නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

 ඡායාරූපය:

නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

1935 දෙසැම්බර් 18 වෙනිදා ලංකා සමසමාජ පක්ෂය බිහිවීම ලාංකික දේශපාලන ඉතිහාසයේ දැවැන්ත සිදුවීමක් විය. ධනපති පංතිය පෙරළා දමා කම්කරු පංති නායකත්වයෙන් සමාජවාදී ආණ්ඩුවක් ගොඩනගා ගත යුතුය යන අදහස පළමු වතාවට මෙරට දේශපාලන භුමිය තුළ ජනිත වුයේ එමඟිනි. එය අනිවාර්යයෙන්ම ලෝක සමාජවාද ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගත් ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක කොටසක් වීමද වැදගත් පියවරක් විය.

ලංකාවේ එවකට සිටි ධනපති පංතියේ නියෝජිතයිෙයා් බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍යවාදීන් මත යැපෙන කොම්ප්‍රද්‍රෝරු පිරිසක් ලෙස කටයුතු කරමින් සිටියහ.  1927 දී, ඩොනමෝර් කොමිෂන් සභාව පිහිටුවා ජනතාවට සර්වජන ඡන්ද අයිතිය දීම පිළිබඳ ප්‍රශ්නය මතුවූ අවස්ථාවේදී ධනපති පංතියේ නියෝජිතයින් වූ ඩී.එස් සේනානායක හා බාරොන් ජයතිලක වැනි අය ඡන්ද අයිතිය දීමට විරුද්ධව කරුණු දක්වන තැනට පත්ව සිටියහ. එම පසුබිම තුළ ඩොනමෝර් කොමිසම ඉදිරියේ ජනතාවගේ ඡන්ද අයිතිය ලබා ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කළේ එවකට කම්කරු සංගමයේ නායකයා ලෙස කටයුතු කළ ඒ.ඊ ගුණසිංහ පමණි. ලංකාවට නිදහස ලබාගැනීමේදී පවා ධනපති නායකයින්ට තිබුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබෙන දෙයක් යටහත් පහත්ව ලබාගැනීමේ නිවට නියාලු ප්‍රතිපත්තියකි.

වමේ පක්ෂ දෙකක්

එසේ වුවද වමේ ව්‍යාපාරය ආරම්භයේ සිටම අප රටට නිදහස දිනාගැනීම හා අධිරාජ්‍ය විරෝධී අරගලය ගැන ජනතාව දැනුවත් කරමින් අරගලයන්හි නිරත විය. 1939 වසරේදී, දෙවන ලෝක යුද්ධය ආරම්භ වීම සමඟ අධිරාජ්‍යවාදී යුද්ධය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ස්ථාවරය ගැන න්‍යායික විවාදයක් සමසමාජ පක්ෂය තුළ මතු විය. ඒ විවාදය සමඟ තුන්වන ජාත්‍යන්තරය අනුගමනය කරන ක්‍රියාමාර්ගය සම්බන්දයෙන්ද තියුණු විවාදයක් මතු විය. ජාත්‍යන්තර කම්කරු පංති ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් 3 වන ජාත්‍යන්තරය කි‍්‍රයා නොකරන බැවින් එය සමඟ පවත්වන සම්බන්ධතාවලින් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් ඉදිරිපත් විය. එම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ එස්. ඒ. වික්‍රමසිංහ හා එම්. ජී මෙන්ඩිස් ඇතුළු 5 දෙනෙකු සමසමාජයන් නෙරපා දමනු ලැබූ අතර ඉන් අනතුරුව එම කණ්ඩායම පසු කලෙක ලංකා කොමියුනිස්ට් පක්ෂය බිහිකිරීමට කටයුතු කරන ලදි.

