62 කුමන්ත්‍රණය මෙන්න

 ඡායාරූපය:

62 කුමන්ත්‍රණය මෙන්න


හමුදා කුමන්ත්‍රණ පිළිබඳව ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයකට අත්දැකීම් ඇති අතර ඒවා සාර්ථක මෙන්ම අසාර්ථක කුමන්ත්‍රණ බවට පත් වී ඇති බව ඉතිහාසය සාක්ෂි දරනවා. මෑතකදී තුර්කියේ සිදු වූ එවැනි හමුදා කුමන්ත්‍රණය අසාර්ථක බලය ඇල්ලීමක් බවට පත් වූ ආකාරය ඔබට මතක ඇති.
1962 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පෙරළා දමා හමුදා පාලනයක් ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක වූවායැයි සැක පිට යුද්ධ හා නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසකට, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසකට හා රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුට චෝදනා එල්ල කර අත්අඩංගුවට ගනු ලබනවා.
“1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය” ලෙස හඳුන්වන, ක්‍රියාවට නැංවීමට ප්‍රථම අසාර්ථක වූ මෙම හමුදා කුමන්ත්‍රණයේ සැකකරුවන් සියලු දෙනාම පසුව නිදහස් කරනු ලබන්නේ ඔවුන්ට විරුද්ධ චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වූ බැවින් හා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වලට එරෙහිව පැහැදිලි නීතිමය ක්‍රියාමාර්ග ඒ වන විට නොතිබූ බැවින්. අද ලිපිය ලියවෙන්නේ “1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය” පිළිබඳවයි. 
කුමන්ත්‍රණයක පෙරනිමිති
1962 ජනවාරි 27 වැනි සෙනසුරාදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති එස්. ඒ දිසානායකට යුධ, නාවික හා පොලිස් නිලධාරීන් එක් වී සිරිමාවෝ ආණ්ඩුව පෙරළා දමා හමුදා යාන්ත්‍රණයක් රට තුළ ගොඩනැගීමට සුදානම් වන බවට විශ්වාසදායක ආරංචි මාර්ගයක් මගින් තොරතුරු ලැබෙනවා.
දිසානායක විසින් කුමන්ත්‍රණ නායකයින්ගේ විශ්වාසය දිනාගනිමින් එම තොරතුරු ලබා ගන්නා අතර ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් පී.එස් කුලරත්නට දන්වනවා. කුලරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුවත් කරනවා. නියෝජ්‍ය පොලිස්පති දිසානායක හා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජෝන් ආටිගල යන නිලධාරීන් බණ්ඩාරනායක මැතිනිය හමු වීමට පැමිණෙන අතර රජය කුමණ්ත්‍රණයකින් පෙරළා දැමීමේ උත්සාහයක් පවතින බවත් එය මෙහෙයවනු ලබන්නේ යුද්ධ, නාවික හමුදා හා පොලිස් නිලධාරීන් පිරිසක් බවට තොරතුරු ලැබී ඇති බවත් අගමැතිනිය හමුවේ හෙළි කරනවා.
එවකට පොලිස්පතිව සිටි එම්.ඩබ්ලිව්.එෆ් අබේකෝන්ටද මේ බව දන්වන අතර අබේකෝන්ටද ඒ වන විටත් මෙය සුක්ෂම ආකාරයකින් ආරංචි වී තිබීම නිසා වහාම එස්.ඒ. දිසානායක, ආටිගල හා ඔහුට විශ්වාසවන්ත නිලධාරීන් කිහිප දෙනක් රාත්‍රියේම අගමැතිනිය මුණ ගැසීමට යවන්නේ පොලිස්පතිවරයා විසින්.
කුමන්ත්‍රණ කරුවන් අත්අඩංගුවට
මේ පිළිබඳව ආරංචි වීමත් සමඟම බණ්ඩාරනායක අගමැතිනිය විසින් වහාම බම්බලපිටියේ යුද්ධෝපකරණ ගබඩාවට සීල් තබන අතර කිසිම ආයුධයක් එතැනින් ගෙනයෑමට ඉඩ නොතැබීමටත්, පොලිස්පතිවරයාගේ අණ හැර වෙනත් නිලධාරීන්ගේ අණ නොපිළි ගැනීමටත් කොළඹින් බැහැර පොලිස් නිලධාරීන්ට දන්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරනවා.
