අනේ... හිට්ලර් වෙන්නකෝ

 ඡායාරූපය:

අනේ... හිට්ලර් වෙන්නකෝ

'හිට්ලර් වෙලා හරි කමක් නෑ රට බේරා ගන්න'

එක්තරා හාමුදුරුනමක් ගෝඨාගෙන් ඉල්ලා සිටී.

ඒ කතාවත් එක්ක මතකය දුවන්නේ 2015 ජනවාරි 9 වෙනිදා පෙරවරුවටය. තමන් විසින්ම කැඳවාගත් 'පරාජයෙන්' පසු මැදමුලනට ගොස් එහි ජනෙල් කවුලුවක එල්ලී සිටි මහින්දගෙන් මිනිස්සු ඉල්ලුවේ 'ඇයි මරලා හරි ගත්තේ නැත්තේ' කියාය. ගමනක් යන්නට මිනිසෙකු නිවසින් එළියට බසින විට ඔහුගේ හිත හෙල්ලෙතැයි සිතා කිවිසුමක් හෝ නාරින මිනිසුන් සිටින රටක මේ තරම් සාහසික 'ආත්ම' බිහිවන්නේ කෙසේද? ඊටත් වඩා අරුමය වන්නේ සාතිශය අවිහිංසාවාදී දහමක් දෙසූ ශාස්තෲවරයෙකුගේ 'අනුගාමිකයින්' යැයි කියාගන්නා පිරිස් මෙහෙම කියන්නේ කොහොමදැයි කියාය.

‘කිසිවෙකුගේ බලා‍පොරොත්තු කිසි විටෙක බිඳ නොදමන්න. මන්ද එය ඔහුගේ එකම වස්තුව විය හැක.’ කියා හිට්ලර්ම පවසා ඇත. ඒ අර්ථයෙන් ගත් කල ගෝඨා හිතවාදී පිරිසගේ 'එකම වස්තුව'ගෝඨාය. ඉතිං, අප ඒ බලාපොරොත්තු බිඳ දමන්නට ඉක්මන් වන්නේ නැත.

එහෙත් හිට්ලර් පන්නයම ඕනෑ යැයි කියන පිරිස වෙනුවෙන් මෙහෙම දෙයක් කියන්නට තිබේ. ඒ 'ඔබ දන්නේ හිට්ලර් පමණක්ය. මිලිටරි පන්නය' ඊට වඩා යස රඟට ගෙනගිය අයෙක් ලොව සිටී. ඊළඟ අනුශාසනාවකදී 'උපමා කතාවට' ගන්නට ඔහු 'යස රඟට' ගැලපේ. ඔහු දෙවැනි ලියෝපෝල්ඩ්ය. මතක තබා ගන්න, ඔහු දෙවැනි ලියෝපෝල්ඩ්ය.!

1885 බර්ලින් සමුළුව සම්මත වීමෙන් මධ්‍යම අප්‍රිකාවේ ප්‍රාන්තයක්‌ වූ නිදහස්‌ කොංගෝ රාජ්‍යය, බෙල්ජියමේ දෙවැනි ලියෝපෝල්ඩ් රජු යටතට පවරා දෙනු ලැබීය. ඔහුගේ අවුරුදු 23ක (1885-1908) පාලන කාලය තුළ දරුවන් ද ගැහැනුන් ද ඇතුළු අප්‍රිකානුවන් මිලියන 10කට අධික සංඛ්‍යාවකට පහර දීමෙන්, අත්, පා හා ලිංගේන්ද්‍රියන් කපා දැමීමෙන් තිරිසන් සතුන්ටත් අන්ත ලෙස මරාදමන ලද්දේය. වැඩ කිරීමට බල කරමින් සිරකොට නිරාහාරව තබන ලද්දේය. ගම් පිටින් ගිනි තබා අළු කරන ලද්දේය.

සෑම කළු ජාතික ස්‌වදේශිකයකුම මේ මිනිසා හැඳින්වූයේ සමකයේ යක්‌ෂයා ලෙසය.

ගෝඨා ගේන්න යැයි කියන සමහරු වහල් චින්තනයේ ආනුභාවයට අතිශයින්ම කැමැතිය. එහෙම බැලුවත්, ලියෝපෝල්ඩ්ගේ ස්වභාවයට සියල්ල ගැලපේ. නියමිත දෛනික රබර් කෝටාව සැපයිය නොහැකි වූ විට දඬුවම මරණය වූ අතර වෙඩි තබා ඝාතනය කොට අත් කපාගෙන වුත් ඉදිරිපත් කරන ලෙසට රජය හමුදාවට අණ දී තිබිණි.

