ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ලලිත් කළ ඓතිහාසික කතාව | ඇස පාදන රැස


ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ලලිත් කළ ඓතිහාසික කතාව

 ඡායාරූපය:

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ලලිත් කළ ඓතිහාසික කතාව

ගරු කතානායකතුමනී


මේ අවස්ථවේ මා කතා කරන්නට නැගී සිටින විට මීට පෙර මේ හා සමාන පරිත්‍යාගයක් කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයින් මට මතක් වෙනවා.
1948 දී ඉල්ලා අස් වූ සි. සුන්දරලිංගම් 1951 දී ඉල්ලා අස් වූ ඇස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක, 1953 දී අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස් වූ ඩඩ්ලි සේනානායක, 1959 දී ඉල්ලා අස් වූ පිළිප් ගුණවර්ධන හා විලියම් සිල්වා, 1964 දී ඉල්ලා අසු වූ සී.පී ද සිල්වා සහ 1987 දී ඉල්ලා අස් වූ ගාමණී ජයසූරිය යන සියලු මහත්වරුන් මේ මොහොතේ මට මතක් වෙනවා.
මා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය පිළිබඳව ප්‍රකාශයක් කිරීම සඳහා ඉඩ ලබා දීමෙන් මේ අවස්ථාවේ මා වෙත දැක්වූ කරුණාව ගැන මා ඔබතුමාට මගේ ස්තූතිය පුද කරනවා.
මා ඉල්ලා අස්වීමට ගත් තීරණයට පක්ෂයේ සියලු මට්ටම් වල සාමාජිකයන්ගෙන් මා වෙත් ලැබුණු පැමිණිලි ද බලපෑ බව කිව යුතුයි. ඔවුන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, පළාත් සභා මන්ත්‍රිවරු, ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු, ශාඛා සභාපතිවරු - ලේකම්වරු, ශාඛා සංවිධායකවරු හා සාමාන්‍ය පාක්ෂිකයෝ ද වෙති.
මම 1972 ට පෙර සිටම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්මි. 1977 දී මම ජන්ද 19972 ක් ලබා වැඩි ජන්ද  7831 කින් රත්මලාන ආසනයට තේරී පත්වූයෙමි. 1989 මහා මැතිවරණයේදී  කොළඹ දිස්ත්‍රික්කයේ ජන්ද දායකයෝ මට මනාප 235447 ක් ලබා දී විශිෂ්ටතම  ජයග්‍රහනයක් මට ලබා දී  මා නැවත පත්කරගත්හ. එය මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ යම් අපේක්ෂකයෙකු ලද ඉහළම ජන්ද සංඛ්‍යාව බව මාගේ මතයයි. එබැවින්,ඒ සා විශාල පරිමාණයකින් මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන රත්මලානේ හා කොළඹ දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් වෙත මා මගේ කෘතඥතාව පළ කළ යුතුයි. මා හැමවිටම මගේ හිත තුළ ඉහළින්ම සලකන්නේ ඔවුන්ගේ උවමනා එපාකම් හා සුභ සාධනයයි. එහෙත් පසුගිය වසර 2.5 ක කාලය තුළ ඔවුනට ඇති වී තිබෙන්නේ තමන් නොසලකා නොතකා හැර තත්ත්වයෙන් ද පහළට හෙළනු ලැබ ඇතැයි යන හැගීමකි. තමන්ගේ ජීවිත පරදුවට තබා මැතිවරණ ක්‍රියාවල සටන් කළ ඔවුහු අද තමුන්ගේන්ම අසන ප්‍රශ්නය නම් “පක්ෂය තුළ අපට තැනක් තිබෙනවා ද?”යන්නයි. පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයා ඒ ප්‍රශ්නය ශාඛා සභාපතිවරයාට යොමු කළ විට ශාඛා සභාපතිවරයා එයට පිළිතුරු දෙන්නේ  “මට ඔබ වෙනුවෙන් කරන්නට කිසිම දෙයක් නැහැ”යනුවෙනි. ශාඛා සභාපතිවරයා සහනයක් පතා ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා වෙත හෝ පළාත් සභා මන්ත්‍රිවරයා වෙත හෝ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වෙත හැරෙයි. නමුත් තමුන් විසින් තෝරා පත් කරන ලද නියෝජිතයාගෙන් ඔවුනට ලැබෙන එකම පිළිතුර වන්නේ “මට ඔබ වෙනුවෙන් කරන්නට කිසිම දෙයක් නැහැ” යන්නය. පක්ෂයේ හැම මට්ටමකම ඇත්තේ අපේක්ෂා භංගත්වය පිළිබඳව ගැඹුරට කා වැදුණු හැඟීමකි. එය ඉවසා පිළිගත හැකි තත්වයක් නොවේ.
