වැරදුනු කුරුමානම

 ඡායාරූපය:

වැරදුනු කුරුමානම

දේශපාලනය යනු තත්පරයෙන් තත්පරය වෙනස් වෙන සුලු ගතික දෙයකි. එහි ගති සොභාව මනාකොට ඉස්මතු වූ දින කිහිපයක් ලෙස මේ සතිය හැඳින්විය හැකිය.   

සතිය ආරම්භ වූවාට වඩා වෙනස් ස්වරූපයකින් අවසන් විය. මේ සතිය ආරම්භ වූයේ තීරණාත්මක මේ වසරේ දේශපාලනයේ උණුසුම්ම සතිය බවට පිඹුරුපත් සැකසෙමිනි. නිදහසින් පසු මෙරට ඉතිහාසය තුළ අගමැතිවරයෙකුට එරෙහිව ගෙන ආ තුන්වන විශ්වාසභංගයට අගමැතිවරයා මුහුණදිය යුතුව තිබිණ. දිනෙන් දින ආන්දෝලනාත්මක පුවත් මවමින් තිබූ  විශ්වාසභංගය 4වෙනිදා පාර්ලිමේන්තුවට ගෙන ආවේය.

ඉකුත් මාර්තු 24 ‍වෙනිදාට ස්වකීය ජීවිතයේ 68 වන ඡන්ම දිනය අගමැතිවරයා විසින් සමරනු ලැබුවේ තමාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගය කට උඩ තිබියදීය.දශක හයක් ඉක්ම වූ සාමාන්‍ය ජීවිතයේත්, දශක 4ක් ඉක්මවූ දේශපාලන ජීවිතයේත් හෙතෙම අනන්ත අප්‍රමාණ අභියෝග සහ දුෂ්කරතාවලට මුහුණ දී ඇතිවාට සැක නැත. වෙසෙසින්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගත් දා සිටම ඔහුට පිටුපසින් සේම ඉදිරියෙන්ද වූයේ අනේකවිද බාධකය. අනන්ත නින්දා, කර්කෂ වාග් ප්‍රහාර, කෙළවරක් නොවන අපහාස ඔහුට එල්ල නොවූ දවසක් නැති තරම්ය. මාධ්‍ය විසින් අනේකවර 'ගුටි කෑ' දේශපාලනඥයෙක් වෙත්නම් ඒ සියලු දෙනා රනිල් වික්‍රමසිංහ තරම් ප්‍රහාරයට ලක්ව නැත. හැබැයි නිදහස් මාධ්‍ය උදෙසා සක්‍රීයම කාර්යභාරය ඉටු කළේ ඔහුය.

මෙරට සමස්ත  ජනගහනයෙන් අඩකට වඩා සිටිනුයේ කාන්තාවන්ය. එහෙත් සාතිශය බහුතරයක් කාන්තාවන්ගේ ආකර්ශණීය දේශපාලනඥයා බොහෝ විට රනිල් නොවේය. එහෙත් මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය උදෙසා වඩාත් සක්‍රීයම වැඩ කොටස ප්‍රායෝගිකවම ඉටු කළේ රනිල් ය. රාජ්‍ය සේවය කප්පාදු කරනවායැයි විරුද්ධවාදීන් චෝදනා කරන්නේ රනිල්ටය. නමුත්, ගුරු විද්‍යාල, විද්‍යාපීඨ පවා ආරම්භ කරමින් රාජ්‍ය සේවයට ප්‍රශස්ථ ගුරුවරු දායක කරන්නට වැඩපිළිවෙළ සකස් කළේය, යහපාලන ආණ්ඩුව බලයට ආ විගස රුපියල් 10000කින් වැටුප් වැඩි කළේත් ඔහුය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති යටතේ කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් වුණු රනිල් ශ්‍රී ලාංකීය කර්මාන්ත නගාසිටුවීම උදෙසා කළ මෙහෙය අතිමහත්ය. කර්මාන්ත ඇමති පදවියට අමතරව ඔහු 1989 පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සභානායකවරයා මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයාද විය. බියගම විශේෂ කර්මාන්ත පුරය ආරම්භ කළ ඔහු එම ප්‍රදේශයේ පැවැති ප්‍රශ්න ගණනාවකටම පිළිතුරු සැපයීය. රට දෙකඩ කරන බවට විරුද්ධවාදීන්ගෙන් චෝදනා එල්ල වූයේ ඔහුටය. නමුත් කරුණා පාර්ශවය දෙකඩ කොට කොටි සංවිධානයට උපක්‍රමශීලී 'නිමාව' උදා කළේ ඔහුය. 'රනිල්ට බෑ' යනුවෙන් මතයක් සමාජගත කළේ එවක පොදුපෙරමුණු ආණ්ඩුවය. එහෙම කළේ රනිල්ට පුළුවන් බව දන්න නිසායැයි මංගල සමරවීර අමාත්‍යවරයාම කීවේය. සිවු වතාවක් අගමැතිවරයෙක් ලෙස පත් වූ කිසිවෙක් මෙරට මේවන විට ජීවත්ව නැත. සිටින එකම තැනැත්තා රනිල් වික්‍රමසිංහය.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය විපක්ෂයේ අළු ගසා දැමීමකට ඉවහල් වෙන ප්‍රතිඵලයක් බවට පත් විණි. බලයේ සිටි ආණ්ඩුවක් පළාත් සභා මැතිවරණයක් පැරදුණු ඉතිහාසයක් තිබුණේ නැත. යහපාලන ආණ්ඩුවේ පාර්ශවකරුවන් දෙපලම පූර්ව නිගමනවල එල්බගෙන අතීත උදාහරණ මත යැපෙමින්, 'සිහින'දකිමින් සිටියදී 'පොහොට්ටුව' පළාත් පාලන බලය අල්වා ගත්හ. මේ අනපේක්ෂිත පරාජයත් සමඟ දේශපාලන පොළව සසල වීම පටන් ගත්තේය. වඩාත් බරපතල අර්බුදය ගොඩ නැඟුනේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ නියෝජිතයින්ටය. තමන්ගේ පලුවක් ගලවාගෙන ගොස් පිහිට වූ 'ආධුනික පක්ෂය' පළාත් සභා මැතිවරණයේ ජය ලබන විට ඔවුන් සසල වීම අරුමයක් නොවේ.

'යහපාලන' ආණ්ඩුව පත් කළේ හැට දෙලක්ෂයක් ජනතාවය. ඔවුන්ගේ අපේක්ෂා ඉටු නොකළ බවට දසතින් චෝදනා නැගෙමින් තිබිණ. එය තවත් උග්‍ර වූයේ පළාත් පාලන ප්‍රතිඵලය සමඟය. අගමැතිවරයාට එරෙහිව එන විශ්වාසභංගයේදී 'දත් ඇඳි මැඳ දිව මෙන්' ඔවුහූ අවධානම් අඩියට පත් වූහ. තමන් සතු ජන බලය දියාරුව ගොස් තිබීමත්, ඒ බලය සන්තක කරගත් පිරිස වෙත කිට්ටුවීමේ අවකාශය ලැබීමත් යන හේතු මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය 'වැට උඩට'ගොඩ වූහ. එනයින් ගත් කළ ශ්‍රීලනිප පාර්ශවය බරපතල දෙගිඩියාවකට පත් වූහ. විශ්වාසභංග යෝජනාව කතා නායකවරයාට භාර දෙන්නට ගියේ හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිසක් ය. දෙපැත්තේ දෙපා තියාගෙන සිටි ශ්‍රීලනිප යට එය උද්දාමයට කරුණක් විය. ඔවුන් සිතුවේ 'වැඩේට ලොක්කත් බැහැලා' කියලා ය. ගොරවන තරමට වහින්නේ නැතැයි කියමනක් තිබේ. එහෙත් ශ්‍රීලනිපයේ සමහරු ඒක අවබෝධ කරගත්තේ නැත. ඔවුන් සිතුවේ අනෝරා වැහි සූදානම් කියලා ය.

ඒ අතරේ අනෙක් පැත්තෙන් ඔවුන් මංමුලා වූයේ ජනපති අගමැති අතර 'විරසකයක්' පවතින බවට වූ ආරංචි නිසාය. පළාත් පාලන මැතිවරණයේදී සිදු වූ වාග් ප්‍රහාර ඊට සමීපතම හේතු වූ අතර 'ඒකාබද්ධයේ ඉන්න සියලු දෙනාත් පැමිණ එකට හිටගන්නවා නම් හෙට වුණත් ආණ්ඩුවක් හදනවා' කියා ජනපති කළ ප්‍රකාශය 'විරසකය' සම්බන්ධ සිතුවිලි තවතවත් වර්ධනය පිණිස හේතු විය.

කෙසේ වෙතත්, පොහොට්ටුව මේ විශ්වාසභංගය ගෙන ආවේ ඉලක්කගත එක් අරමුණක් වෙනුවෙන් පමණක් නොවේ. එය අරමුණු කිහිපයක් පෙරටු කරගත් වැඩ පිළිවෙලක පළමු වැන්න ය. මහින්දවාදීන් ඇදහිල්ලක් තරමට විශ්වාස කරනුයේ 'මහින්දගෙන් තොර ලොවක් නැත' කියලාය. ඔවුහූ ස්වකීය වන්දනීය, පූජනීය සේම කොන්දේසි විරහිත පක්ෂපාතීත්වය 'මහින්ද වෙනුවෙන්' වෙන් කොට තිබේ. ඔවුනට අනුව ඔහු අනුහස් සහිත නායකයාය. ඔවුන් දකින්නේ ඔහු පෙන්වන ලෝකය ය. ඔවුන් විශ්වාස කරන්නේ ඔහුගේ වචන පරම සත්‍යය කියලාය. මේ 'ඔල්මාද සහගත' ආලෝලනය විසින් පොළඹවනු ලැබූ මන්ත්‍රීවරු සුළං හමන අත මහින්ද දෙස යැයි විශ්වාස කළහ. එකී උන්මාදය අවියක් කොට ගත් මහින්ද පාර්ශවය මේ විශ්වාසභංගය ගෙන ආහ. ඔවුන් සතුව ඉලක්ක කිහිපයක් විය. එකක් 'අරාජික රටක්' නිර්මාණය කිරීමය. වසර පහකට යහපාලන ආණ්ඩුව රට කරන බව ඔවුන් දනී. එනිසාම ඔවුනට අවැසි වූයේ 'අර්බූදය'නිර්මාණය කිරීමය. 19වැනි සංශෝධන ප්‍රකාරව ආණ්ඩුව සුරක්ෂිත බව දන්නා රාජපක්ෂලා මේ විශ්වාසභංගය හරහා අපේක්ෂා කළේ, එය ජයග්‍රහණය කොට මහ මැතිවරණයක් ඉල්ලා සිටීමය. එජාපය හීලෑ කිරීමත්, ජනාධිපතිවරයාගේ පිළේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරු ගලවා ගැනීමත්, ඔලුගෙඩි හුවමාරුවකින් බල තුලනය සසල කිරීමත්, අවසන ජනාධිපතිවරයාව දෝශාභියෝගයකින් ඉවත් කිරීමට වැනි බොහෝ න්‍යාය පත්‍ර මේ විශ්වාසභංගයට යටින් තිබිණි. හැබැයි විශ්වාසභංගය ගේන්නට තිබූ උනන්දුව එය ජයග්‍රහණය කරවීමට තිබුණේ නැත. යතාව දැන සිටි මහින්දලා 'අන්තිම මොහොතේ' කට්ටි පැන්නේය. මෑත පාර්ලිමේන්තුවේ කිසිම විටෙක මහින්ද තීරණාත්මක අවස්ථාවලදී ඡන්දය ප්‍රකාශකොට නැත.

අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගය එ‍ෙහම පිටින්ම චිත්‍රපටයක්ය. විවිධ විදිහේ නළුවෝ එහි විවිධාකාර චරිත නිරූපණය කළහ. මහින්ද එහි ප්‍රභල භූමිකාවක් නිරූපනය කළ අතර එජාපය පැත්තේද, ශ්‍රිලනිපය පැත්තේද, නෙක නළුවෝ මෙහි චරිත රඟපෑහ. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රනිල්ව පරාජය කරන්නේ 'ඡන්දය නොදමන ලෙස' කොටි සංවිධානය විසින් එහි ජනතාවට නියෝග කළ නිසාය. එවර රනිල් පරාජය වන්නේ 'කොටින්' සිදුකළ ක්‍රියාව නිසාය. ඉන් වසර 13ට පසු පාර්ලිමේන්තුවේදී රනිල් මහින්දව පරාජය කරන්නේත් දෙමළ පක්ෂවල සහය මතය. වෙනසකට තිබෙන්නේ මහින්දට උදවු කළේ ත්‍රස්තවාදී කණ්ඩායමක්ය. රනිල්ට මෙදා උදවු කළේ 'ප්‍රජාතන්ත්‍රවාදය' ගරු කරන දේශපාලන පක්ෂ එකතුවක්ය.

ආණ්ඩුවේ සංයුතිය දෙස බලා ගනං හැදූ බොහෝ දෙනා 'පොට වරද්දා ගත්තේය.' අගමැති පරාදයි… නරකම අවස්ථාවේ වැඩි ඡන්ද 07කින් හා හොදම අවස්ථාවේ වැඩි 58කින් විශ්වාභංගය සම්මතයි.. සූත්තරේ මෙන්න..'කියා ගම්මන්පිල ගනං හැදුවේය. කටමැත දෙඩවීම මොනතරම් බරපතල වීද යත් හෙතෙම මෙහෙමත් කීවේය. 'අගමැතිතුමාට දැන් තිබෙන්නේ විකල්ප දෙකයි. අප්‍රේල් 4 දා පැය 12ක් පුරා බැනුම් අහලා ඡන්දයෙන් පැරදිලා ගෙදර යනවාද, නැතිනම් දැන්ම ඉල්ලා අස්වෙලා නම්බු පිටින් ගෙදර යනවාද, කියන එක විතරයි. මෙම විකල්ප දෙකෙන් කුමණ විකල්පය තෝරාගන්නවාදෝ කියන එක ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම සතුයි' දේශපාලනික ළදරු පාසැල් දරුවෙක් පුරසාරම් දෙඩුවේ එහෙම ය.

කෙසේ වෙතත් දින දින ගෙවෙන විට විශ්වාසභංගය 'කොයි අතට' යාදෝ කියා වටහා ගන්නට බැරි විය. ඒ වනවිටත් මුස්ලිම් සහ දෙමළ පක්ෂ ආණ්ඩුව සමඟ හිටියේ කිසියම් අරෝවකය. එක් අතකින් මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාරව ලද නියෝජිතයින් ගැන සුළු පක්ෂවලට ප්‍රශ්න තිබිණි. අනෙක් අතට මහනුවර වැනි ප්‍රදේශවල මතු වූ ගැටුම් ගැන ප්‍රශ්න තිබිණි. තවත් පිරිසකට පොරොන්දු ඉටු නොකිරීම ගැන ප්‍රශ්න තිබිණි. අවස්ථාවාදීන් දිය බොරවෙන තුරු සිටියහ. කුමන්ත්‍රණකරුවන් තැන තැන රහස් ආරම්භ කළහ. ඒ අතර එ.ජා.පයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීන් සෑහෙන පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සහාය පළකරමින් ලිපියකට අත්සන් තබමින් 'ප්‍රතිප්‍රහාර' පටන් ගත්හ.