ඔහුගේ රෙජීමය පැවති කාලය තුළ පමණක් මිලියන පහළොවකට ආසන්න අප්‍රිකානුවන් පිරිසක් නිකරුණේ මරා දැමෙන අතර ඒවා ප්‍රකට නොවන්නේ, බෙල්ජියමේ අන් කිසිදු පාලකයෙකුට වඩා ලියෝපෝල්ඩ් විසින් රටට උපයා දෙන ලද අතිවිශාල මුදලය. සාහසික කෲර පාලනය විසින් මිනිසුන් මරවා වැඩ ගෙන ඔහු රට 'කුරිරු දියුණුවකට' පත් කළේය. ඉතිං මියගිය මිලියන ගණනකගේ මතක ඔහු තැනු අධිවේගී මාර්ග, විසිතුරු නගර අලංකරණ නිසා අමතක කොට දැමූහ.

එහෙත් ඒ සියලු ඉදිකිරීම් යටින් වූයේ, මිලියන ගණනක අහිංසකයින්ගේ සොහොන් පිටිය.

'හිට්ලර් වෙලා හරි කමක් නෑ රට හදන්න' කියන තක්කඩි ප්‍රකාශය අවම මානව ලැදියාවක් තියෙන මිනිසෙකුගේ මුවකින්වත් පිට වන්නේ නැත. ඒ ප්‍රකාශය 'මරලා හරි ගත්තේ නැත්තේ ඇයි?' කියන ප්‍රකාශයට වඩා කිහිප ගුණයකින් බිහිසුණුය. 'මරලා හරි ගන්න තිබ්බේ' කියා කීවේ පරාජයේ වියරුවෙන් ස්වකීය සිහින මාලිගාව සුණු විසුණු වූ වේදනාවෙන් මඩනා ලද 'ග්‍රාම්‍ය මිනිසෙක්'ය. 'හිට්ලර් වෙලා හරි රට බේරා ගන්න' එන්නේ ඊට වඩා ප්‍රශස්ථ යැයි සම්මත මුවකින්ය.

හිට්ලර් විසින් යුදෙව් වැසියන් හැට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබීම, කාම්බෝජයේ පොල්පොට් එම රටේ මුළු ජනගහනයෙන් කාලකට ආසන්න පිරිසක් විනාශ කිරීම, රුවන්ඩාවේ දී හත් ලක්ෂයක වැසියන් පිරිසක් මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත සංහාරයට ලක්වීම නූතන ශිෂ්ටාචාරය මහා මිනිස් සංහාර තුනයි.

මතක තබාගන්න,

ඇඩොල්ෆ් හිට්ලර් මස් මාංශ අනුභවයෙන් වැළකී සිටි 'වෙජිටේරියන්’ කෙනෙකි. සතුන්ට බෙහෙවින් ආදරය කළ තැනැත්තෙකි. හැබැයි ඒ හිට්ලර්, යුද්ධයට කිසි සම්බන්ධයක් නැති අසරණ මිනිසුන්, ගැහැනුන් සහ ළමුන් හැට ලක්ෂයක්, ජාතියක ඊනියා ශ්‍රේෂ්ඨත්වයකින් මුසපත්ව ඝාතනය කෙළේය.

හිට්‌ලර්ගේ ම්ලේච්ඡත්වය විසින් එක දවසකට ඝාතනය කළ යුදෙව්වන් සංඛ්‍යාව විසිදහසකට අධිකය. එතරම් අධික සංඛ්‍යාවක්‌ සඳහා වෙඩි උණ්‌ඩ වැය කරන්නට හිට්ලර් අපේක්ෂා නො‍කළේය. ඒ වෙනුවට ගෑස්‌ භාවිත කිරීම වැනි තුච්ඡ වූ වෙනත් ක්‍රම සොයාගනිමින් දහස්‌ ගණන් වූ අහිංසක යුදෙව් ජාතිකයන් එක පොදියට මරා දැමුවේය.

මිලියන ගණනින් තමා ඝාතනය කළ යුදෙව්වන් හෝ අන්‍ය ජාතිකයන් පිළිබඳව හිට්‌ලර් කිසිදාක ශෝක වූයේ නැත.