අද යුක්ති ධර්මයේ සියළු මූලධර්මයන් උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මා පක්ෂයෙන් නෙරපනු ලැබ ඇත. ඒ පිළිබඳව මට නඩු මාර්ගයට පිවිසිය හැකි අතර එහි දී මට ජයගත හැකි බව මම දනිමි. එවැනි නෙරපීම් පිළිබඳවව මා නොපැකිළෙන්නේ මා හදවතින් පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයන් සමඟ සිටින කෙනෙකු වන බැවිනි. මා  එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූයේ වඩා සුව පසු ජීවිතයක් ගෙන යා හැකි මාර්ග අතහැර දමාය. මම ආපදා මධ්‍යයේ වැඩ කර ඇත්තෙමි. පක්ෂයේ වැඩ නිසා මම බැටන් පහරවලට කදුළු ගෑස්වලට මුහුණ දුන්නෙමි. මම දේපළ හානිවලට ලක්වීමි. දුෂ්ඨ චේතනාවෙන් අටවන ලද අපරාධ නඩුවලින් රිමාන්ඩ් භාරයේ ද සිටියෙමි. උතුරේ දී වෙඩි උණ්ඩ හා බිම් බෝම්බවලටත් මේ මන්දිරය තුළදීම ග්‍රේනෙඩ් බෝම්බවලටත් මුහුණ දී මා විශ්වාස කරන ප්‍රතිපත්ති අරභයා කටයුතු කළ නිසාම මගේ සිරුරේ ප්ලීභාව පවා මට අහිමි විය. කෙසේ වුව, අතීතයේ මා ජනතාවට සේවය කළ ආකාරයට සියලු කල්හි කැප වීමකින් යුතුව සේවය කිරීම සඳහා මා දී ඇති ප්‍රතිඥා මම නැවත අලුත් කර ගත්තෙමි.
1989 පෙබරවාරි මාසයේ දී මා වෙත පවරන ලද නව අමාත්‍ය පදවියත් සමඟ මම සුපුරුදු වූ නිදහස් ක්‍රියා පිළිවෙත අනුගමනය කරමින් සේවය කිරිම සඳහා මම ඉදිරිය බැලුවෙමි. අප එතෙක් කටයුතු කළේ “බියෙන් තොරව හිස කෙලින් තබාගෙන” කටයුතු කළ හැකි වාතාවරණයක් තුළය. කෙසේ වුව වැඩි කලක් යන්නට පෙර එම රටාව ක්‍රමයෙන් වෙනස් වන බව පැහැදිලිව පෙනෙන්නට තිබූ අතර, අපට අලුත් තත්ත්වයට හැඩ ගැසෙන්නට සිදු විය. බුද්ධිය අවදි කොට කරන ක්‍රියාදාමයන් ක්‍රියා විරහිත කරන්නට අපට සිදු විය. බලයේ  සීතල හස්තය එහි බිහිසුණු ග්‍රහණය දැඩි කොට ගෙළ සිර කරන්නට වූයේ අප දිනාගත යුතු යයි ප්‍රාර්ථනා කළ විශිෂ්ට සම්මතයන් පිළිබඳ ව කිසියම් බලාපොරොත්තුවක් තිබුණේ නම් එහි ජීවන හුස්ම ඉවත්ව යන ආකාරයටය. අපට අපේ රටේ වුවමනා එපාකම්වලට පටහැනි ප්‍රතිපත්ති අනුගමනය කරන්නට සිදු වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට විය. ප්‍රතිවිරුද්ධ අදහස් නොඉවසනු ලැබිණ. අනුවණකම නිසා ‍හෝ බලයෙන් උපන් විකෘතියක් නිසා උගත්කම හා වෙනත් සමර්ථකම් සමච්චලයටත්, උගතුන් අවමානයටත් ලක් කෙරිණ. ව්‍යවස්ථාවට පටහැනි පරිපාලන ක්‍රියාදාමයකින් ඇමතිවරුන්ගේ තත්ත්වය ද පහළ දමනු ලැබිණි. දේශපාලනඥයන් නිලධාරීවාදයට යටත් කරනු ලැබ ඇත. ලේකම්වරුන්ගෙන් ඇමතිවරුන් පිළිබඳ රහස් වාර්තා ගෙන්වා ගනු ලැබිණ. ඇත්තෙන්ම මුළු මහත් ආණ්ඩු පක්ෂ කණ්ඩායමට කටයුතු කරන්නට සිදු වූයේ හුදු ”එහෙයින් “  පිරිසක් හැටියටය. 
අද අපේ රට මුහුණ දෙන බරපතල අභියෝග කොතෙකුත් වෙයි. ඉන් ප්‍රධානම අභියෝගය හැටියට කෙනෙකුට සිතෙනු ඇත්තේ බියට එරෙහිව කරන සටනය. බිය කා කෙරෙහිද? රටේ ප්‍රධාන විධායකයා හා ඔහුගේ ඒජන්තවරුන් කෙරෙහිය. අප ඒ බිය ඉවත් කළ යුතුව තිබේ. බොහෝ දෙනෙකුට ඒ බියෙන් මිදෙන්නට මගේ ඉල්ලා අස්වීම ධෛර්යක් වීම ගැන මම සතුටු වෙමි. අපි දරිද්‍රතාවට එරෙහිව සටන් කරන්නෙමු. එය හුදු භෞතික දේවල් පිළිබඳ හිඟයකට එරෙහිව කරන සටනක් නොවේ. නිදහස නැතිව මේ රටේ දරිද්‍රතාවය තුරන් කරන්නට බැහැ. මිනිසුනට නිදහසේ කතා කරන්නට ලැබෙන්නේ කවදාද? එදාට සටනේ අඩක් ජය ගත්තා යයි කිව හැකිය.
