ඒ අයගේ සෙල්ලං

 ඡායාරූපය:

ඒ අයගේ සෙල්ලං

දිනක් ධනවත් නීතිඥයෙක් තමන්ගෙ සුඛෝපභෝගී රථයෙන් නිවස බලා ගමන් කරද්දී දුප්පත් මිනිහෙක් පාරෙ අයිනක අතින් ගලව ගලවා තණ කොළ කකා ඉන්න ශෝකජනක සිද්ධියක් දුටුවේය. වාහනේ නතර කළ නීතිඥයා වහාම අර මනුස්සයා අසළට කිට්ටු විය.

‘ඔහේ මොකද මේ පාර අයිනෙ තණ කොළ කන්නේ’

‘අපිට කෑම අර ගන්න කියලා සල්ලි නැහැ මහත්තයෝ......’

‘ඔහ්...ඇත්තද... එහෙනං යං මාත් එක්ක අපේ ගෙදර....’

‘අනේ මහත්තයෝ... මගේ ගෑනියි දරුවො තුන්දෙනයි?’

‘හරි හරි... ඒ ගොල්ලන්වත් අරගෙන එනවා ඉක්මණට...’

සියලුදෙනා වාහනයට ගොඩ විය. ඒ මිනිස්සුන්ට මේ සල්ලිකාර නීතිඥ වරයාව පෙනුණේ දෙවියෙක් වගේය.

‘මහත්තයෝ.. ඔබතුමා හරිම කරුණාවන්තයි...බොහොම ස්තුතියි අපිව මෙහෙම එක්කගෙන යනවට..’

‘අයියෝ ඒක මොකක් ද....මම හරිම කැමැත්තෙන් මේ වැඩේ කරන්නේ.......ඔහේලට පුදුම සංතෝසයක් හිතේවි අපේ ගෙදරට ගියාම.....මිදුල පුරා අඩියකට වඩා උසට වැවිල කොළ පාටට තණ කොළ’ නීතීඥයා කීවේය. මිනිස්සු මුහුණෙන් මුහුණ බලා ගත්හ. මහින්දලාගේ කතාත් ඒ වගේමය. “මේ ආණ්ඩුව රට මිලිටරි පන්නයට ගෙන යනවා”රතුපස්වල සංහාරයෙන් වසර 5 ක් පිරෙද්දී මහින්ද රාජපක්ෂ වත්මන් ආණ්ඩුවට එහෙම කියයි. ඔහු කියනුයේ මේ මිලිටරිකරණය අතිශය භයානක තත්වයක් බවය. නින්දෙන් අවදි වූ ගාණට ප්‍රකාශ කිරීමට සමත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා එවැනි 'විහිළු' නිතර කරයි.. මිනිසකුට උමතුවෙන් මෙන් බොහෝ දේ කිව හැකිය. එහෙත් හොඳට හෝ නරකට රටක් පාලනය කළ අයකුට එහෙම උමතු ප්‍රකාශ කළ හැකි බවට රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔප්පු කරමින් සිටී.

වචන තමන්ට වාසිදායක ලෙස පෙරළා ගන්නට මහින්දලා තරම් සමත් අන් කිසිවෙක් නැත. අරුමෝසම් වචනවලින් ඔව්හූ දශකයකට වැඩි කලක් රට කරගෙන ගියෝය. අන්තර්ජාතික බලපෑම්, විජාතික කුමන්ත්‍රණ, විදුලි පුටුව, ජාත්‍යන්තර අධිකරණ, දේශප්‍රේමය, ආසියාවේ ආශ්චර්යය යනාදී දහසකුත් එකක් වචන ඔවුහූ සිය පැවැත්ම වෙනුවෙන් යොදා ගත්හ. වචන මිස ඒවායේ යථාර්ථයක් නොවිණි. දැන් පරාජිතව පවා ඔවුහූ ඒ වචන එක්ක ම සෙල්ලම් කරති; නං දොඩවති; වාචාල කියති. මීට වසර පහකට පෙර රතුපස්වල ජනයා පාරට බැස්සේ බොන්නට වතුර පොදක් ඉල්ලාය. ඒ වන විටත් රට පාලනය කරමින් සිටියේ 'ජන මූල' නායකයා ය. හමුදාව බාරව සිටියේ ඔහුගේ සොයුරාය. දින පහක් පුරා 'වතුර ඉල්ලා' උද්ඝෝෂණය කළ ජනයාට 'සංග්‍රහ' කිරීම ජනමූල නායකයා සිය සොයුරාට බාර දුන්නේය. බ්‍රිිගේඩියර් දේශප්‍රිය ප්‍රමුඛ බැටෑලියන් එකක් රතුපස්වලට එන්නේ ඒ අනුවය.