 

'වියතුන් උමතු වූ විට කරන ප්‍රකාශ ඔබව අවුලුවා තබනවා' යැයි කියන කතාව ඇත්තක්ය.

මේ සිදුවෙමින් තිබෙන්නේ ඒ ව්‍යසනයය.

62 මාර්තු 30 හේන්පිටගෙදර ඥාණසීහ හිමියෝ මෙහෙම ප්‍රකාශයක් කළහ.

'මම දේශපාලනයෙන් ඈත්වෙලා ඉන්නේ. ඒත් මේක කිව යුතුයි. මේ රට සංවර්ධනය කරන්නට නම් සිහලුන්ගෙන් වහලුන්ගෙන් මෙන් වැඩ ගත යුතුය. එහෙම කරන්න පුළුවන් ආඥාදායකයෙකුට මගේ උදව් ලැබෙනු ඇත' කියාය.

මොන තරම් කෘතහස්ත අයෙකුගෙන් වුවත් 'කටට ආ පලියට' යමක් කියන අවස්ථා දැකිය හැක. එහෙත් ඒවා ප්‍රායෝගික වූ කල සිදුවන විනාසය එකී වගකීම් විරහිත ප්‍රකාශ කරන අයට වැටහෙන විට 'බබිත් සුං..බබීගේ අම්මිත් සුං 'ය.

කුමක්දෝ උන්මාදයකින් හෝ, උමතුවකින් කෙනෙකුට කැමැති තාලයේ යමක් කියත හැක. එහෙත්, ඒ ප්‍රකාශ සමාජයට සිදුකරන බිහිසුණු වරද ඔවුන් මායිම් කරන්නේ නැත.

රට හදන්න ආඥාදායකයින් සොයද්දී හිට්ලර්ට වඩා 'සුපිරි බඩු' තවත් සිටී. 1975 සිට 1979 දක්වා කාම්බෝජයේ පාලකයා වගේම දලවශයෙන් මිලියන 1.7ක් වූ මිනිසුන්ගේ ජීවිත අහිමි කළ කෙමර්රූජ් සංවිධානයේ අණදෙන නිළධාරියාද මේ වැඩේට උදාහරණයට ගත හැක.

'පොල්පොට්' කියන්නේ ඔහුය.

1948 දී ප්‍රංශයට ගොස් රේඩියෝ ඉලෙක්ට්‍රොනික් පිළිබද ඉගෙන ගන්නා පොල්පොට් 1953 දී නැවත සිය රටට පැමිණ 'පොල්පොට්' හෙවත්,“සක්‍රීය දේශපාලඥයා”යන නම භාවිත කරයි. වසර අටකට පසු එනම් 1975 අප්‍රේල් 17 වන දිනදී පොල්පොට්ගේ කෙමර්රුජ් ගරිල්ලා කණ්ඩායම කාම්බෝජයේ Lon Nol පාලනය බිද දමා රාජ්‍ය බලය ලබා ගත්තේය.

 

අද 'හිට්ලර් වෙන්න' කියා සමහරු ඉල්ලා සිටින ගෝඨාද රටින් පිටව නැවත පෙරලා සිය රටට ආවෙකි.

 

ඒ සමඟම කාම්බෝජය හැදින්වූයේ ප්‍රජාතාන්ත්‍රික කැම්පුචියාව ලෙසයි Democratic Kampuchea (DK). මේ සමගම කාම්බෝජය බාහිර ලෝකය හා තිබු සබඳතාද කපා දැමීමට පොල්පොට් ක්‍රියා කළේය. එසැනකින්ම ශුන්‍ය වසර නැතහොත් Year of Zero නිවේදනය කළේය.

උගතුන්ට පමණක් නොව ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් යනාදී සමාජ සංස්ථාව තුළ සාධනීය කාර්යභාරයක් ඉටුකළ සෑම කොටසකටම මරන වරෙන්තුව නිකුත් කිරීමට පොල්පොට් කටයුතු කළේය. බලයට එනු පිණිස බෞද්ධයින්ගේ සහය ගත් ඔහු, බලයෙන් පසු බෞද්ධාගම එරටින් තුරන් කිරීමේ වැඩේ ද පටන්ගත්තේය‍.

