බලයට ඉව අල්ලන විපක්ෂ නායකයෝ

 ඡායාරූපය:

බලයට ඉව අල්ලන විපක්ෂ නායකයෝ

ඇරිස්ටෝටල් බලය ගැන අපූරු කතාවක් කියයි.ඒ අනුව මිනිසුන් උපතින්ම ආශාවන් 03ක් රැගෙන එන බවත් එම ආශාවන් 3ම බලය මත පදනම් වී ඇති බවත් ඇරිස්ටෝටල් කියයි. එනම්,   
01. ධනය රැස්කිරීමේ ආශාව
02.දේශපාලන බලය ලබාගැනීමට ඇති ආශාව
03.ලිංගික ජීවිතයක් ගත කිරීමේ ආශාව
මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන ජීවියෙකු වන බවත් ඇරිස්ටෝටල් කියන්නේ ඒ නිසාය. ඔහුගෙන් මෙපිටට තවත් බොහෝ චින්තකයින් 'බලය' ගැන නිර්වචන දී ඇත.
රටක ආණ්ඩුව බල ව්‍යුහයේ ඉහළම පරාසය අත් විඳින අතර ජනාධිපති හෝ අගමැති එහි ප්‍රමුඛයා වෙයි. ඉන් ඔබ්බට බලය සඳහා පිඹුරුපත් සකසන්නේ ඊළඟට විශාලතම දේශපාලන බල අධිකාරය හිමි පක්ෂය හෝ සංවිධානයේ නායකයාය. බොහෝ විට ඔහු විපක්ෂ නායකයාය. 
ලංකාවේ එතෙක් මෙතෙක් සිටි විපක්ෂනායකයින් සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ගැන සලකා බැලීම මේ ලිපියේ අරමුණය. එකිනෙකට වෙනස් ගති ස්වභාවයන් සහ උපාය උපක්‍රම තේරීම් මේ සියලු විපක්ෂනායකයින්ට ආවේණිකව තිබිණි. ඒ අනුව ඔවුහූ දේශපාලන රඟ මඩලෙහි ස්වකීය සලකුණු තැබූහ.
සමහරු ජයකෙහෙලි නැංවූහ. තවත් සමහරු පරාජය ලැබූහ. ඒ අතරින් සමහරු අරමුණු සපුරාගන්නට පෙරාතුව ජීවන රඟමඬලින් සමුගත්හ.
කැබිනට්‌ අමාත්‍යවරයකුට හා සමාන වරප්‍රසාද බලතල විපක්ෂ නායකයා සතු වෙයි. 1947 දී ඩී.එස් සේනානායක ආණ්ඩුවට එදිරිව බිහිවූ විපක්ෂයේ නායකත්වය ලද්දේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාය. ඔහු එතෙක් මෙතෙක් බිහිවූ පළමු සහ එකම වාමාංශික විපක්ෂ නායකයාය. එතැන් සිට වර්තමාන විපක්ෂ නායකයා වන ආර්.සම්පන්දන් දක්වා විපක්ෂ නායකයින් 19දෙනෙක් සිටියහ.
1947 ජුලි 23 පළමු ආණ්ඩුව හැදුවේ එක්සත් ජාතික පක්ෂයයි. දෙවැනි තැනට ආසන දිනාගනු ලැබුවේ ලංකා සමසමාජ පක්‌ෂයයි. ඒ අනුව ඇන් ඇම් පෙරේරා විපක්ෂ නායක විය. වැඩිම දින ගණනක් පැවැති මැතිවරණයද 47 මැතිවරණයයි. ඒ අනුව වැඩිම  දින ගණනක් (දින 19ක් ) පැවැති මැතිවරණයකින් පසු විපක්ෂ නායක වූයේ ඔහුය.
