මැයි පළමුවැනිදා සිට අපි අලුත් විදිහකට වැඩ කරනවා : අකිල විරාජ් කාරියවසම්

 ඡායාරූපය:

මැයි පළමුවැනිදා සිට අපි අලුත් විදිහකට වැඩ කරනවා : අකිල විරාජ් කාරියවසම්

පසුගිය වකවානුවේ දේශපාලන කරළියේ ප්‍රධාන මාතෘකාව වූ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ විශ්වාසභංගයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මන්ත්‍රීවරුන් වෙත දැනුම් දුන්නේය. විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් පසු පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවෙදි අගමැතිවරයා එක්සත් ජතික පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කරන බව ප්‍රකාශ කර සිටියේ ය. එම නිසා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සහ පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව විමසීමට එහි නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමඟ කාලීන දේශපාලන සංවාදයක් කළෙමු.   

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට ඉඩදීලා පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් ඇමතිතුමා පසුගියදා ඉල්ලා අස් වෙනවා. ඒ තනතුර ඔබට ලැබෙයි ද?

ඒක දන්නෙ නැහැ මම. ඒක තීරණය කරන්නේ පක්ෂයනේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් මට දෙන්න බැහැ. ලැබුණොත් භාරගන්නවා.   

ඊයේ සහ පෙරේදා යන දිනයන්වලදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයට අදාළ වැදගත් තීන්දු තීරණ ගන්නවා කිව්වා. ඒ තීරණයන් ගත්තා ද?

ඔව්. පෙරේදා (05) දිනය පුරා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධීකාරී මණ්ඩලය රැස්වෙලා මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවෙදි තීරණයක් ගත්තා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට රහස් ඡන්දයක් මඟින් ප්‍රතිසංවිධාන කමිටුවක් පත් කරගන්න. ඒ අනුව රහස් ඡන්දයක් මඟින් දෙළොස්දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත් වුණා. ඒ දොළොස්දෙනාගේ නිර්දේශ අනුව තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු වෙන්නෙ. එහිදී බහුතරයේ තීරණය වුණේ පක්ෂ නායකත්වය වෙනස් වෙන්නෙ නැහැ කියලා. නායකත්වය හැරුණුකොට අනෙකුත් තනතුරු ප්‍රතිසංවිධානය වෙයි.  

ඒ රහස් ඡන්දයෙන් පත් වුණු ප්‍රතිසංවිධාන කමිටුවේ දොළොස්දෙනා කවුද ?

මම, රංජිත් මද්දුම බණ්ඩාර, නවීන් දිසානායක, අජිත් පී. පෙරේරා, මංගල සමරවීර, රුවන් විජේවර්ධන, ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර, ජේ. සී අලවතුවල, හරීන් ප්‍රනාන්දු යන මැති ඇමතිවරුන් පත් වුණා. ඒවගේම නිල බලයෙන් පත්වෙලා ඉන්නවා එක්සත් ජාතික පක්ෂෙ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමාදාස සහ උපනායක රවී කරුණානායක.   

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා කියපු කතාව මේ වතාවෙත් සුරංගනා කතාවක් වෙයි ද?

නැහැ. මේ වතාවෙදි ස්ථීරවම පක්ෂය ප්‍රතිසංවිධානය වෙනවා. සුරංගනා කතාවක් නම් කමිටු පත් කරලා මේ වැඩකටයුතු කඩිනම් වෙන්නෙ නැහැනෙ. විශේෂයෙන් මේකෙදි තරුණ පිරිසට වගකීම් ලැබේවි.   

මේ ප්‍රතිසංවිධාන කටයුතු වෙන්නෙ කවදා ද?

ඉතාම ඉක්මණින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුවෙයි. අප්‍රේල් 30 වෙනිදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයක් පත් කරයි. ඒකට හේතුව තමයි පක්ෂයේ තනතුරුවල ඉන්න නිලධාරීන් අප්‍රේල් 30 වෙනිදායින් අයින් වෙන්න ඕනේ. ඒ නිසා මැයි මාසේ ඉඳන් අලුත් නිලධාරී මණ්ඩලයක් පත් වෙයි.   

ප්‍රතිසංවිධානය කටයුතුවලදි එක්සත් ජාතික පක්ෂයේ සියලුම තනතුරු වෙනස් වෙනවා ද?

ඒ සම්බන්ධයෙන් මේ වන විට අපි සාකච්ඡා කරමින් පවතිනවා. පක්ෂ නායකත්වය හැර අනෙකුත් සියලුම තනතුරු වෙනස් වෙයි. විශේෂයෙන් ප්‍රධාන තනතුරුවල වෙනසක් සිදුවෙයි.   

විශ්වාසභංගයෙන් පස්සෙ යහපාලන ආණ්ඩුවට මොකද වෙන්නෙ?

යහපාලන ආණ්ඩුවට කිසිම දෙයක් වෙන්නෙ නැහැ. දැන් අපිට අපේ අඩුපාඩු හදාගෙන ශක්තිමත්ව මේ ගමන තවදුරටත් ඉදිරියට යන්න පුළුවන්. එකට ඉඳලා කකුලෙන් ඇදලා අපිට බාධා කරපු අයව අපි මේ විශ්වාසභංගයෙන් හඳුනාගත්තා. දැන් අපිට මේ ගමන වඩා සාර්ථකව යන්න පුළුවන්.   

කැබිනට් සංශෝධනයක් ඉදිරියේදි සිදු වෙනවාද?

