විකෘති මැතිවරණ ක්‍රමවේද ඉදිරියට එපා

 ඡායාරූපය:

විකෘති මැතිවරණ ක්‍රමවේද ඉදිරියට එපා

වත්මන් පළාත් පාලන මැතිවරණ ක්‍රමය ඉතා යහපත් එකක් ලෙස වැඩි දෙනාගේ කතා බහට ලක්විය. පැවති අනුපාත ඡන්ද ක්‍රමය වෙනුවට නැවතත් කොට්ඨාසයට වගකියන නියෝජිතයෙකු තෝරා ගත හැකි බැවිනි. ඒ යහපත් කාර්යය සිදුවිය. එයින් අපේක්ෂා කළ අරමුණද බොහෝ දුරට ඉටුවිය. අපේක්ෂකයෙකුට සීමිත ප්‍රදේශයක ඉතා සාමකාමී ඡන්ද ව්‍යාපාරයක් කළ හැකි වීම හා එදා තිබුණ අඩදබර විශාල ප්‍රමාණයක් අඩුවීමත් නිසාවෙනි. අනෙක් කරුණ නම් කොට්ඨාසයට අදාළ පුද්ගලයා වෙනුවෙන් එක් ඡන්දයක් ප්‍රකාශ කිරීමෙන් කණ්ඩායම් අතර, මනාප පොරයක් ඇති නොවීමයි. එහෙත් මේ යහපත් ක්‍රමය ඉන් එහාට යාම විශාල ගැටලු රාශියක් ඇති කරවන්නට හේතු විය.
කොට්ඨාසයට නියෝජිතයකු පත්කළ පසු අතිරේක නියෝජිතයන් අවශ්‍ය වන්නේ ඇයි? මෙය හුදෙක් පක්ෂ දේශපාලන ව්‍යාපාර ශක්තිමත් කරන්නට එක් කරන ලද කොටසකි. එය ජනතාවට බරක් මෙන්ම රටටද මහත් බරකි. වෙනදා පත්කළ නියෝජිත සංඛ්‍යාව දෙගුණයක් වී ඇත. කොට්ඨාසයක වැඩ කරන්නට එතරම් නියෝජිතවරු සිටිය යුතුද? අනෙක් ගැටලුව කාන්තා නියෝජනය 25% දක්වා අනිවාර්ය වීමය. එයද තීන්දු කළ යුත්තේ ඡන්ද දායකයාය. පක්‍ෂයෙන් ඒ ඒ කොට්ඨාසවලට නම් කළ අපේක්ෂකයාගෙන් තෝරාගැනීමේ අයිතිය ඡන්ද දායකයාට පැවරී ඇත. එය කාන්තාවද පිරිමියාද යන්න ඡන්ද දායකයාට අදාළ නැත. 25% නියෝජනය සම්පුර්ණ කරන්නට සිදුවන්නේ පැරදුණ හෙවත් අඩු නියෝජිත සංඛ්‍යාවක් ලැබු කණ්ඩායමටය. එයද අසාර්ථක ක්‍රමයකි. එසේ නම් තෝරාගත් කොට්ඨාසවලට සෑම පක්‍ෂයකින්මත්, කණ්ඩායමකින්මත්, කාන්තාවන් පමණක් ඉදිරිපත් කළ යුතුය. එයද ඡන්ද දායකයාට කරන අසාධාරණයකි. අනෙක වර්තමාන දේශපාලනය ජරාජීර්ණ තත්වයට පත්ව ඇති බව වසර ගණනාවක සිට සාකච්ඡා වන්නකි. මුදලට, වරප්‍රසාදවලට පක්‍ෂ මාරු කිරීම, ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන වාතාවරණයක කාන්තාව දේශපාලනයට නොපැමිණීමටද එය හේතුවක් වී ඇත. ඇතැම් විට මුදලට වෙන්දේසි වන දේශපාලකයින් වැඩි පිරිසකගේ මේ ගනුදෙනුවල පිටුපසින් කාන්තාවන් සිටින බව අතීතයේ අසන්නට ලැබී ඇත. එයට හොඳම උදාහරණය මෙවර පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කළ නියෝජිතවරියක් රුපියල් ලක්‍ෂ දෙකකට තම මතය වෙනස් කළ බව ප්‍රකාශ වීමය. මේ අනුව කොතරම් යහපත් ආකාරයට කටයුතු කරන්නට අදහස් කළත් මේ ක්‍රමවේදය තුළ ගැහැණු පිරිමි බේදයෙන් තොරවම විවිධ දුෂණ වංචා අක්‍රමිකතාවලට ඇබ්බැහිවීම අරුමයක් නොවේ.
