ඔබ ඇති තැන නැත බිය සැක | ඇස පාදන රැස


ඔබ ඇති තැන නැත බිය සැක

 ඡායාරූපය:

ඔබ ඇති තැන නැත බිය සැක

මේ කොදෙව්වේ ප්‍රාඥයින් දුර්ලභය. අතිශය දුර්ලභව පහලවන ප්‍රාඥයෙක් වෙත්නම්, එහෙව් ප්‍රාඥයෙක් දේශපාලනය තෝරාගැනීම ඊටත් වඩා දුර්ලභය. එකී දුර්ලභ කුලකයට ගොනුකරගත හැකි ප්‍රාඥයින් කිහිපදෙනෙක් වෙත්නම් ඔවුහු මෙරට දේශපාලන රඟ මඬලෙහි අපූර්ව බුහුටිකම් පා ඇත්තාහ.  
'ලලිත් ඇතුලත්මුදලි' යනු නමක් නොවේ රටක් තරමටම සුවිශේෂී චරිතයක් විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙතෙම ප්‍රාඥයෙකි. අඩි කිහිපයක් දිග ජීව දත්ත සටහනක් ඔහුට වෙයි. එය අනභිභවනීය ජීව දත්ත සටහනකි. ලොව ප්‍රමුඛතම සරසවියේ අති විශිෂ්ඨතම ප්‍රතිඵල වලින් අලංකෘත වූ ලලිත්ගේ අධ්‍යාපන වපසරිය නිදහසින් පසු මෙරට බිහි වූ ප්‍රභාමත් බුද්ධිමතුන් අතරිනුත් ඉහළින්ම වෙයි.  
ලලිත් අග්‍රගණ්‍ය වියතෙකි. එහෙත්, වියතුන් මඟ හැර යන දේශපාලනය ඔහු තෝරාගනී. 1946 පාම්කොට් මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය බිහිකළ අවස්ථාවට ස්වකීය පියා සමඟ ලලිත්ද සහභාගී විය. ඒ වනවිට ඔහු දස වියැති නොදරුවෙකි.  
'ඔබ කවදා හෝ ලංකාවේ අගමැති වෙනවා'යැයි ලලිත්ට විවරණ දෙන්නේ එස්. ඩබ්ලියු. ආර්. ඩී බණ්ඩාරනායකය. ඔක්ස්ෆර්ඩ් සරසවියෙහි ඔහු ලත් කීර්තිය ගැන බණ්ඩාරනායකයන් අවදියෙන් සිටියේය.  
1973දී එක්සත් ජාතික පක්ෂයේ අගලවත්ත සංවිධායකවරයා ලෙස තමන් විශ්වාස කරන දේශපාලන මාවත තෝරාගත් ලලිත් 77දී රත්මලාන ආසන සංවිධායකවරයා ලෙස පත්ව පාර්ලිමේන්තු ආවේය. දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් ආඩම්බරයට පත්විය යුතු චරිතයකි 'ලලිත්'. ඔහු කෙරෙහි වූ විසල් දැනුම් පරාසය, තීක්ෂණ බුද්ධිය සේම උපාය උපක්‍රම තේරීමේ නිපුණතාවය නිදහසින් පසු මෙරට බිහි වූ දේශපාලනඥයින් අතර ඉහළින්ම වෙයි.  
ලලිත් ඉතා වේගයෙන් ජනතාව ආකර්ශණය කරගත් නායකයෙකි. මනාප 19972ක් ලබා මුල් වරට පාර්ලිමේන්තු එන ලලිත්, ඊට වසර කිහිපයකට පසු නැවත පාර්ලිමේන්තු එන්නේ එතෙක් ඉතිහාසයේ දැවැන්තම මනාප වාර්තාව තමා සන්තක කරගනිමිනි. ඒ මනාප දෙලක්ෂ තිස්පන්දහස් හාරසිය හතලිස් හතකි.  