ප්‍රචණ්ඩ බලයක් පරාජය කිරීම සඳහා ප්‍රතිප්‍රචණ්ඩ බලයක් යොදාගත් විට සමාජය ප්‍රචණ්ඩ බලයේ විෂම චක්‍රයකට හසුවී විනාශ වෙයි. එ් ප්‍රචණ්ඩ ආධිපත්‍යය පරාජය කිරීම සඳහා එ් ප්‍රචණ්ඩ බලය ඉක්මවා යන ප්‍රචණ්ඩ බලයක් ඒකරාශි කොට මුදාහැරීමට සිදුවන්නේ ය. ඉන් ලබන ජයග්‍රහණයකදී ජයග්‍රාහකයා තමන් ඒකරාශි කළ ප්‍රචණ්ඩ බලය ජයග්‍රහණයෙන් පසු විසුරුවා හරින්නේ නැත. ඒ සඳහා කෙරෙන අරගලවලදී ජය පරාජය කවුරුන් විසින් හිමිකර ගත්ත ද සමාජය ප්‍රචණ්ඩත්වයේ විෂම චක්‍රයකට හසුවන්නේය. හමුදාකරණය පිළිබඳ ගෝලීය දර්ශකයන්ට (GMI) අනුව දකුණු ආසියාවේ වැඩිම හමුදාකරණයකට ලක්වී තිබෙන රට බවට පත් ව තිබුණේ ලංකාවය. ලංකාවේ ජනගහනයෙන් හැම 86 දෙනෙකුටම එක් සෙබළෙක් සිටී.

රාජපක්‍ෂ මහතා විසින් රට තුළ වර්ධනය කර තිබුණේ දේශපාලන දුර්භික්‍ෂයකි. එය අවසන් වූයේ 2015 ජනවාරි 8 වැනිදාය. බලය විසින්ම මිනිසා දූෂණය කරන බව මොනවට පසක් කරමින් රාජපක්ෂ ආණ්ඩුව ස්වකීය අවසන් සමය ගත කළේ අරාජික රටක ස්වභාවය ස්ථාපිත කරමිනි. රවිරාජ් ඝාතනය කෙරුණේ ද, ශිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණේ ද, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේ ද, ජනමාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු හා කුරිරු පහරදීම්වලට ලක්කෙරුණේ ද එකී වියරු සමයේදී ය. ඉන් මෙපිට රතුපස්වල ඝාතන, රොශේන් චානක ඝාතනය, හලාවත ධීවරයන් ඝාතන ඇතුළු සිය ගණනකගේ ජීවිත බිලිගත් සාපරාධී ඉතිහාසයක් 'රාජපක්ෂ' සමය සතුව පවතී. මේවායේ වැඩි බර පැටවුණේ 'මිලිටරි' නිලවලටය. රටේ ප්‍රධාන මර්මස්ථානවලට මිලිටරි රටාව රිංගවූයේ මහින්දලාය.

රාජපක්ෂ අාණ්ඩුවේ මිලිටරිවාදී ප්‍රවේශය යටතේ පාසල් අධ්‍යාපනයට හඳුන්වා දුන් සෙබළ පුහුණුවකට සමාන ශාරීරික පුහුණුවට අයත් වූ විදුහල්පතිවරුන්ගේ පුහුණුවකදී තිදෙනකු මිය ගියහ. 1985 අංක 40 දරණ හමුදා පනත අනුව මෙලෙස තාවකාලිකව හෝ හමුදාවට බඳවා ගැනීමට නීතියෙන් අවසර නැත. එහෙත් මහින්දලාට නීති වැදගත් නැත. කකුලේ තරමට සපත්තු හදනු වෙනුවට සපත්තුවේ තරමට කකුල් හැඳීම ඒ අයගේ රටාව ය. එහෙව් අය අද කියන්නේ මේ ආණ්ඩුව රට මිලිටරි ක්‍රමයට අරගෙන යනවා කියාය.

පාතාලය ගැන දැන් කෑ ගසන මහින්දලා එදා පාතාලය හුරතල් කළ හැටි මහින්දලාටම අමතක ය. ඝාතන 22 - ස්ත්‍රී දූෂණ 11 - කොල්ල කෑම් 13 කට සම්බන්ධ පාතාල ලෝකයේ 'රජෙක්' තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියේය. වලස්මුල්ල, මිද්දෙණිය, තංගල්ල, වීරකැටිය, ගල්හේන්ගොඩ, තණමල්විල ජනතාව භීතියෙන් මුසපත් කළ 'ප්‍රභාකරන්' ඔහු ය. ඔහු ප්‍රකට 'ජූලම්පිටියේ අමරේ' නමින් ය. ගීගනගමගේ අමරසේන හෙවත් ජුලම්පිටියේ අමරේ කියාත් ඔහුට කියන්නේ ය.

2002 ජූනි කෙළවර ඔහු 'තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ලක් පටන් ගත්තේ ය. කැරැල්ල දරුණු වෙත්ම ඔහු බලන්නට 2002 ජූලි 01 වෙනි දා, එක්තරා පුද්ගලයෙක් බන්ධනාගාරයට ආවේ ය. “අමරේ මම ඇවිත් ඉන්නේ, බය නැතුව එළියට එන්න" කටහඬින් ඒ කවුදැයි හඳුනාගත් අමරේ එළියට ආවේය. අමුත්තා 'මහින්ද රාජපක්ෂ' ය.

මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම, ජනාධිපතිට විරුද්ධව

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම, ස්වාමීන් වහන්සේ නමක් මහින්ද රාජපක්ෂට ඒකාධිපතියකු වන ලෙස ආරාධනා කිරීම, 18 වන සංශෝධනය මඟින් මහින්ද රාජපක්ෂ ලාංකේය රජයේ යාවජීව පාලකයා ලෙස වැජඹීමට දැරූ උත්සාහය, විපක්ෂයේ මන්ත්‍රීවරුන් එයට සහය දැක්වීමට මුදල් කුට්ටි හරහා මිලදී ගැනීම යනාදියත් දාමරික පාතාලයේ මිලිටරි වැඩය.

කාන්තාවන් සියයක් දූෂණය කර ඒ වෙනුවෙන් සාද දැමූ දේශපාලන පාතාලයෙක් මහින්දගේ ආණ්ඩුවේ සිටියේය. කිරි දරුවකුටවත් නිදහසේ ඉන්නට නොදුන් 'සාරුවා' නැමති ඔහු එවක මාතර භීතියෙන් සසල කළ අතර මහින්දට අද ඔහු අමතක ය. භාරත ලක්ෂ්මන් ඝාතනය වන්නේ එවක 'කොළොන්නාව' හරහා මුළු රටක්ම සසල කළ කුඩු පාතාලයේ ගොදුරක් ලෙසට ය.

එවක ආරක්ෂක ලේකම්වරයා අදාළ පාතාලයන් සමඟ සැරිසැරූ හැටි භාරත මිය යන්නට පෙර කීවේය. නිමල් ලංසාගේ නිවස පරීක්ෂා කිරීමට පොලීසිය කටයුතු කරන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම ඔහුගේ නිවසට ගොස් ඔහු උණුසුම් ලෙස වැළඳ ගත්තේය. එකල්හි රටේ නායකයා හැඳින්වූයේ 'ජනමූල නායකයා' කියාය.

ආඩම්බරකාර අප්පච්චි ලෙස 'ඇඩ්වර්ටයිසිං' ගත වූ හෙතෙම ශ්‍රී රෝහණ ජනරංජන කියා බුහුමන් ලබා ගත්තේය. වෝහාරපති කියාත්, විශ්ව කීර්ති ශ්‍රී ත්‍රීසිංහලාධීෂ්වර කියාත් ඔහුට නම්බු නාම ලීවේය. ඔහු පස්වනක් ප්‍රීතියෙන් උදම් කරන තරමට 'ගම්වර' ලැබිණි. 'ආයුබෝවන් මහ රජාණෙනි' කියා ප්‍රශස්ති ගයන්නන් වෙනුවෙන් මංමාවත් නම් විණි. 'බුදුන්ගේ ඥාතිවරයකු' කියා 'ටොං කෙබරයක්' අතහැරිය විට ඔහු උදම් විය. එහෙම 'සාහසික කෙබර' අතරින්නට 'ලැජ්ජා බය' නහර කපා දැමූ 'මහා කලාකරුවන්' ද සිටියහ.

ඊළඟට ඔහු ලෝකයෙන් ඉල්ලන්නේ 'මේ ආණ්ඩුව විකුණන දේවල් ගන්න එපා. අපි ආවම ඒවා ආපහු ගන්නවා' කියා ය. මේවාට සිනාසෙන්නට වන්නේ දෙපැත්තෙන් ම ය.

"තවද, මෙයින් අයිති කර දුන් දේපළ හා ඊට අයිති සියලු දේත් දැනට පවත්නා පාරක අයිතිවාසිකම් ඇතොත් එ් අයිතිවාසිකම්වලට ද ඒ සම්බන්ධයෙන් මින් මතු ප්‍රකාශ කරනු ලබන හා මෙහි අඩංගු නොයෙකුත් විධිවිධාන හා සීමා කිරීම්වලට ද යටත්ව එකී ෂැන්ග්‍රිලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට හා එහි උරුමක්කාරයන්ට හා පොල්මඃකාරයන්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයන්ට හා ලැබුම්කාරයන්ට සදාකාලයටම නිරවුල්ව භුක්ති විඳීම පිණිස මෙයින් පවරා භාර දෙම්හ.'

2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ඉහත ඇති ඔප්පුවේ අස්සන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේය.

'මම මේ රටේ රජෙක් නොව, භාරකරු පමණි'

මහින්ද වැඩ පටන් ගත්තේ එහෙම කියලා ය. මහින්ද 'මම මේ රටේ තාවකාලික හිමිකරුවා' පමණකැයි කීවේය. හැබැයි ඒ තාවකාලික භාරකරුවා රටේ බොහොමයක් දෑ සදාකාලම අහිමි කළේය.

මාතෘකා