අපේ රටේ බලගතු ආගමික භක්තියකින් ආශිර්වාද ලද්දේ වෙයි. බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ධර්මයන් විසින් අපගේ ජීවිත ශක්තිමත් කරනු ඇත. ආගම යනු ප්‍රතිපත්තිවලට අනුකූලව ජීවත් වන මාර්ගයක් මිස දේශපාලන අරමුණු අරභයා පූජනීයත්වය කෙලසීමට හෝ ප්‍රදර්ශනය කිරීමට තිබෙන දෙයක් නොවේ. සැබෑ ශීලය අභ්‍යන්තර ශිලයයි. එය දේශපාලනයේ නියළි සිටින අප කාටත් අත්‍යවශ්‍ය වුවකි..
අපි “ඒක පුද්ගලවාදයේ හෝ ඒකාකාරීත්වයේ ”නිර්මාණයන් නොවෙමු. එහෙත්, අන් මත ඉවසිමේ හා විවිධිත්වයේ, නිර්මාණවන් වෙමු. ඇත්තෙන්ම මේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය වූයේ එයයි. මේ අව්‍යාජ සම්ප්‍රදාය නැවත පණ ගැන්වීමටත් යළි ප්‍රබෝධමත් කිරීමටත්, දැඩි සැලකිල්ලකින් පෝෂණය කිරීමටත්, අපි කැප විය යුත්තෙමු. ඒ පිළිබඳව ජනතාව තුළ ඇති උනන්දුව ගැන අපි යන්තමින් හෝ සැකයක් ඇති කර ගත යුතු නැත. අප ගිය නගරයක් නගරයක් පාසා පැවති වාර්තාගත රැස්වීම්වලට සහභාගී වූ දස දහස් ගණනින් යුත් ජනතාවගේ ප්‍රතිචාරයෙන් එය මොනවට පැහැදිලි විය.
අද මේ පාර්ලිමේන්තුවේත්, මෙහි අසුන් ගන්නා ජනතා නියෝජිතයන්ගේත් සැබෑ පරමාධිපත්‍යය සහතික කිරීමටත් එක් පුද්ගලයෙක් වටා බලය කේන්ද්‍රගත කිරීම නිසා ඔඩු දුවගොස් ඇති රෝගවලින් ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලන දේහය වහා සුව කර ගැනීමටත් මා හා මගේ සහෝදර මන්ත්‍රිවරුන් ගෙනයන අරගලයේදී ප්‍රතිපත්තියක් නැති පවත්පත් සමූහයකින් මා පතුරු ගසන්නට හදනවිට එදා මට සෙත් පැතූ ජනතාවගේ ආශිර්වාදය අදත් එලෙසම මට ලැබෙන් බව මම තරයේ විශ්වාස කරමි.
ශ්‍රී ලංකාවේ අද දිග හැරෙන සිදුවීම් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවැනි චාල්ස් රජු හා නියෝජ්‍ය මන්ත්‍රි මණ්ඩලය අතර ඇති වූ අරගලයට සමීප සමාන්තරභාවයක් පෙන්නුම් කරයි.
ගරු කතානායකතුමනී,
අද ඔබතුමා වෙත උරුම වී ඇත්තේත් ඔබතුමා විසින් ආරක්ෂා කරනු ලැබිය යුත්තේත් මෙම උතුම් වූ සම්ප්‍රදායයයි. අපි සැමවිටම ඔබ කෙරෙහි විශ්වාසය තබා ඇත්තෙමු. ඔබගේ එඩිතරභාවය විවක්ෂණභාවය හා වගකීම පිළිබඳ හැඟීම අපි නිරතුරුව අගය කරන්නෙමු.
මා ඇමති පදවි දැරූ කාලය තුළ වෙළඳ හා නාවික අමාත්‍යවරයා හැටියටත්, ජාතික ආරක්ෂක අමාත්‍යවරයා හැටියටත්, ඊළඟට කෘෂිකර්ම, ආහාර හා සමූපකාර  අමාත්‍යවරයා හාටියට හා පසුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළෙමි. ඒ සෑම අමාත්‍යංශයකදී ම මට ලබාදුන් සහාය ගැන ඒවායේ කාර්ය මණ්ඩලවලට මාගේ ස්තූතිය පුද කරමි. මට වඩාත්ම අභියෝගාත්මක කාර්යය පැවරී තිබුණේ ජාතික ආරක්ෂක අමාත්‍යවරයා හැටියටය. එම කලබලකාරී වසර කිහිපය තුළ මා සමඟ කිටිටුවෙන් වැඩ කළ සන්නද්ධ සේවාවන්හි හා පොලිස් බලකායේ නිලධාරීන්ට ඇතුළු සියලු දෙනාටම මේ මොහොතේ විශේෂ ආචාරයක් පිරිනමන්නට මම කැමැත්තෙමි.
 කථානායකතුමනි,
නිදහස් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා විමුක්තිය යන වචන අප දන්නා සැබෑ අරුතින් වෙන් කොට විකෘති නොකරන බවට අප සහතික විය යුත්තේ එය අප ජනතාව වෙනුවෙන් කළ යුතු දෙයක් හැටියටය. සුවහසක් ජනතාවගේ  ළයගැබ තුළ බලාපොරොත්තුවේ ගිනි පුපුරු දල්වන්නටත්, එම අපේක්ෂිත ඉලක්කය කරා යන ප්‍රාර්ථනා සඵල වන්නටත්, ඒ සමගම පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ඉස්මතු වන්නටත්, අද අප දියත් කොට අති අරගලය හේතු වනු ඇතැයි මම විශ්වාස කරමි.
මා රවින්ද්‍රනාත් තාගෝර් කිවියාණන්ගේ පද පෙළක් උපුටා දක්වතොත්.....