න්‍යායික වශයෙන් වෙනස්කම් පක්ෂ දෙක අතර පැවතියද ආරම්භක අවධියේදී සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය කම්කරු පංතියේ හා පීඩිත ජනතාවගේ අයිතීන් දිනාගැනීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. කම්කරු පංති ව්‍යාපාරයට නායකත්වය දුන් වමේ ව්‍යාපාරය 1956 දී බණ්ඩාරනායකට ආණ්ඩුවක් (එජාපයට එරෙහිව) ගොඩනගා ගැනීමට සහයෝගය දීමට ගත්තාවූ තීන්දුව සමඟ ස්වාධින කම්කරු පංති අරගලයේ ගමන්මග පාවාදීම සිදුකෙරිණ. ජනප්‍රිය ජාතිවාදී බලවේගයක මුහුණුවරින් බලයට පැමිණි ධනපති බණ්ඩාරනායකට අනුකූලතා සහයෝගය නමින් (Responsive co – operation) ධනපති සභාග දේශපාලනයට අවතීර්ණ වීමේ පළමු පියවර තැබිණ. අනාගත සභාග දේශපාලන ක්‍රියාවට ඇතුළුවීම සඳහා ලසසප නායකත්වය එදා හවුල් දේශපාලනය ආරම්භ කළේ අනුකූලතා සහයෝගය යන නමිනි. එසේම 2001 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ ධනපති හවුල් දේශපාලනයට ඇතුළුවූයේ ඊනියා පරිවාස ආණ්ඩුව යන නමින්ය. මේ වන විට එම කඩතුරා සියල්ල හෙළිදරව් වී අවසානය. බණ්ඩාරනායකගේ ආණ්ඩුව හුදෙක් ධනපති ආණ්ඩුවක් පමණක් නොවූ අතර එය සිංහල පමණක් එකම රාජ්‍ය භාෂාව විය යුතු යන ජාතිවාදී දේශපාලන කරළියට ගෙනා දේශපාලනයද විය. අද දක්වා දිග හැරෙමින් පවතින උග්‍ර සිංහල ජාතිවාදී දේශපාලනය ඒ හරහා ගලා එන්නකි.

වම ජාතිවාදයට යට වෙයි

ධනපති පංතිය (ශ්‍රීලනිපය) සමඟ සභාග දේශපාලනයට ගමන් කිරීම සමඟ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ධනපති විරෝධී ස්වාධීන පංති සටන් ක්‍රියාමාර්ගය අත්හැර දැමුවා පමණක් නොව සිංහල ජාතිවාදී දේශපාලනයද වැළඳ ගැනීමට සිදුවිය. පළමු වරට ලංකාවේ සමස්ත වෘත්තිය සමිති ව්‍යාපාරය 1964 දී ඉල්ලීම් 21 වටා එකම සටන් පෙරමුණකට අත්වැල් බැඳගත්හ. එහෙත් වැඩි කාලයක් යන්නට මත්තෙන් ඉල්ලීම් 21 පාවාදී හවුල් ආණ්ඩුවකට ඇතුළුවීම සමසමාජ නායකත්වය ගත්තාවූ තීන්දුව මරණීය පාවාදීමක් විය. 1968  දී ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධව ශ්‍රීලනිපය සමග ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ කියන තැනට පත්ව පෙළපාලි යෑම දක්වා වමේ නායකයෝ ජාතිවාදී දේශපාලනය කරපින්නා ගත්හ. 1972 දී කොල්වින් ආර් ද සිල්වාගේ නායකත්වයෙන් සම්පාදනය කෙරුන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගම මුල්තැන දිය යුතුය යන්න පවා ඇතුළත් කිරීම දක්වා සමසමාජ නායකයන් පිරිහී තිබුණි. සමසමාජ නායකයින් ධනපති ශ්‍රීලනිපය සමඟ සභාග දේශපාලනය වැළද ගැනීම සමඟ ජාතික ප්‍රශ්නය සම්බන්දයෙන් දෙමළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම පවා අත්හැර දමන ලදි. 1972 ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත පෙඩරල් පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා 6 සැළකීමට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීම දක්වා සමසමාජ කොමියුනිස්ට් නායකයෝ නිවට වූහ. 56 බණ්ඩාරනායක සමග නිතරඟ ගිවිසුමක පදනමින් ආරම්භ කෙරුණ සභාග හවුල් දේශපාලනය 1960, 1964, 1970, 1994 හරහා 2005 දී මහින්ද රාජපක්ෂ දක්වා පංති සහයෝගීතාවාදී ගමනේ දිගු ගමනක නිරත විය.

නව වමක ආරම්භය

1970 දී, ශ්‍රීලනිපය සමඟ දිගුකාලීන හවුල් ආණ්ඩුවක ඇමතිවරු වීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩ වර්ජන කඩා දමමින් කම්කරු පංති ව්‍යාපාරයට එරෙහිව කටයුතු කිරීම දක්වා වමේ නායකයින් ගමන් කරනු ලැබීය. මේ සමඟ දකුණේ මෙන්ම උතුරේද වමේ නායකත්වය කෙරෙහි විශ්වාස තබා සිටි පීඩිත ජනතාව ඇතුළු තරුණ ව්‍යාපාරය ස්වාධීනව ගමන් කිරීමට පෙළඹීය. දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ බිහිවීමද නව සමසමාජ පක්ෂයේ (මුල්කාලීනව වාම සමසමාජය ලෙස) ආරම්භයද සනිටුහන් වන්නේ එලෙසය. උතුරේ ප්ලොට් (PLOTE) කොටි සංවිධානය (LTTE) ටෙලෝ හා (EPLRF)  yd(EROS)යන සංවිධාන ගනනාවක් දකුණට සමගාමීව බිහිවිය.