ඔහු වසර 5ක් මෙරට විපක්ෂ නායක ධූරය දැරීය. විපක්ෂ නායක ධූරය ලද බුද්ධිමත්ම දේශපාලනඥයින් අතර මුල් තැනක්ද ඔහුට හිමිය. අනෙක් විශේෂ කරුණ වන්නේ මෙරට පළමු විපක්ෂ නායකයාට කිසිදිනක රටේ නායකයා වන්නට නොහැකි වීමය. ඇන්.ඇම් ගිය ඉහළම තැන මුදල් අමාත්‍ය ධූරය පමණකි.
මෙරට දෙවන විපක්ෂ නායකයා විශේෂය. ඔහු විශේෂ වන්නේ එතෙක් ආණ්ඩුවක සිට ඉන් නික්මී නව පක්ෂයක් ගොඩනගා මැතිවරණයෙන් දෙවන තැන ලබා විපක්ෂ නායකයා වූ මුල්ම දේශපාලනඥයා ඔහු නිසාය. ඔහු එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකය.
1952 මැයි පැවැති මැතිවරණයෙන් නැවත බලය ලබන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එහි අගමැති ඩඩ්ලි සේනානායකය. ඒ වනවිට බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත්ව ශ්‍රීලනිපය පිහිටුවා තිබිණි.
බණ්ඩාරනායක මහතා ඇන්.ඇම් තරම් අවාසනාවන්ත වූයේ නැත. ඔහු ඉතා කෙටි කලෙකින් අගමැති විය.1956 මැතිවරණයේදී මැතිවරණයේදී ඔහු ජයගත්තේ එජාපය ආසන 8ට බස්සවමිනි. එජාපයට එවර විපක්ෂ නායකකමත් අහිමි විය. දෙවැනි වතාවටත්  එන්.එම්. පෙරේරා විපක්‍ෂ නායක වශයෙන් පත්වූ අතර ඔහු 1956 සිට 59 දක්‌වා විපක්‍ෂ නායක ධුරය දැරීය.
කෙසේ වෙතත් බණ්ඩාරනායක මහතා අකාලයේ ඝාතනය වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස 1960 මාර්තු 19 මැතිවරණයක් පැවැත්විණ. ඉන් ජය ලැබූ ඩඩ්ලි සේනානායක මහතාගේ එජාපය ආණ්ඩුව පිහිටුවූ අතර විපක්ෂ නායක වූයේ සී.පී.ද සිල්වාය. ඔහු ශීලනිපයේ කෙටිම කාලයක් පක්ෂ නායකත්වය දැරූ පුද්ගලයා ලෙස හැඳින්විය හැක. අනෙක් අතට ඔහුගේ විපක්ෂ නායක ධුරයේ ආයුෂ තිබිනේද මාස තුනකි.
1960 ජුලි 20 නැවත මැතිවරණයක් පැවැති අතර ඉය වාර්තාගත එකකි. ඒ ලොව පළමු අගමැතිනිය බිහි කළේ එවර නිසාය. ඈ සිරිමාවෝ බණ්ඩාරනායකය. ඈ අගමැති වෙත්දී විපක්ෂ නායක වූයේ ඩඩ්ලි සේනානායකය.
ඩඩ්ලි මුල් වරට විපක්ෂනායක වන්නේ එවරය. 65දී නැවත ඩඩ්ලි අගමැති වෙත්දී, සිරිමාවෝ බණ්ඩාරනායක විපක්ෂ නායක වෙයි. ලංකාවේ මෙන්ම ලෝකයේත් කාන්තාවක් මුල් වරට විපක්ෂ නායක වන්නේද එවර බව පැවැසේ. 70 මැතිවරණයේදී මැතිනිය නැවත ජය ලබා අගමැති වෙත්දී 'අමුතු විපර්යාසයක්' එජාපයේ සිදුවෙයි. ඒ එම පක්ෂයේ නායකයාව සිටි ඩඩ්ලි වෙනුවට ජේ ආර් ජයවර්ධන මහතා විපක්ෂ නායක වෙමිනි. ජේ ආර්ව එම තනතුරට නම් කළේත් ඩඩ්ලි විසිනි. 77වනතුරු ඔහු විපක්ෂ නායක විය.
1977 ජුලි 21 පැවැති මහ මැතිවරණය වඩාත් අවධානයට ගත හැකි එකකි. එජාපය එතෙක් මෙතෙක් ලද සුවිසල්ම ජය හිමිකරගන්නේ 77දීය. එම මැතිවරණයේදී එ.ජා. පක්‍ෂය මන්ත්‍රී ධුර 140 ක්‌ ජය ලැබීය. ශීලනිපය ජයගත්තේ ආසන 8කි. ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ආසන 18ක් ලැබීය. ඉතිහාසයේ පළමු වතාවට සුලු පක්ෂයක විපක්ෂ නායකයෙක් බිහිවන්නේ එවරය. ඒ අමිර්තලිංගම්ය. 1977 සිට 1978 දක්‌වා මෙන්ම 1978 විධායක ජනාධිපති ආණ්‌ඩු ක්‍රමය යටතේ 1978 සිට 1983 දක්වාම ඔහු විපක්ෂ නායක වරයාය. 89 වසරේ ඔහු ඝාතනය කළ අතර ඝාතනය වූ මුල්ම විපක්ෂ නායකයා ද ඔහුය.
ඒ කාලයේ සිදුවූ තවත් විශේෂ කාරණාවක් වූයේ 1982 දී ජනමත විචාරණයයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ගෙන එන ලද 06 සංශෝධනය (ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත සිටින කිසිම ශ්‍රී ලාංකිකයකු රට දෙකඩ කිරීමට කටයුතු කිරීම ආධාර හෝ අනුබල දීම එවැනි ව්‍යාපාරවලට මුදල් ලබාදීම දඬුවම් ලැබිය යුතු වරදක්‌ කරමින්) හේතුකොටගෙන විපක්‍ෂ නායක ඇතුළු ද්‍රවිඩ එක්‌සත් පෙරමුණේ මන්ත්‍රීවරු 16 ක් පාර්ලිමේන්තු ඒම වර්ජනය කළහ.ඒ වනවිට උතුෙර් අරගල පටන් ගෙනය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (f) ව්‍යවස්ථාව අනුව පාර්ලි‌මේන්තු‌වේ අවසරය රහිතව මාස 3ක කාලයක් පාර්ලි‌‌මේන්තු‌වේ රැස්වීම්වලට සහභාගි ‌නොවීම නිසා, අමිර්තලිංගම් මහතා 1983.10.24 දින අසුන හැර යෑමත් සමඟම ‌හෙ‌තෙම විරුද්ධ පක්ෂ‌යේ නායකයා වශ‌යෙන් කටයුතු කිරීම ද අවසන් විය .
විපක්ෂ නායක පුටුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට නැවත හිමිවිය. එහෙත් ඒ කෙටි කලකටය. මැතිනියගේ 'ප්‍රජා අයිතිය' අහෝසි කිරීම නිසා,1983 සිට 1988 දක්‌වා විපක්‍ෂ නායක ධුරය අනුර බණ්ඩාරනායක මහතාට හිමිවිය. ඔහුටද කතානායක ධූරයෙන් එපිට තනතුරක් 'සිහිනයක්' විය.
94 දී මැතිවරණයේදී ශ්‍රීලනිපය පොදු පෙරමුණ වූ අතර, එහිදී නව හඳුන්වාදීමක් පොදුපෙරමුණ සිදු කළහ. ඒ අනුව 'චන්ද්‍රිකා කුමාරණතුංග' මහත්මිය මැතිවරණ සටනට අවතීර්ණ වූවාය. ඈ අගමැති ධුරයට පත් වූ අතර ඈ කිසිම විටෙක විපක්ෂනායක ධුර දරා නැත. 94 අගෝස්තු සිට ඔක්තෝම්බර් දක්වා විපක්ෂ නායක වූයේ ගාමිණී දිසානායක මහතාය. එතෙක් මෙතෙක් කෙටිම කලක් විපක්ෂ නායක වූ වාර්තාව හිමි ඔහුටය. ඔහු, 1994 ඔක්‌තෝබර් 24  කොළඹ තොටළඟදී බෝම්බ පිපිරීමකින් මරණයට පත්වූ අතර එජාපයේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක ධුරයට පත් විය. 2000 ඔක්‌තෝබර් 10 දින පැවැති මහ මැතිවරණයේදී නැවත පොදුපෙරමුණ දිනන අතර විපක්ෂ නායක වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ වනවිට ජනාධිපතිව සිටියේ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ය. 2001 පොදුපෙරමුණ පෙරලෙන අතර එජාපය ජයගන්නේය. 2001-2004 විපක්ෂ නායක වන්නේ මහින්ද රාජපක්ෂය.
