලනීකරණයට ලක් වීමය. යහපාලන ආණ්ඩුවේ පළමු කටයුත්ත වූයේ 19 වැනි සංශෝධනය සම්මත කරගනිමින් විධායකයේ බලයට යට වී තිබූ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස තහවුරු කිරීමේ මුල් පියවර තැබීමය. එය සම්මත කරන ලද්දේ පරාජිත දේශපාලන පාර්ශ්වවල විවිධ කෙනෙහිලිකම් මැද්දේය. මිනිස් නිදහස මළගම් යැවූ පිරිස් යහපත් සමාජ ප්‍රතිසංස්කරණවලට එරෙහි වීම පුදුමයක් නොවේ.

යහපාලන ආණ්ඩුව පිහිටුවීම සඳහා ක්‍රියාකාරීවූ මහජන ව්‍යාපාරයෙහි අපේක්ෂා කිහිපයක් විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, රාජ්‍ය බලය අයුතු ලෙස යොදවා අපරාධ කළ අයට දඬුවම් දීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, යුද්ධයෙන් අගතියට පත් පාර්ශ්වවලට යුක්තිය ඉෂ්ට කිරීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම යනාදිය ඒ අතර ප්‍රධාන වෙයි.

මාධ්‍ය නිදහස තහවුරු වීමේ තරම පෙනෙන්නේ පරාජිත රෙජීමයට පක්ෂ මාධ්‍ය හැසිරෙන නින්දිත ආකාරය දකින විටය. නිදහසේ අරුත නොදත් අශිෂ්ට දේශපාලන සංස්කෘතියක් පෝෂණය කිරීමට දායක වූ මාධ්‍යයෙහි නග්න ස්වරූපය හඳුනාගත හැකිය. රාජ්‍ය නායකයන් දෙදෙනා විවේචනයට ලක්වන ආකාරය දකින විට මෙවැනි මාධ්‍ය නිදහසක් දැකිය හැක්කේ බටහිර රටවල පමණක් බව හැඟේ. රෙජීමය රට පාලනය කළ සමයෙහි මාධ්‍ය මර්දනය කළ ආකාරය පිළිබඳ මහාවංශය තරම් පොතක් ලිවිය හැකිය.

බලාපොරොත්තු වූ කඩිනමින් සියල්ල සිදුනොවුණත් ආණ්ඩුව සෙමෙන් සෙමෙන් තැබූ පියවර අනාගතය සම්බන්ධයෙන් සුබවාදී බලාපෙරොත්තු ඇති කරයි. මෑතකදී ප්‍රබල ඇමතිවරයකු නියමිත පටිපාටියට පිටින් ලබාගත් වාහන හතක් පිළිබඳ අනාවරණය වූයේ තොරතුරු පනතේ ආධාරයෙනි. මේ තොරතුරු පනත ලොව හොඳම තොරතුරු පනත්වලින් එකකි. පසුගිය ආණ්ඩු කාලයෙහි කරු ජයසූරිය මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ තොරතුරු පනත රෙජීමයේ බලවත් විරෝධය හමුවේ පරාජය කෙරිණ. එය සම්මත වූයේ යහපාලනය යටතේය. එහි ප්‍රයෝජනය ඒකාබද්ධ විපක්ෂයටද ලබාගත හැකිය.

වත්මන් පාලනය වෙනස් වූ අවධියක වුවද ප්‍රජාතන්ත්‍රවාදයේ දිශානතියකට යොමූවූ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල රටට ලැබෙනු ඇත. උගත් පාඩම් කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම, සංහිඳියා කාර්යාලය පිහිටුවීම, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම, විගණන පනත සම්මත කිරීම, ඖෂධ මිල අඩුකිරීම ප්‍රමුඛව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම යනාදී වශයෙන් ලැයිතුවක් ඉදිරිපත් කරනුයේ මේ ආණ්ඩුව මොනවද කළේ යැයි අසන මාධ්‍යවේදීන්ගේද ප්‍රයෝජනය පිණිසය.

කළු වලාවකද රිදී රේඛාවක් ඇත. පිරිහුණු දේශපාලන සංස්කෘතියක් ඇති රටක යහපාලනය අභ්‍යාස කිරීම දුෂ්කර කටයුත්තකි. දියුණු රටවැසියකු නිර්මාණය කර ගැනීම ලොකුම අභියෝගයයි.

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා