අපි හිතන දේවල්ම වෙන්නේ නෑ - උතුර ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ

 ඡායාරූපය:

අපි හිතන දේවල්ම වෙන්නේ නෑ - උතුර ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ

මේ මොහොතේ ලංකාවේ ජනප්‍රියම ආණ්ඩුකාරවරයා වන්නේ ඔහුය. රෙජිනෝල්ඩ් කුරේ රටම හඳුනා ගන්නේ දේශපාලනඥයකු හැටියටය. යහපාලන ආණ්ඩු සමයේදී උතුරේ ආණ්ඩුකාරවර ධුරයට පත් කෙරුණු ඔහුට උතුරේ සිට මධ්‍යම පළාතට මාරුවීමක් ලැබිණි. නමුත්, රෙජිනෝල්ඩ් කුරේ යළි වහා උතුරට ආවේය. ඒ උතුරේ ජනතාව ඔහුම ඉල්ලා සිටි හෙයිනි.   

 

 

මහනුවරට මාරුවක් ලැබුණ ගමන් යළි උතුරට එන්න සිදු වුණා. ආණ්ඩුකාරතුමාට මේ ගැන දැනෙන්නෙ කොහොමද?


මම අවුරුදු දෙකක කාලයක් උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට කටයුතු කළා. එහිදී මම ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ ආකාරය ගැන උතුරේ මහජනයා ඉතා පැහැදුණා. ඒ වගේම ඔවුන් එය ඉතා කැමැත්තෙන් පිළිගත්තා. මහනුවරට මාරුව ලැබීමත් සමග උතුරු පළාතේ සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල මහාචාර්යවරු වගේම මහජනතාවත් ජනාධිපතිතුමා වෙත පෙත්සම්, ලිපි ඉදිරිපත් කර තිබුණා මාව නැවතත් උතුරට එවන ලෙස ඉල්ලා. ඉතින්, ජනතාව එසේ ක්‍රියා කර මට යළි උතුරට එන්න ලැබීම ගැන සතුටක් දැනෙනවා. 

 

ලංකාවේ කිසිම ආණ්ඩුකාරවරයෙකුට නොවුණ විදිහට රෙජිනෝල්ඩ් කුරේට පමණක් මේ වගේ ප්‍රතිචාරයක් ලැබුණේ ඇයි?


ඒ ගැන ජනතාවගෙන් අහන්න ඕන. මම මේ රටේ ජනතාව සාමයෙන් සංහිඳියාවෙන් දියුණු විදිහට කටයුතු කරනවා දකින්නට කැමතියි. මිනිසුන් එකිනෙකා මිත්‍රශීලීව ජීවත් වෙන්න සෑම විටම කැමතියි. සිංහල, දෙමළ, මුස්ලිම් කියා භේදයක් නැතිව එකට ජීවත් වෙන්න ඔවුන් කැමතියි. ආණ්ඩුකාර ධුරයේ සාමාන්‍යයෙන් පවතින, මහේශාක්‍ය ලීලාව, සාඩම්බර, සාටෝප ශෛලිය වෙනුවට මහජනතාව එක්ක ගැවසෙමින් කටයුතු කරන මගෙන් පෙනෙන චාම් බවට ජනතාව කැමති වෙන්න ඇති කියා මම හිතනවා. 

උතුරෙන් මාරු වෙලා දකුණට ආවම ලැබුණ ප්‍රතිචාර කොහොමද? 


බදාදා මගේ මහජන දිනය. මම මීට පෙර වැඩ භාර ගත් දවසේ ඉඳන් මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, යාපනය, වවුනියාව, පේදුරුතුඩුව කියන උතුරේ සියලු දිස්ත්‍රික්කවල ජනතාව මාව මුණ ගැසෙන්න එනවා. අදත් එය එසේම වුණා. යළි ආවට පසුව පළවෙනි මහජන දිනයේදි ජනතාව තුන්සියයක් පමණ මා මුණ ගැසෙන්නට ආවා. ජනතාවගේ දුක කියන්න, මූණට පෞද්ගලිකව කතා කරන්නට තියෙන කැමැත්ත නිසා ඔවුන් එනවා. කුල භේද, ජාති භේද වගේ දේවල්වලට වඩා ඔවුන් තමන්ගේ ප්‍රශ්න ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. 