ක්ෂණිකව ආණ්ඩුවට හිතවත් උසස් හමුදා, පොලිස් හා නාවික ප්‍රධානීන් කැඳවා කුමන්ත්‍රණය පිළිබඳ දැනුවත් කොට රටේ ආරක්‍ෂාව වෙනුවෙන් පියවර ගන්නා ලෙසද මැතිනිය ඔවුන්ට නියෝග ලබා දෙන අතර නාවික ප්‍රධානී රාජන් කදිරගාමර්, යුධ හමුදාපති මේජර් ජෙනරාල් විජේකෝන්, ගුවන් හමුදා ප්‍රධානී බාකර් හා පොලිස්පති අබේකෝන් එම පිරිසට අයත් වෙනවා.
විශේෂ නඩුකාරවරයකුගේ වරෙන්තුවක් අනුව කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු වශයෙන් නියෝජ්‍ය පොලිස්පති සී.සී. දිසානායක අරලිය ගහ මන්දිරයට කැඳවන අතර තම නිවෙසේ ආයුධ තිබූ බැවින් උප පොලිස් පරීක්ෂකයෙක් වූ එස්. ජෝන් පුල්ලේව කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව බන්ධනාගාර ගතකරනවා. තවද මෙම වරෙන්තුව මගින් ආණ්ඩුව පෙරළා ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ සියල්ල අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමට තීරණය වෙනවා.
මේ අතර අගමැතිනිය වහාම ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇමතිවරයා කැඳවා මෙම පරීක්ෂණය ඔහුට භාර දෙන අතර උපක්‍රමිකව කුමන්ත්‍රණකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට ඔහුට හැකි වෙනවා. ඔවුන්ව අරලියගහ මන්දිරය වෙත ගෙනවිත් ප්‍රශ්න කර පපොච්ච්රණයන් සිදු කරගනු ලබනවා.
එහිදී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක පෞද්ගලිකව ඔවුන්ගෙන් ප්‍රශ්න කරන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද ප්‍රශ්න කිරීම් සිදු කරනවා. කොමිෂන් ලත් හමුදා නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන් හා පොලීසියේ නිලධාරීන්ද ඇතුළුව එක් පරිපාලන නිලධාරියෙකුද සමගින් 31 දෙනෙකු කුමණ්ත්‍රණයට හවුල් වූවන් ලෙස සළකා අවසානයේදී අත්අඩංගුවට පත්වෙනවා. මොවුන්ව වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ කොටසක රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන්නේ නියමිත අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා තුරුයි.
මේ වන විට අගමැතිනිය ආරක්‍ෂාව පතා රොස්‌මීඩ් නිවසේ සිට අරලියගහ මන්දිරය වෙත ආරක්‍ෂාව සහිතව රැගෙන ආ බවත් අරලියගහ මන්දිරයට උපරිම හමුදා ආරක්ෂාව සැලසූ බවත් එවකට මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න සදහන් කරනවා. මේ අතර 1962 ජනවාරි 27 දින රාත්‍රිය පුරාම කොළඹට දැඩි ආරක්‍ෂාවක්‌ යෙදවීමටත් සෙසු ප්‍රදේශ හා ගුවන්විදුලි සම්බන්ධතා අත්හිටුවීමටත් රජය කටයුතු කරන අතර ජනවාරි 27 මැදියම් රැයේ පොලිස්‌ රථවලට ශබ්ද විකාශන යන්ත්‍ර සවිකොට කොළඹ නගරය පුරා යමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට පොලීසිය කටයුතු කරනවා.
කුමන්ත්‍රණයේ කාර්ය භාරය
1962 ජනවාරි 27 දින සැලසුම්කරුවන් කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට දිනය වශයෙන් යොදාගෙන තිබූ අතර ඒ තුළින් රජයට සම්බන්ධ හා විපක්‍ෂයේත් ඇතැම් දේශපාලනඥයන් අත්අඩංගුවට ගැන්මට කටයුතු යොදා තිබුණා. විශේෂයෙන් අගමැතිනිය අත්අඩංගුවට ගෙන ගාලුමුවදොර වෙඩි බෙහෙත් ගබඩාවේ රඳවා තබා රාජ්‍ය බලය මාරුවූ බවට එතුමියගෙන් ප්‍රකාශනයට අත්සන් ගැනීම කුමන්ත්‍රණ කරුවන්ගේ ප්‍රධාන සැලැස්ම විය.