“අපි අපේ දුන් කදුළැලි සදහටම පිසදා හළෙමු
සිත් පෙලූ අවමන් අතීතයට එක් කළෙමු
උරෙන් උර ගැටුණු සහෝදරත්වයක් දකිත්ම
උද්දාමයෙන් පිබිදුණු අපේ ළය ගැබ තුළ
අලුත් බලාපොරොත්තු දැලිවෙයි”
අප දියත් කළ මේ අරගලය ඉතා දීර්ඝ වුවක් විය හැකිය. මෙම කාලය තුළ අපට ගැරහුම්වලට, කටුකවුත්, අශ්හීලවුත් පහරදීම්වලටත් ලක්විමට සිදුවිය හැකිය. අසත්‍යයන් හා කරුණු විකෘති කිරීම් වැනි අවි ආයුධ අපට විරුද්ධව පාවිච්චි කරන අවි ගබඩාවේ තිබිය හැකිය. අපි දැනටමත් ඒවා රස බලා ඇත්තෙමු. කෙසේ වුව අපේ පැත්තෙන් අපේ කටුයුතුවලදී ධම්මපදයට ඇතුළත් වන බුදුන් වහන්සේගේ අමතක කළ නොහෙන උපදේශයන් විසින් අප මෙහෙයවනු ලබනු ඇති බව මට ඔබට සහතික කොට කිව හැකිය.

“මෘදු බවින් කෝපය ජයගත හැකිය
නිර්ලෝභීභාවයෙන් ලෝභය ජයගත හැකිය
සත්‍යයෙන් මායාව ජයගත හැකිය
සත්‍යයම කතා කරන්න
ඔබට දීමට හැකි හෑම දෙයක්ම දෙන්න
කිසිවිටකත් කෝප නොවන්න”