රටක දේශපාලනයේ 'ජාතික ලැයිස්තුව' නිර්මාණය වී ඇත්තේ උගත්, වියත් චරිත වලට නියෝජනයක් ලබාදීම උදෙසාය. එහෙව් ලැයිස්තුවක පළමු තේරීම වන්නට ඕනෑවටත් වඩා සුදුසුකම් ලලිත් සතු වූ නමුදු හෙතෙම කිසි විටෙකත් එහෙම පාර්ලිමේන්තු ආවේ නැත. මැතිවරණ සටන් බිම හොඳ හැටි වටහාගත් ලලිත් එකී පොරපිටියේ ජයකෙහෙලි නැංවූයේ ප්‍රතිවාදීන් පුදුමයෙන් පුදුමයට පත් කරමිනි. වඩාත් ආකර්ශනීය, නවීන මැතිවරණ උපක්‍රම භාවිත කිරීමේත් හඳුන්වාදීමේත් ප්‍රමුඛතමයා ලලිත්ය. දුරකතන මාර්ගයෙන් ඡන්දදායකයින්ට පණිවිඩ ලබාදීමෙහි පුරෝගාමියා ලලිත්ය. කුඩා ආසනයක් වූ රත්මලානෙන් තරඟ කොට ලංකාවේම වැඩිම මනාප ලැබූ ලලිත් 1989 වන විට මැතිවරණ පොර පිටිය සියතට ගත්තේය.  
එහෙත් ඔහු කෙකලකවත් එය මඩගොහොරුවක් කොට නොගත්තේය. මැර දේශපාලනයේත්, චරිත ඝාතන දේශපාලනයේත් කුප්‍රකට චරිත අභිබවමින් ලලිත් ලැබූ ජයග්‍රහණ 'පෙරූ රත්තරං'තරම් අමිල විය.  
ලලිත් බොහෝ දෑ හඳුන්වාදීමේ පුරෝගාමියා විය. ඒ නිසාම මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ ලලිත් 'යෝධ මුද්‍රාවක්' විය. ලාංකේය විවෘත ආර්ථිකයේ න්‍යායාචාර්යවරයා ලෙස බොහෝ දෙනා හැඳින්වූයේ 'ලලිත්'ය. ජේ.ආර්. සහ රොනී ද මැල් සමඟ මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරකට ලලිත් දායක විය. එවකට වෙළඳ අමාත්‍යවරයා ලලිත්ය.  
අමාත්‍යවරයෙකු ලෙස ලලිත් තමා දැරූ සියලු අමාත්‍යාංශ 'සමත්' කළේය.  
1978දී ලලිත් වෙළෙඳ සහ නාවුක අමාත්‍යධුරය ලද අතර, ලෝකයේ වරායන් අතුරින් 138 වන ස්ථානයේ තිබූ කොළඹ වරාය, ලෝකයේ කන්ටේනර් බහලුම් වරාය අතින් 22වන ස්ථානයට ගෙන එන්නට ඔහු සමත් විය. හේ ප්‍රතිනැව්ගතකරණය කොළඹ වරායට හඳුන්වා දෙනවිට බොහෝ දෙනා සමච්චල් කළහ. එහෙත් 
“මල් වට්ටියකට අත ගසා පින් ලබාගන්නා ක්‍රමයක්” වශයෙන් එම ක්‍රමය හඳුන්වා දුන් ලලිත් 1979දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවාලීය. ලලිත් අමාත්‍යවරයාව සිටි වකවානුවේ එකම වැඩ වර්ජනයක්වත් වරායේ සිදු වී නැත.  
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ලලිත් 'මහපොළ' හඳුන්වා දුන්නේය. “මා ළඟ මහා සංකල්ප නැහැ. ඇත්තේ පුංචි අදහස්. ඒ අදහස් මිනිසුන්ගේ අදහස් එක්ක එකතු වුණාම ඒ දෙක පෑහී අලුත් දෙයක් නිර්මාණය වෙනවා” කියා ප්‍රකාශ කළ ලලිත් මහපොළ හරහා ජාතියේ දූදරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ 'ආත්ම'ගොඩ දැමීය. ජාති ආගම් කුල ගොත් කිසිවක් මායිම් නොකර හිනිදුමින් 1980 ජනවාරි 2දා ඇරඹි මහපොළ දශක ගානක් පුරා ලාංකේය මිනිසුන් ලක්ෂ ගණනකට අප්‍රමාණ ශක්තියක් විය.“සම හැකියාවනට සම අවස්ථා” යන දර්ශනය මූර්තිමත් කරමින් එය ජීවමානය. “1987දී බෝම්බයෙන් මළා නම්, මගේ ජීවිතය ඉවරයි. එහෙත් මහපොළ හැමදාමත් අප උපන් මහපොළවේ උරුමයක්ව පවතීවි” යැයි ලලිත් කීවේය. ඒ තරමට ලලිත් මහපොළට, මහපොළවට ආදරය කළේය.  
1984දී ජේ.ආර්. ලලිත්ව ජාතික ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය පදවියට පත් විය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලලිත් තරම් කැපවූ වෙනත් නායකයෙක් සිටීදැයි කියා සිතන්නටවත් බැරි තරම්ය. වැඩභාර ගන්නා විට 11000ක් වූ භට පිරිස 64000ක් දක්වා ඉහළ නංවා, ජාතික ආරක්ෂක අරමුදල පවා පිහිටුවන්නේ ලලිත්ය.  
1980 දශකය වනවිට මෙරට දේශපාලනයේ ප්‍රධාන චරිත තුනක් ඉස්මතුව සිටියහ. 77න් ඇරැඹි ජේ.ආර් පාලන කාලයේදී ඒ චරිත තුන තුන් ආකාරයකින් මෙරට ජනතා ආකර්ශණය ලබා ගත්හ. ඒ ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක යන තිදෙනාය. දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් සමීපව කටයුතු කොට ආර්. ප්‍රේමදාස ජන ප්‍රසාදය ලබා සිටි අතර කෘතහස්ත දේශපාලනයක යෙදෙමින් ලලිත් අැතුලත්මුදලි ජන ආකර්ෂණයක් ලබා ගත්තේය. මහවැලිය වැනි යෝධ ව්‍යාපාරයක් සාර්ථකත්වයේ මුදුන් පෙත්තට ගෙන ආ ගාමිණී දිසානායකද අද්විතීය ජන ආකර්ෂණයක් ලබා ගත් අතර ඒ තිදෙනාම එකම ආණ්ඩුවේ එකම පක්ෂයේ තමන්ට ආවේනික එහෙත්, එකිනෙකා අභිබවන ගමනක යෙදී සිටියහ.   
එකම වනයක එකිනෙකා පරයාලන ලෙස තුංගව නැගී සිටින්නට තතනන 'මහගස් තුනක්' එකී සටන ජය ගන්නේ කෙසේද? ලලිත්, ගාමිණී, ප්‍රේමදාස තිදෙනා මුහුණ දුන්නේ එවැනි උභතෝකෝටික ගැටලුවකටය. අන්තිමට වූයේ එක්ව යන ගමන හැරපියා වෙන්ව සටන් කරන මාවත තිදෙනාටම තෝරා ගන්නට සිදුවීමය.  
ප්‍රේමදාස ජනාධිපතිවරයා බවට පත්වීමත් ලලිත් ගාමිණී දෙදෙනා අනපේක්ෂිත 'හැරවුම්' ලක්ෂයක හුදකලා කිරීමත් මෙරට අනාගත දේශපාලනයේ 'දෛවෝපගත' නිමේශය බවට පත්විය. ප්‍රේමදාස ජනාධිපතිතුමාට එරෙහි දෝෂාභියෝගය එහි කූටප්‍රාප්තිය විය.  
ස්වකීය දේශපාලන 'තෙම්පරාදුවත්, විධායක බලයේ අනුහසුත්' හේතුකොටගෙන ප්‍රේමදාස ජනාධිපතිවරයා දෝශාභියෝගය ජයගත් නමුත් ඉන් ඔබ්බට එතෙක් නිරුපද්‍රිතව පැවැති දැවැන්ත ආණ්ඩුවක 'කඩා වැටීම' එයින්ම ආරම්භ විය.  