නාගරික කම්කරු පංති ව්‍යාපාරය වෙනුවට ග්‍රාමීය කුළ පීඩිත ජනතාව හා සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම්ව ව්‍යාපාරයක් ලෙස ජවිපෙ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. විජේවීර ඇතුළු ජවිපෙ ආරම්භක නායකයින් පැරණි වමේ නායකයින් කෙරෙහි දැක්වුයේ මාක්ස්වාදය මත පදනම්වු න්‍යායික විවේචනයකට වඩා තරුණයින් කුපිත කරවන වෛරී භාෂාවකි. උදාහරණයක් ලෙස ජවිපෙ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ වල නායකයින් හැදින්වුයේ රදළ පවුල් පසුබිම් වලින් පැවත එන විදේශීය අධ්‍යාපනය ලත් සුළු ධනපති කොටස් වශයෙනි. ධනපති පවුල් පසුබිම්වලින් පැවත එන මාක්ස්වාදයේ ආරම්භකයින් වන මාක්ස් හා එංගල්ස් ගැන ජවිපෙ නායකයින් එවකට කිව්වේ කුමක්ද යන්න තේරුම් ගැනීම අපහසුය.

වමේ පැරණි නායකයින්ගේ ප්‍රතිසංස්කරණවාදී පිරිහීමට හා ජාතිවාදී දේශපාලනයට එරෙහිව ගැඹුරු හැදෑරීමකින් තොරව වමේ ව්‍යාපාරයේ නායකයින් ගැන විජේවීර විසින් ප්‍රචලිත කළ හුදු වෛරී දේශපාලනය (න්‍යායික විවේචනයකට වඩා) අදත් ජවිපෙය තුළ දකින්නට ඇත්තේ මෙබැවිනි. ජවිපෙ කිසිදිනක පැරණි වමේ පක්ෂ ඇතුලු සෙසු වමේ පක්ෂ සමඟ එක්සත් ක්‍රියාකාරත්වයකට කිසිදිනක ගමන් නොකරනුයේ එම වෛරී දේශපාලනය නිසාය. 1988 – 89 කාලයේ භීෂණ සමය තුළ ප්‍රකට කම්කරු නායකයින් වූ එල් ඩබ්ලිව් පණ්ඩිත ජෝර්ජ් රත්නායක ඇතුළු වමේ ක්‍රියාකාරීන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කිරීමට සමත් කාලකන්නි මානසිකත්වයක් දේශප්‍රේමී ව්‍යාපාරයට ඔබ්බවා තිබුනේද එම වෛරී දේශපාලනය නිසාවෙනි.

ජවිපෙ පරීක්ෂණයට ලක්වෙයි

ජවිපෙ ආරම්භයේ සිට 1994 දක්වා විවෘත දේශපාලනයේ නිරතව සිටියේ ඉතා ටික කාලයකි. 78 – 83 දක්වා කාළය තුළදී විජේවීර ජනාධිපතිවරණය තරඟ කළ අතර ජේ ආර්ගේ සංවර්ධන සභා ඡන්දයට ජවිපෙ ඉදිරිපත් විය. 1989 දී විජේවීර ඝාතනය කිරීමෙන් අනතුරුව 1994 දී ජවිෙප ආරිය බුලේගොඩගේ ප‍්‍රගතිශිලී පෙරමුණෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වීම සමඟ ජවිපෙ නැවත නැවත තියුණු පරික්ෂණයන්ට භාජනය විය. පළමුව චන්ද්‍රිකා ලවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ගැනීම සඳහා ඇය ජනාධිපතිධුරයට පත්කිරීමේ ලාමක ක්‍රියාව (මෙය 1952 සමසමාජය බණ්ඩාරනායකට අනුකූලතා සහයෝගය දැක්වීමේ ආරම්භක ක්‍රියාව බඳු එකක් විය) සමඟ ධනපති හවුල් දේශපාලනයට ක්‍රමයෙන් ඇදී යන්නට වුහ. මෙය චන්ද්‍රිකා 2004 දී ගොඩනගාගත් පරිවාස ආණ්ඩුව නමින් වු ධනපති හවුලෙන් නොනැවතී 2005 දී මහින්ද රාජපක්ෂ සමඟ ගිවිසුම් සහගත ධනපති හවුලක් දක්වා ජවිපෙය ගමන් කළේය. එය බිඳවැටුණද ජවිපෙ පංති සහයෝගීතාවාදී දේශපාලන ගමන අවසන් වුයේ නැත. 2010 දී හිටපු යුද්ධ හමුදාපති සරත් ෆොන්සේකා ජනාධිපති කරවීම සඳහා කර ගැසීය. 