එහෙත් එවක එජාප ආණ්ඩුවට වැඩ ආයුෂ නොවිණි. 2004 අප්‍රේල් 02 දින නැවත මහ මැතිවරණයක්‌ පැවැති අතර ඉන් පරාජයව එජාපය විපක්ෂයට ගියේය.  2004 සිට 2010 දක්‌වාම විපක්‍ෂ නායක ධුරය හිමි වූයේ රනිල් වික්‍රමසිංහ මහතාටය. 2010 අප්‍රේල් 08 දින පැවැති මහ මැතිවරණයෙන් පසුව නැවත ඔහු විපක්ෂ නායක වූ අතර එය 2015 දක්වා නොවෙනස්ව පැවැතිණ. 2015 ජනවාරි 08 දින පැවැති ජනාධිපතිවරණයේදී බලයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙත්දී එතෙක් විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති විය. විපක්‍ෂ නායක ධුරයට බහුතර ආසන සංඛ්‍යාවක්‌ හිමිව සිටි ශ්‍රී ලනිපක්‍ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාට හිමි විය. ඉන් දින 300ට පසු පැවැති මැතිවරණයෙන් අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වෙත්දී ආර් සම්පන්දන් මහතාට විපක්ෂ නායක ධුරය හිමිවිය. එතෙක් මෙතෙක් විපක්ෂනායක ධුර දෙස බැලූ විට විශේෂ කරුණක් දකින්නට හැක. ඒ ජනාධිපති ධූර ලබන්නට ඉඩ ලැබුණේ විපක්ෂනායකවරුන්ගෙන් දෙදෙනෙකුට පමණි. ඒ ජේ.ආර් ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂ දෙදෙනාය. ආර්,ප්‍රේමදාස, ඩී.බී විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන යන නායකයින් කිසි විටෙක විපක්ෂ නායක ධුර දරා නැත.
සුලු පක්ෂවලට දෙවරක් විපක්ෂනායක දූර ලැබී තිබෙන අතර, විපක්ෂනායක ධූර නොලබාම අගමැති වූ කිහිපදෙනෙක් සිටී. ඩී,එස් සේනානායක, විජයානන්ද දහනායක, සර් ජෝන් කොතලාවල, ආර් ප්‍රේමදාස, ඩි.බී විජේතුංග, චන්දිකා කුමාරතුංග, යන නායකයින් අගමැතිකම් ලබන්නේ විපක්ෂනායකකම් නොලබාමය.
ඒ අතර  අගමැති  ධුරය ලද විපක්ෂ නායකයින් කිහිප දෙනෙක් සිටී. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, සී. පී. ද සිල්වා, ඒ.අමිර්තලිංගම්, අනුර බණ්ඩාරනායක, ගාමිණි දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, ආර්. සම්බන්ධන් යන මහත්වරුන්ට අගමැති හෝ ජනපති ධූර වෙත යන්නට ඉඩක් ලැබුණේ නැත.දේශපාලනය යනු බල අරගලයක්ය. එහි සැඟවුණු කෙලවරක 'වාසනාවද' තිබේ. ඒ බව මේ චරිත දෙස බැලූවිට මොනවට පසක් වෙයි.

මාතෘකා