තෝරාගත් හමුදා බළඇණි කීපයක් යොදවා, කොළඹ නගරයේ වැදගත් ස්ථාන අල්ලාගෙන, ඉන්පසු අගමැතිනිය සහ අත්‍යවශ්‍ය ඇමතිවරුන් ද අත්අඩංගුවට ගෙන යුද හමුදා මූලස්ථානයේ පොළොව යට පිහිටි අවි ගබඩාවේ සිරකර තැබීම හා ඉන්පසු ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මගින් රජය විසුරුවා හැරිය බව ප්‍රකාශයක් ගුවන්විදුලි මගින් රටපුරා ප්‍රචාරය කිරීමත් සැලසුමේ ප්‍රධාන අංග වුණා.
කුමන්ත්‍රණකරුවෝ
කර්නල් ෆෙඩ්රික් ද සේරම් නම් ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් වරයෙක්ද, සී.සී.දහනායක නම් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද හමුදාවේ කාර්යමණ්ඩල ප්‍රධානි කර්නල් මොරිස්ද මෙල්, රියර් අද්මිරාල් රොයිස්ද මෙල් හා ලංකා සිවිල් සේවයේ ඩග්ලස් ලියනගේ යන නිලධාරීන් මෙම කුමණ්ත්‍රණයේ නායකයන් ලෙස හඳුනා ගන්නවා.
මේ වනවිට මෙරට නීති පද්ධතිය තුළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක වැරදි කරුවන්ට දෙන දඬුවම් පිළිබඳ නිශ්චිත පිළිවෙතක්‌ නොවූ අතර මේ නිසා කුමන්ත්‍රණයේ සැකකරුවන්ට විරුද්ධ නඩු විභාගය සඳහා විශේෂ නීතියක්‌ සම්මත කිරීමට රජය කටයුතු කරනවා. ඒ අනුව 1962 අංක 1 දරන අපරාධ නීති විශේෂ විධිවිධාන පනතක්‌ සම්මත කර ඒ අනුව නඩු විභාගයට ගැනෙනවා.
නඩු විභාගයෙන් ප්‍රධාන විත්තිකරුවන් සියලු දෙනා වැරැදි කරුවන් වූ අතර ඔවුන්ගේ සියළු දේපළ රාජසන්තක කිරීමටත් ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම්ද නියම කිරීමට අධිකරණය විසින් තීරණය කරනවා. නමුත් එවකට ලංකාවේ අවසාන අධිකරණය බ්‍රිතාන්‍ය ප්‍රිවිකවුන්සලය වූ බැවින් මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරමින් විත්තිකරුවන් විසින් තම අභියාචනා ප්‍රිවිකවුන්සලයට ඉදිරිපත් කරනවා. අභියාචනය පිළිගත් බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සලය මෙම නඩුවේ විත්තිකරුවන් සියලු දෙනා නිදහස්‌ කරන්නේ විත්තිකරුවන් වෙනුවෙන් අතීතයට බලපැවැත්වෙන නීති පැනවීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බව ප්‍රකාශ කරමින්.
පාපොච්චරණයන් වලට අනුව පෙර සිටි පාලකයන්ද යොදා ගනිමින් ආණ්ඩුවක් පිහිටුවීම මොවුන්ගේ අදහසක් වූ බව හෙළිවෙනවා. ඒ අනුව එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක කළින් අගමැතිවරුන් වූ ඩඩ්ලි සේනානායක සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල යන අය මෙම කුමණ්ත්‍රණයට සම්බන්ධ බව ආණ්ඩු පාර්ශ්වය විසින් චෝදනා කළත් ඔප්පු කරන්නට නොහැකි වෙනවා. මෙම සිදුවීමෙන් පසුව ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක තම පදවියෙන් ඉල්ලා අස්වීමට සිදුවෙන අතර ඔහු බ්‍රිතාන්‍ය බලා පිටත් වෙනවා.
සිරිමාවෝ රජය හමුදා කැරැල්ලකින් පෙරළා දමා මිලිටරි පාලනයක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය ව්‍යර්ත වුණේ ඔන්න ඔය ආකාරයටයි. 
(මෙම ලිපියේ හිමිකාරීත්වය 'Roar සිංහල' වෙබ් අඩවිය සතුය)

 

[ලසන්ත කුලරත්න] 

මාතෘකා