දියුණු යැයි කියන සමාජයක උතුරටත් ආවේණික කුල භේදවාදී අදහස්වලට එරෙහිවත් ඔබ කටයුතු කළා?


ඔව්. කුලභේදය කියන්නෙ කිසිදු වටිනාකමක් නැති දෙයක්. කුල භේදයෙන් හැම වෙලේම පීඩනයක් වෙන්නේ අහිංසක ජනතාවට. මම මෙය සමනය කිරීමට යොදා ගන්නේ බුදු දහම. ජාති, ආගම්, කුල භේදයකින් තොරව ජීවත් වෙන්න පළමුව කියා දුන්න දාර්ශනිකයා බුදුන් වහන්සේයි. ලෝකයේ ප්‍රථම සමාජවාදියා, පරිසරවාදියා වන්නේ බුදුන් වහන්සේයි. අනෙක් සියලු දර්ශන ආවේ ඉන් පසුවයි. බුදුන් වහන්සේගේ අනෙක් සියලු දර්ශන න්‍යායන් ද්විතීයයි. බුදු දහම අද්විතීයයි. බුදු දහම කියන්නෙ තාප්ප, ඝණ්ඨාර, කුළුණු නොවේ. ඒ නිසා බුදු දහම යොදා ගැනීම තමයි කුලවාදයට තියෙන හොඳම පිළියම. 

 

වසර දෙකකට වඩා රාජකාරි කර උතුරෙන් යන විට හඳුනා ගත් ප්‍රශ්න මොනවාද? 


රැකියා විරහිතභාවය උතුරු පළාතේ විශේෂයෙන් හඳුනා ගත් ප්‍රශ්නයක්. මේ පළාතේ කර්මාන්ත ඇති කිරීමට තිබෙන අවස්ථා ඉතා ප්‍රබලයි. නමුත්, රැකියා හිඟයට කර්මාන්ත හිඟය බෙහෙවින් බල පා තිබෙනවා. උතුරු පළාතේ යටිතල පහසුකම්, පාරවල්, විදුලිය, හිරු එළිය, සුළං, පශු පාලනය යන යන සම්පත් හා පහසුකම් තිබුණට ප්‍රතිඵලයක් නැහැ. කර්මාන්ත නැති වීම තමයි ලොකුම ගැටලුව. ධීවර, තල් නිෂ්පාදන, සංචාරක වගේ කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන ආරම්භ වෙලා නැහැ. මේ ප්‍රශ්න විසඳන්න උදව් වෙන්න ඕනෙ. 
උතුරේ අධ්‍යාපනය ප්‍රකෘතිමත් වේගෙන එනවා. අධ්‍යාපනයේ භෞතික පහසුකම්වලට වඩා ගුණාත්මකභාවය ඉතා වැදගත් වෙනවා.

 

අද ආණ්ඩුකාරවරයෙක් වෙන රෙජිනෝල්ඩ් කුරේ මීට කලින් දේශපාලඥයෙක්. මේ භූමිකා දෙකේ වෙනස්කම ඔබ මෙහෙයවා ගන්නේ කොහොමද? 


දේශපාලනය කියලා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය කියා සාමාජිකත්වය අරන් දේශපාලනය කිරීම නෙමෙයි සිදු විය යුත්තේ. මේ පක්ෂවල සාමාජික නොවන කෙනෙක් වුණත් දේශපාලනය කරනවා. දේශපාලනය නොකරන කෙනෙක් නැහැ. පාට, පක්ෂ මුල් කරගෙන කරන දේශපාලනයට වඩා මනුෂ්‍යත්වය මුල් කොට කරන දේශපාලනය තමයි වඩා වැදගත් වෙන්නේ. 

ඒත්, ඔබ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්!