කොට්ඨාස ක්‍රමය යටතේ පත්වන නියෝජිතයන්ට අමතරව පත්වන අය සේවය කරන්නේ කාටද? කෙනෙක් පත් වු කොට්ඨාසයට ගොස් වැඩ කිරීම තවත් ගැටුම් ඇතිවීමට මුලික විය හැක. එහෙත් කොට්ඨාස නියෝජනය නොකරන පක්‍ෂවල නියෝජිතයන්ට පොදුවේ කොට්ඨාසවලට වැඩ කිරීමේ අවස්ථාවක් ලබාගත හැක. ඇතැම් විට, කොට්ඨාසයේ දිනන පුද්ගලයා ඡන්ද 800 ක් ලබාගෙන පරදින පුද්ගලයා 799 ලබාගත හැක. එම ඡන්ද ප්‍රමාණය නියෝජනය නොවීම ප්‍රජාතන්ත්‍රවාදයට එක්තරා පහරකි. එවැනි දුබලතා මඟහරවා ගැනීමට අවශ්‍ය නම් ජනතාවගේ මුදල්, කාලය නාස්ති කරන අතිරේක විශාල පිරිසක් පත්කිරීම වෙනුවට පරාජිත පක්‍ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණයට අනුව සීමිත නියෝජිත පිරිසක් තෝරාගත හැක. මෙය 60 - 40 නොව 10% ක් හෝ 15 අනුපාතයට වෙනස් කරගත හොත් මෙවැනි විකෘති තත්වයක් ඇති නොවනු ඇත. 60 - 40 තුළ අද සිදුවී ඇත්තේ දිනන නියෝජිතයන් 15 සිටින ආයතනයක අනුපාත ක්‍රමයට තවත් 10ක් බෝනස් වශයෙන් තවත් පිරිසකුත් පත්කිරීමයි. මෙවන් අවස්ථාවක ඡන්ද දායකයාගේ බලය ලබන කණ්ඩායමට නිවැරදි ජනතා වරම ක්‍රියාත්මක කිරීමට අතිරේක නියෝජිතයක් ගේ පිහිට පැතීමට සිදුවී ඇත. නිසි බලයක් නොලැබීම තුළ සභාව අස්ථාවර වන අතර, මුදලට නියෝජිතයන් වෙන්දේසි වීමද සිදුවිය හැක. අනෙක් දුර්වලතාව නම් සභාපති තේරීමේදී දෙදෙනෙකු සමාන ඡන්ද ලබාගත් පසු කුසපත් ඇද බලය ලබාදීමේ ක්‍රමයයි. මෙයද සාර්ථක ක්‍රමයක් නොවිය හැක. අවම වශයෙන් සමාන ඡන්ද ලබන විට කුසපත් ඇදීමෙන් පරාජය ලබන පුද්ගලයාට උප සභාපති පදවිය හෝ ලැබිය හැකි නම් වඩාත් සාර්ථක නියෝජනයක් විය හැක.
මෙම ක්‍රමය ඡන්ද ක්‍රමය විශාල විකෘතියකි. මෙවැනි ක්‍රමවේදයකින් ජනතාවට අත්වන යහපතක් නැත. අද කිසිදු පදනමක් නැතිව පළාත් පාලන නියෝජිතයන් 8000ක් පමණ නඩත්තු කළ යුතුය. ණය උගුලක හිරවී ඇතැයි නිතර කතාකරන අතර, මෙවැනි බරක් උසුලාගෙන යාම නිෂ්ඵල ක්‍රියාවකි. දැනට තිබෙන පළාත් පාලන ආයතනවලට ගොඩනැගිලි / කාර්යාල උපකරණ / ගෘහ භාණ්ඩ අලුතින් එක් කළ යුතුය. දීමනා සඳහා විශාල පිරිවැයක් දැරිය යුතුය. ජනතාව දෛනික පරිභෝජන වියදම් පියවා ගැනීමට නොහැකිව දුක්විඳින යුගයක මෙවැනි සුදු අලි නඩත්තු කිරීම විහිලුවට කරුණකි.
ඉදිරි පළාත් සභාවලටද මේ ක්‍රමය 50 - 50 ලෙස ගෙන ඒමට යෝජනා කර ඇත. මේ සියල්ල රටට බරක් වී ඇති යුගයක හැකි නම් දැනට සිටින නියෝජිත සංඛ්‍යාව අඩු කිරීම මිස වැඩි කිරීම නිෂ්ඵල කරුණකි. කෙසේ වෙතත් මෙවැනි විකෘති තත්ත්වයක් ඉදිරි මහ මැතිවරණයකදී අදාළ කරගත යුතු නැත. දැනට සිටින මන්ත්‍රීවරුන් 225 සංඛ්‍යාව වැඩි නොකර පෙර පැවති මැතිවරණ කොට්ඨාස 160 සඳහා කොට්ඨාස මට්ටමින් මන්ත්‍රීවරුන් තෝරාගෙන ඉතිරි 65 ඒ ඒ පක්‍ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශත අනුව වැඩක් කළහැකි උගත් බුද්ධිමත් පිරිමි හෝ කාන්තා නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කර ගත හැකි ක්‍රමයක් යෝජනා කිරීමට උගතුන්ට බුද්ධිය පහළ වේවායි සටහන් කරමි.
පළාත් පාලන මැතිවරණය ගැටුම්වලින් තොරව පවත්වා ගෙන යාමට හැකිවුවත් පළාත් පාලන ආයතන සභාපති / උපසභාපති සහ ලැයිස්තුවේ නියෝජිතවරුන් පත්කිරීමේදී ගල් මුල් ප්‍රහාර, මැර ප්‍රහාර එල්ල කරගත් ආකාරය දක්නට ලැබුණි. මේ සියලු දෙනා මෙතරම් ඇනකොටාගෙන තම දේපල හානි කරගෙන ජීවිත පූජාවෙන් ජනතා සේවයට දක්වන කැමැත්ත අගය කළ යුතුය. එහෙත් මේ දක්වා පැමිණි බොහෝ දෙනෙක් ඒ යුතුකම ඉටුකිරීමේදී ක්‍රියාත්මක වී ඇති ආකාරය නම් කණගාටුදායකය. රටේ ජන සංඛ්‍යාවත් රටේ භූමි ප්‍රමාණයක් ගැන බලන විට අප රටට සාපේක්ෂව අනෙකුත්  දියුණු රටවල මහජන නියෝජිත සංඛ්‍යාව සීමාසහිතය. මේ ආයතන නඩත්තු කළ යුත්තේ රටටත් ජනතාවටත් බරක් නොවන අයුරිනි. දියුණු රටවල තත්වය එසේය.
මැතිවරණ කොමිසම මෙම මැතිවරණය සාධාරණව සහ කාර්යක්‍ෂමව පවත්වන්නට විශාල මෙහෙවරක් ඉටුකිරිම අගය කළ යුතුය. එසේම මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන වන ෆැපරල් සහ කැෆේ වැනි සංවිධාන  ඉටුකළ මෙහෙවරද අගය කළ යුතුය. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සෘජුව තීරණ ගනිමින් මැතිවරණය සාමකාමීව සාධාරණව පවත්වන්නට කටයුතු කළ බව දැකගතිමි. එහෙත් ක්‍රමවේදයේ පවතින දුර්වලතා මඟහරවා රටට ගැලපෙන ක්‍රමවේදයක් සකස් කිරීමේ වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකටය. ඉදිරියේ පවත්වන කවර මැතිවරණයකදී වුවත්, තම තමන්ගේ පක්‍ෂවලට ලැබෙන ප්‍රතිඵල හෝ නියෝජිත සංඛ්‍යාව දෙස නොබලා රටට බරක් නොවන පරිදි මහජන නියෝජිතයන් තෝරාගත හැකි යහපත් මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා කටයුතු යෙදීම, සිදුවන දේශපාලන පරිහානිය අවම කරගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.

මාතෘකා