මේ අතර කිසිවෙකුට නිරීක්ෂණය කොට නිගමනයකට ආ නොහැකි හැසිරීමක් ප්‍රකට කළේ ජනාධිපතිවරයාය. ඔහු කිසි විටෙක ඔහුගේ ස්ථාවරය ප්‍රකට නොකළේය. එහෙත් අගමැතිවරයාගේ පාර්ශවය ගැන දේශපාලන විවේචනය නොනවත්වාම ඔහු වෙතින් එල්ල විය. බොහෝ දෙනා පොට පටලවා ගත්තේ එයිනි. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පිට පිට දෙදිනක් සාකච්ඡා සිදු විය. ඒ අතර මනෝ, හකීම් අගමැති වෙනුවෙන් සහය දෙන බව කීය. ඒ එක්කම සුමන්තිරන්ද සහය දෙන බව කීය. අවසන් වශයෙන් දෙමළ සන්ධානය අගමැතිවරයාට සහය දෙන්න තින්දු කළහ. ඒ වනවිටත් ශ්‍රීලනිපය වැට උඩය. සාකච්ඡා වට රැසක් පැවැත් වුවද තීන්දුවක් ගන්නට ඔවුන් අපොහොසත් වූහ. එ.ජා.පයේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ ප්‍රධානී චම්පික රණවක හා නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන යන මහත්වරු එ.ජා.ප නායකයාට සහාය දෙන බව කීය.

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය ගැන ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින්ට දෙපාරක් සිතන්න දෙයක් නැත කියා කීවේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තය. එහෙත් එහි මහලේකම්වරු දෙදෙනාම එවැනි ස්ථාවරයක නොසිටියහ. අවසන් වශයෙන් 4වෙනිදා රාත්‍රී විශ්වාසභංගය ඉදිරිපත් විය. පැය දොළහක වාද විවාදවලින් පසු අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාසභංගය පරාජය විය. 106ක සුළු බහුතරයක් හිමි අගමැතිවරයා ඡන්ද 121ක් ලබා ජය ගත්තේය. එහි විශේෂතා බොහොමයක් විය. පොහොට්ටුව ගෙනා විශ්වාසභංගය දිනවන්නට තීන්දු කළත් ඊට සහය දුන්නේ ශ්‍රීලනිපයේ 16ක් පමණි. 21ක් නොපැමිණියහ. විශ්වාසභංගයට පක්ෂ වෙන බව කියමින් සිටි රතන හිමිත් අවසන් මොහොතේ ඡන්දය නොදී සිටියහ. විශේෂිතම සිදුවීම වූයේ මාස කිහිපයකට පෙර අමාත්‍ය ධූරයෙන් නෙරපා සිටි විජේදාස රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහට සහය පල කර සිටීමය. මේ සියල්ල අතරේ අවධානයට ලක්වන ප්‍රධානම කාරණාව වන්නේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හැසිරීමය. ඔහු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සේම ඊට ඡන්දය දුන් ජනතාවටද 'කොකා' පෙන්නුවේය. එමතු නොව ආණ්ඩුවේ සිට ඔහුව විශ්වාසකොට යෝජනාවට පක්ෂ වූ නියෝජිතයින් 16දෙනාවද ඔහු විසින් පාවා දුන්නේය. එය වනාහී මහා පාවාදීමකි.

"මගේ පිටිපස්සේ ඉඳගෙන මාව පාවල දුන්නා" යැයි කියමිනි. සෝවියට් රුසියාවේ කුමන්ත්‍රණයට හසු වුණේ ගොර්බචොෆ්ය. මෙහේ මහින්දගේ කුමන්ත්‍රණයට හසු වුණේ පොහොට්ටුවේ අය සහ ශ්‍රීලංකා එකේ සමහරුය.

[ධර්මප්‍රිය පහලවත්ත]

මාතෘකා