ඔහු නිතර යත්න දැරුවේ කාම්බෝජය තුළ නැවතත් බලසම්පන්න, කෘෂිකර්මාන්තය මත පදනම වූ ආර්ථිකයක් සහිත මධ්‍යතන යුගයේ පැවති අන්කෝර් රාජධානිය බිහිකිරීමය. එහෙත් එය සහමුලින්ම පුස්සක් විණි. කෙමර්රුජ්වරු එකවර මිනිසුන් දස දහස් ගණනක් හෝ ඇතැම් විට ලක්‍ෂයද ඉක්මවිය හැකි මිනිස් ඝාතන සිදුකළ අතර කාම්බෝජය පුරා තවමත් එම මරාදැමුණ මිනිසුන්ගේ හිස්කබල්, ඇට කැබලි හමුවේ.

පොල්පොට් වියරු රාක්ෂයෙකි. එහෙත් ඔහු ඒ බව පෙන්වූයේ නැත. ඔහුට යම් ප්‍රසන්න පෙනුමක් විය.

ඔහු ආචාරශීලී අයෙකු ලෙස හැසිරුන බව කියයි. ගති පැවතුම්ද මෘදු ස්වභාවයක් ගත් අතර කථනයට වඩා ශ්‍රවණයට මුල් තැන දුන් අයෙක් ලෙස හෙතෙම ප්‍රකටය. මෙසේ ක්‍රමයෙන් මිනිසුන් වසඟයට පත්වීමත් සමඟම කාම්බෝජයේ බලාපොරොත්තුවද ඔහුම විය.

'අපෙ අසහාය නායකයා ඔබයි'

මිනිස්සු කීහ.

එහෙත්, කළුගලේ ඔළුව ගසා ගත්තේ ඔවුන්මය.

හෘද සාක්‍ෂය නොමැති අපරාධකරුවා මුලුමහත් කාම්බෝජයම වනසා දැම්මේය.

 

'හිට්ලර් වෙලා හරි මේ රට හදන්න' කියා ආරාධනා කරන්නේ කාටද? ඉකුත් ජේදය හා ඔහු අතර සමානකම සසඳා බලන්න.

"ඔබව ජීවත් කැරැවීම වාසියක් නොවේ. ඔබව විනාශ කිරීම ද අවාසියක් නොවේ."යැයි පොල්පොට් නිතර කීවේය. මිලියන ගණනක් මිනිස් හිස් එක්කාසු කළ 'පොල්පොට්' මහජන අධිකරණයෙන් වරදකරු වූ විටත් කියා සිටියේ "මගේ හෘද සාක්ෂිය පිරිසුදුය" කියා ය.

උමතු හිට්ලර්ලාගේ 'මිලිටරි' පාලනයේදී, මිලියනයකට අධික යුදෙව්වන්ගේ ලෙයින් පෙඟී ගිය අවුස්විට්ස් වධකාගාර භූමිය අද වන විට මරණයේ කෞතුකාගාරයක් බවට පත්වී තමන් විසින් ගිලගත් ජීවිත ස්මරණය කරමින් නිසොල්මනේ බලා සිටින අයුරු දකින කිසිවෙක් 'හිට්ලර්ලා' බිහිවන්න යැයි සිහිනෙන්වත් ප්‍රාර්ථනා කරන්නේ නැත.

උතුරු නැගෙනහිර ගැටුමින් මියගිය අයට ආධාර දෙන්නට යන බවත්, ඒ නිසා රජයට බදු නොගෙවන ලෙසත් කෑගසා කියන 'ගූගල් තහනම් විමල් වීරවංශ' 'ගෝඨාට හිට්ලර් වෙන්න යැයි' හාමුදුරුවෝ කියන විට මීක් නැත!

'ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාලකණ්නි මෝඩයෙකුම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදාගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම්ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්වම පහතට පිරිහෙළනු ලැබීම පමණි.' කියා කියමනක් වෙයි.

දැන් මෝඩයෝ එයද ඉක්මවා තක්කඩියෙක් වෙලා හරි රට හදන්නැයි කියති.

අධික තෙහෙට්ටුව නිසා හෝ අධික නිදිමත නිසා සිහිනෙන් මෙන් වදාළ දෙඩවිල්ලක් විනා මේක සුපේෂල භික්ෂුවකගෙන් තබා දඩයමේ යන මස් මරන්නෙකුගෙන්වත් පිටවන ප්‍රකාශයක් නොවේ.

[රංජිත් කුමාර සමරකෝන්]

මාතෘකා