එතෙක් කෙටිම කාලයක් තුළ වැඩිම ජනතා ආකර්ශණය සහිත දේශපාලන ව්‍යාපාරයට පණ දුන්නේ ලලිත්ය. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නිර්මාණය කරමින් ලලිත්, ගාමිණී මෙරට දේශපාලනයේ 'අලුත් පරිච්ඡේදය' ලියන්නට පටන් ගත්හ. අපේක්ෂා පූදින ජනතාවට ලලිත්ලා නව ප්‍රාණ වායුවක් රැගෙන ආහ. ලලිත් ගාමිණී සුසංයෝගය අපේක්ෂාභරිත මිනිසුන්ගේ ඒකායන ප්‍රර්ථනය සේ මෝදු වෙමින් තිබිණ.  
එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන, එහෙත් එවක ක්‍රියාකාරීත්වය නොඉවසූ ප්‍රගතිශීලී ජනතාව බුරුතු පිටින් මේ නවමු දේශපාලන ව්‍යාපාරය වටා රොද බඳින්නට වූහ.“ඔබ ඇති තැන – නැත බිය සැක” යන්න එහි තේමාව විය. 
ඒ තේමාව ලලිත්ට හමුවන්නේ ගිරාදුරුකෝට්ටේ රැස්වීමකට යන අතරය. එය ලියා තිබුණේ ඒ ප්‍රදේශයේ තරුණයෙකි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ උගත් වියත්, ප්‍රාඥයා මේ අපූරු වැකියට ආකර්ශණය විය. එතෙක් මෙතෙක් ලලිත් ගැන කතා කරන හැම විටෙකම 'ඔබ ඇති තැන නැත බිය සැක' ලලිත්ගේ වාසගම තරමටම සමීප විය.  
ලලිත්ගේ පා දුහුවිල්ලක් තරමටවත් තරම් නොවන අඳබාල දේශපාලන මැරයින් ඔහුට කිහිප විටක් පහර දුන්නේය. එහෙත් ලලිත් බිය වූයේ නැත.   
ලලිත් මරණයට බිය නොවූවෙකි.  
“පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු වෙලාවේ මම සුසානයේ දොරටුවට ගිහින් ආපු කෙනෙක්. මරණයට මම බය නැහැ. මම ආරක්ෂක ඇමැති කාලේ යාපනයට යන්න හෙලිකොප්ටරයට නගින හැම වෙලේම කිව්වේ “මම යන්නේ මරණයටයි” ලලිත් නිතර කීවේය.  
ලලිත් නිතර මරණය ගැන කතා කළේය. මරණයට බිය නැති බව කීවේය.  
නිදහසින් පසු බොහෝ දෙනා සිහින දුටුවේ ශ්‍රීලංකාව සිංගප්පූරුවක් කරන්නටය. එහෙත් ලලිත් සිහින දුටුවේ ශ්‍රීලංකාව 'ශ්‍රී ලංකාවක්' කරන්නටය.  
පඨිසෝතගාමී චර්යාවකින් යුක්තව, අදීනව, ප්‍රශස්ථව, සහ ගතික ලෙස හෙතෙම උපාය උපක්‍රම තේරුවේය. කෝටි දෙකක ජනතාවගේ සිහින ඔහුගේ අපේක්ෂා මත ලියැවී තිබිණ.  
1993 අප්‍රේල් 23දා කිරුළපනදී ජනරැළිය අමතමින් සිටියදී එක් සාහසිකයෙක් විසින් 'දෙකෝටියක් ජනතාවගේ' සිහින ඉටුකරන මිනිසාගේ 'ඉරණම් කතාව' හමාර කළේය.  
ඉනුත් දින කිහිපයක් ගෙවෙන තෙක් 'ඔහු ඇති තැන නැත බිය සැක' කියා ලියූ 'බැනර්' සුළඟේ ලෙලදෙමින් තිබිණ.  
'මෙහි නිදන මිනිසා මිනිසුනට අසීමිත ලෙස ආදරය කළේය.  
මිනිස්සු ඔහුට බෙහෙවින් ආදරය කළහ.'  
යනුවෙන් ඔහුගේ සොහොන් කොතෙහි වන වචන කිහිපය දෙස බලා සුසුමක් හෙලනු විනා කරන්නට අන් යමක් නැත. ඒ තරමටම 'හිස් තැනක්' ඔහු ඉතිරිකොට ගොස් තිබේ.