ඔව්. කැබිනට් සංශෝධනයක් සිදුවෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය 7 වෙනිදා රාත්‍රියෙදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාවෙදි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සමඟ ඉදිරියේදී කටයුතු කළ නොහැකියි කියලා තීරණය කළා. ඔවුන් ඉවත් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. අලුත් අවුරුද්දට කලින් ඉතා ඉක්මණින් කැබිනට් සංශොධනයක් සිදුවෙයි.   

ඒ කියන්නේ ඉදිරියේදී විශ්වසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වෙයි ද?

ඔව්. ලැජ්ජාවක් තියෙනවා නම් ඔවුන් ඉල්ලා අස්වෙන්න ඕනේ. අගමැති එලවන්න කියල විශ්වාසභංගයට ඡන්දය දීලා අගමැතිගේ ප්‍රධානත්වයෙන් තියෙන කැබිනට් මණ්ඩලයේ ඉන්න බැහැනෙ. ඔවුන්ට එහෙම කැබිනට් මණ්ඩලයේ රැඳී සිටින්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔවුන් වහාම ඉල්ලා අස් විය යුතුයි. ඒ සියල්ලන්ම මේ ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධාවක් වුණු අය.   

ඒ අය ඉල්ලා අස් නොවුණොත් ඔවුන් සමඟ එකට වැඩ කරනවා ද?

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ගොඩක් අයගේ මතය වුණේ මේ අය එක්ක එකට වැඩ කරන්නේ නැහැ කියලා. අපිත් කැමති නැහැ එකට ඉඳලා අනිත් එකාගේ කකුලෙන් අදින ජාතියෙ අය එක්ක මින් පස්සෙ එකට වැඩ කරන්න.  

විශ්වාසභංගයට ඡන්දය නොදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එක්ක මේ හවුල් ආණ්ඩුව දිගටම යනවා ද?

ඔව්. ඔවුන් ඡන්දය දීම ප්‍රතික්ෂේප කළා කියන්නේ අගමැතිතුමාට පක්ෂයි කියන එකටනේ. ඒ අය මේ ආණ්ඩුවේ ඉදිරි ගමනට සහය පළ කරන අය. ඉතින් අපි ඔවුන් එක්ක එකට එක ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.   

මේ විශ්වාසභංගයේදී ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔබට මොකද හිතන්නේ?

ජනාධිපතිතුමා කලින්ම කියලා තිබුණා මේකෙදි එයා ස්වාධීනව කටයුතු කරනවා කියලා. විශ්වාසභංගය සම්බන්ධයෙන් එතුමා විශේෂ අදහසක් ප්‍රකාශය කළෙත් නෑනෙ. එතුමා එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ඡන්දය දීමෙන් වැලකී සිටියා. තවත් කොටසක් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිතා කළා.   

මේ විශ්වාසභංගයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ගමන් මඟ කොයි වගේ වෙයි ද?

ගොඩක් අය බලන් හිටියා විශ්වාසභංගයත් එක්ක එක්සත් ජාතික පක්ෂය විනාශ වෙයි කියලා. ඒත් මේක එහෙම විනාශ නොවෙන කාටවත් විනාශ කරන්න බැරි පක්ෂයක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය කියන්නේ අලුත් වෙවී යන පක්ෂයක්. රටේ බහුතරයක් නායකයො බිහි කළ පක්ෂයක්. ඊළඟ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයත් සැලකිය යුතු ජයග්‍රහණයක් අපි ලබනවා.   

රනිල් වික්‍රමසිංහ තව කොච්චර කාලයක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ඉඳිවි ද?

පක්ෂයේ නීතිය අනුව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පක්ෂ නායකත්වයේ සිටිය යුතුයි. ඉතින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ සිටින තාක් ඔහු තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන්න ඕනේ.   

රනිල් වික්‍රමසිංහගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසුයි කියලා ඔබ යෝජනා කරන කෙනෙක් ඉන්නවා ද?

නැහැ. පක්ෂයක නායකයෙක් ඉන්නකොට තව කෙනෙක් සුදුසුයි කියලා යෝජනා කරන්න බැහැ. පක්ෂයකට ඉන්න ඕනේ එක නායකයයි. ඔහුගෙන් පසුව එය පක්ෂයේ වෙනත් ජ්‍යේෂ්ඨයෙක්ට ලැබේවි.   

එක්සත් ජාතික පක්ෂ නායකත්වය ගැන පාක්ෂිකයන්ගේ අදහස් හා යෝජනා අරගෙන තියෙනවා ද?

නැහැ. පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම පත් වෙන්නෙ. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයේ මතය තමයි රනිල් වික්‍රමසිංහ දිගටම නායකත්වයේ සිටිය යුතුයි කියන එක. එතනින් එහාට පාක්ෂිකයන්ගෙන් අහන්න දෙයක් නැහැ.   

පසුගිය කාලේ පුරාම එක්සත් ජාතික පක්ෂය කඳවුරුවලට බෙදිලා මාර්ග ද්විත්වයක ගමන් කරන්න සූදානම් වුණා. නමුත් මේ විශ්වාසභංගයෙන් පසුව එය වෙනස් වුණා නේද?

ඔව්. මේ විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂයට වාසියක් වුණේ එන්න එතනදි තමයි. හැම පක්ෂයකට වගේ යම් යම් අදහස් සහ මත ගැටුම් එක්සත් ජාතික පක්ෂය තුළත් තිබුණා. නමුත් ඒවා නිරාකරණය කරගනිමින් අපි දිගු ගමනක් ඉදිරියට යනවා.