නසසපයේ විනාශය

එතරම් දීර්ඝව සාකච්ජා කළයුතු නැතත් වර්තමාන වමේ ව්‍යාපාරය ගැන සලකාබැලීමේදී වික්‍රමබාහු නායකත්වය දෙන නව සමසමාජ පක්ෂය ගැන සඳහනක් කළ යුතුව ඇත. නසසපය බිහිවුයේ ලංකා සමසමාජ පක්ෂය තුළ කම්කරු පංති ඉදිරි ගමන සඳහා පැවැති ඉතා දීර්ඝ න්‍යායාත්මක විවාදයක ප්‍රතිපලයක් වශයෙනි. පැරණි වමේ නායකයින්ගේ ඉතිහාසය හෝ පවුල් පදනම් ගැන කෙරෙන සාකච්ජාවකට වඩා ජාත්‍යන්තර පරිමාන සමාජවාදී ව්‍යාපාරයේ අත්දැකීම් මත සමසමාජ පක්ෂය අනුගමනය කරන පංති සහයෝගීතාවාදී දේශපාලනය ගැන කෙරුණ පොහොසත් විවාදයක් විය. ඒ හරහා සමසමාජයේ ප්‍රාදේශීය නායකයින් පමණක් නොව කම්කරු පංති ව්‍යාපාරයේ අතිවිශාල පිරිසක් මතවාදීමය ලෙස විප්ලවවාදී ක්‍රියාමාර්ගය වෙත දිනා ගැනීමට වාම සමසමාජ කණ්ඩායමට හැකි විය. නව සමසමාජය නමින් මේ වන විට පෙනී සිටින සංවිධානයේ මුලික අත්තිවාරම වුයේ කම්කරු පංති නායත්වයෙන් යුත් බොල්ෂේවික් පන්නයේ ජාත්‍යන්තරවාදයත් දේශීය වශයෙන් ධනවාදයට ධනපති හවුල් සභාග දේශපාලනයට හා ජාතිවාදයට විරුද්ධව විප්ලවාදී වැඩ පිළිවෙලක් වෙනුවෙන් නිර්ධන පංති බලවේග සංවිධානය කිරීමය.

නිවැරදි විප්ලවවාදී සංවිධානයක් ලෙස පදනම් දමාගත් නසසපයේ බිඳවැටම හා ඊට සමගාමීව ඇරඹුණ දේශපාලන පිරිහීම 1980 වැඩ වර්ජනය හා ඉතා සමීපව බැඳ ඇත. 1980 -89 කාළය තුළ නසසප සුළුතර කණ්ඩායම ලෙසින් මහජන පක්ෂයේ පංති ස්වභාවය (වික්‍රමබාහු විජය කුමාරතුංග හැදින්වුයේ කම්කරු නායකයෙකු ලෙසිනි) ඉන්දු – ලංකා ගිවිසුම හා නූතන අධිරාජ්‍යවාදයේ ස්වභාවය ගැන දීර්ඝ න්‍යායික සාකච්ජාවක අපි නියැලුණෙමු. මේ වන විට නව සමසමාජ නායකත්වය සමාජවාදී ව්‍යාපාරය ගොඩනැගීමේ ඉතිහාසයට පයින් ගසා ධනපති පංතියේ වලිගයක් බවට පත්ව ඇත. 1994 දී පමණ වමේ ව්‍යාපාරයෙන් පලාගිය වාසුදේව ධනපති අණ්ඩුවල කිහිලි කරුවෙකු ලෙස කරක් ගැසූ අතර මේ වන විට අන්ත ජාතිවාදී මඩ ගොහුරේ ගිලී ගමනක අවසානය සනිටුහන් කරමින් සිටී.

මෙම පසුබිම තුළ නූතන වමේ ව්‍යාපාරය ඉදිරියේ පවතින්නේ දැවැන්ත අභියෝගයකි. පැරණි වමේ නායකයින්ගේ පාවාදීම් වලින් අනතුරුව ගොඩනගන ලද අලුත් වම ලෙස කටයුතු කළ ජවිපෙ හා නසසපය නව ලිබරල් ධනේශ්වර දේශපාලනයට දණ්ඩ නමස්කාර කර යටත්වී හමාරය. වම කෙරෙහි අවධානයෙන් සිටින තරුණයින්ට මේ ගැන ඇත්තේ බරපතළ කළකිරීමක් හා ප්‍රශ්නාර්තයකි. මෙම සන්දර්භය තුළ නවක කම්කරුවන් හා තරුණයින් වම ගොඩනගා ගැනීම සඳහා අලුත් සාකච්ජාවකට ඇතුළත් විය යුතුය. ඒ සඳහා පැරණි වමේ ඉතිහාසයේ පාවාදීම්වල සිට අද සිදුකෙරෙමින් පවතින පාවාදීම් දක්වා ගැඹුරු හැදෑරිමක් කළ යුතුව ඇත.

[සිරිතුංග ජයසූරිය] 

මාතෘකා