ඔව්, මම තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු විදිහට කටයුතු කරනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයෙක්. මම ඒ භූමිකා තුළ මගේ දේශපාලනය කරනවා. නමුත්, මම පක්ෂයේ දරන වගකීමයි, ආණ්ඩුකාර තනතුරේ දරන වගකීමයි පටලවා ගන්නේ නැහැ. ජාතික වගකීම හා රට එක්සත් කිරීමේ වගකීමේදී මම එය පටලවා ගන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය ගැන පක්ෂයේ උප සභාපතිවරයා හැටියට කතා කළොත්? 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානයක් විය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් විය යුතුයි කියා හැමෝම කීවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් ප්‍රතිසංවිධානයක් විය යුතු බවයි මගේ අදහස. පක්ෂයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, වෙනස් වී හෝ වෙනත් වෙනස්කම් සිදු කිරීමෙන් ප්‍රතිසංවිධානයක් කිරීම නෙවෙයි මම කියන්නේ. පක්ෂයේ ඉදිරි දැක්මේ සිට ප්‍රතිසංවිධානයක් විය යුතුයි. මම මේ ගැන මධ්‍යම කාරක සභාවට යෝජනා කරනවා.

 

ඒත්, මෙහෙම කියන රෙජිනෝල්ඩ් කුරේට දේශපාලනය කරන කාලෙදි ලැබුණෙ තෙල් - බෙහෙත් ඇමතිකම්?


මිනිසුන්ට වැදගත්ම දේ තියෙන්නේ බරපතළ තනතුරු, පදක්කම්, පදවි තුළ නෙමේ. දේශපාලනයේදී සෑම කෙනෙකුගෙම වගකීම වෙන්නේ කාර්යක්ෂමව රාජකාරිය ඉටු කිරීමයි. මම මීට කලින් රටේ වග කිව යුතු ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් විශාල ගණනක කටයුතු කර තිබෙනවා. ඒ හැම විෂයකම වගකීම් මම හොඳින් ඉෂ්ට කළා. උතුරේ ආණ්ඩුකාර ධුරයට සමහරු කැමති නෑ. මම බොහොම කැමැත්තෙන් මේ තනතුරේ රැඳී සිටින්නේ. උතුරේ ආණ්ඩුකාර තනතුර ලැබීමත් මට ඉතා සතුටුදායක දෙයක්.

ජනතාවගේ ආදරය දිනාගෙන ලොකු පුටුවලට ගිය සමහරු වගේ රෙජිනෝල්ඩ් කුරේත් යළි දේශපාලන තනතුරකට තරඟ කරයිද?


අපි හැමෝම හිතන දේවල් නෙමෙයි සිද්ධ වෙන්නේ. මම කරල්ලියද්ද - තෙල්දෙණිය - මහනුවර ඉපදිලා, පාසල් 19ක ඉගෙන ගෙන, විශ්වවිද්‍යාලයේ අවුරුදු 8ක් ඉඳලා, මාතර - දෙණියාය ප්‍රදේශවල මන්ත්‍රීකම් දාලා, බස්නාහිර මහ ඇමති වුණා. ඒ වගේ ඉදිරි අනාගතයේදී විය යුතු දේ සිද්ධ වේවි. 

ආණ්ඩුකාරවර ධුරයේ ඉදිරියට කළ යුතු දේ ගැන අලුත් සැලසුම් තිබෙනවාද?


මේ රට දීර්ඝ ඉතිහාසයක් තියෙන, සංහිඳියාවෙන් පිරි, වාසනාවන්ත රටක්. ඒ වාසනාවන්තකම තියෙන්න නම් දේශපාලන න්‍යාය පත්‍ර තුළ සංහිඳියාවට ඉඩ තිබෙන්න ඕනෙ. මිනිසුන් සමගි වෙන්න කැමතියි. ඒ නිසා අතීතය දෙස නෙමේ, අනාගතය දිහා බලා රටේ චින්තනය ගොඩ නගා ගත යුතුයි. 


උතුර - දකුණ අතර වෙන ගනුදෙනු, යෑම් - ඊම් වේගවත් වෙන්න ඕන. රට එක්සත් කර ඉදිරියට යන්න නම් දේශනා, කතා නෙමේ, උතුර - දකුණ අතර ගමනට ගත වෙන පැය හය - හතක කාලය පැය තුනකටවත් සීමා කළ යුතුයි. එවිට උතුර - දකුණ අතර ජනතාවගේ යෑම් - ඊම් වැඩි වේවි.

මාතෘකා

ජනප්‍රිය ලිපි