අඟේ ඉඳන් කන කෑමේ දේශපාලනය | ඇස පාදන රැස


අඟේ ඉඳන් කන කෑමේ දේශපාලනය

 ඡායාරූපය:

අඟේ ඉඳන් කන කෑමේ දේශපාලනය

පෙරේදා මාධ්‍ය ක්ෂේත්‍රය උණුසුම් කළ පුවත වූයේ සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඇති වූ නොහොඳ නෝක්කාඩුවක් මැද ජනාධිපතිවරයා "මට ආණ්ඩු කරන්නට බෑ" යි පවසමින් නැගිට ගිය පුවතයි. විධායක ජනාධිපති ක්‍රමය යටතේ මෙවැන්නක් සිදුවන්නට ඇත්තේ පළමු වතාවටය. ඊට හේතුව අමාත්‍ය මණ්ඩලය ඒකාධිපතිව පාලනය කළ යුගයක ජනාධිපතිවරයා එසේ නැගිට යෑමක් අනවශ්‍ය බැවිණි. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බලතල තනුක වී ඇති නිසාත් සම්මුතික ආණ්ඩුවේ දේශපාලන සංස්කෘතිය නිසාත් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් තම කෝපය ප්‍රකාශ කිරීම අලුත් අත්දැකීමකි.  

ඒ සිදුවීමේ එක් දේශපාලන ගැඹුරක් එසේ පෙන්වා දිය හැකි  අතරම එහි අනෙක් අභ්‍යන්තරයද සැලකිය යුතු කරුණකි. එනම් සම්මුති ආණ්ඩුවේ පවතින නොහොඳ නෝක්කාඩු ඉක්මනින් විසඳාගත යුතුය යන්නයි. නුහුරු නුපුරුදු ආණ්ඩු ක්‍රමයක දී ක්‍රමයෙන් ප්‍රශ්ණ මතුවීම තාර්කිකය. එහෙත් මේ ප්‍රශ්ණ මතුවී ඇත්තේ ආණ්ඩු කිරීම පිළිබද ව්‍යුහාත්මක එකඟතාවක් නොමැති නිසා නොවේ. මතුපිටින් කුමන සදාචාරමය කරුණු කතාබහ කළත් සම්මුතික ආණ්ඩුවේ දේශපාලන කණ්ඩායම් දෙකම එකක් ලෙස එකම ආර්ථික දේශපාලන කරුණු ගොන්නකට එකඟය.   

එකඟ නොවන කරුණු හුවා දැක්වීමක් ඇතත් ඒවා මතුපිටින් කියන සෝබන අදහස් මිස ඇත්ත හා ගැඹුරු කරුණු නොවේ. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම කියන්නේ තම පක්ෂය බණ්ඩාරනායක ප්‍රතිපත්ති මත පදනම් වූ පක්ෂයක් නිසා දේපළ විකිණීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බවය. එහෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ දී අතිමහත් වූ පාඩු ලබන රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගතකරණය සිදුවිය. අද බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කරන මහත්වරු එදා නිහඬව ඉවසා සිටියහ. එපමණක් නොවේ. මහින්ද රාජපක්ෂ යුගයේ දී බටහිරට බනිමින් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයක් ගැන නිතර කීවද රාජ්‍ය දේපළ විකිණීම ඔවුන්ගේද ප්‍රතිපත්තිය විය. උදාහරණයකට කොළඹ ගාළු මුවදොර පිහිටා තිබූ යුද හමුදා මූලස්ථානය විකුණා දමා ගාළු මුවදොර ෂැන්ග්‍රිලා හෝටලය ඉදිකරන්නට පහසුකම් සැලසුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි.  

මේ අනුව, බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ගැන කතා කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය හා එකට සිටගනී. වෙනස්කම් පවතිනවා නම් පවතින්නේ ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදීය. එබැවින් සම්මුතික ආණ්ඩු ක්‍රමය නුහුරු වුවත් ගැටුම් හා අර්බුද ඇතිකර ගනිමින් කලකෝලාහල කරගැනීමට තරම් දෙපක්ෂයේ ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිවල පරස්පරයක් නොමැත. ඒවා මුළුමනින්ම පදනම් වී ඇත්තේ ගෝලීය යථාර්තය වන නවලිබරල්වාදය මතය. එනිසා දෙපාර්ශ්වය අතර ඇතිවන ඕනෑම ගැටුමක් ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියෙන් බැහැර සාධක මත ඇති වන්නකි.  

ජනාධිපතිවරයා පෙරේදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කෝපවී ඇත්තේත් ඊට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ප්‍රතිචාර දක්වා ඇත්තේත් පුද්ගලික කාරණා මත පදනම් වෙමිනි. ඊට මූලික හේතුව වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රකාශ වූ මහජන අභිලාශයන් "අත් අඩංගුවට ගැනීමට" සම්මුතික ආණ්ඩුවේම සමහර දේශපාලන බලවේගයන් සමත්ව ඇති බැවිණි. එක්සත් ජාතික පක්ෂයේ එවැනි බලවේගයන් ජනාධිපතිවරයා නිර්දය හා ග්‍රාම්‍ය ලෙස විවේචනය කිරීමට පටන්ගත්තේ මහ බැංකු දූෂණය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කිරීමත් සමගය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවැනි බලවේග අග්‍රාමාත්‍යවරයා නිර්දය ලෙස හා ග්‍රාම්‍ය ලෙස විවේචනය කිරීමට පටන්ගත්තේ ඔවුන්ගේ "බොරු පිරිසිදු භාවයක්" රටට පෙන්වන්නට අවශ්‍යවූ දා සිටය.   

සම්මුතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙන් එල්ල වන්නේ ප්‍රබල විවේචනයකි. එනිසා මහ ජනතාව අතර ඔවුන් ප්‍රතික්ෂේප වීමෙන් වැළකීමට අග්‍රාමාත්‍යවරයාත් එක්සත් ජාතික පක්ෂයත් මහජන රැළිවලදී විවේචනය කිරීම ඔවුන්ගේ උපක්‍රමය වී ඇත. කට වාචාල දේශපාලකයන් මේ විවේචන එල්ල කරන විට බරපතල හානිය එල්ල වන්නේ එක්සත් ජාතික පක්ෂයට නොවේ. ඔවුන්ගේ අඟේ ඉඳන් කන කෑමේ දේශපාලනය නිසා බරපතල හානිය සිදුවන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වූ මහජන අභිලාශයන්ටය.  

වඩාත්ම උත්ප්‍රාසය උපදවන කරුණ වන්නේ ඒ මහජන අභිලාශයන්ට හානිවන අන්දමේ ප්‍රකාශ වැඩිපුර කරන්නේ එදා ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට සහාය දී පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කිට්ටු වූ දේශපාලකයන් විසින් වීමයි. මහ මැතිවරණයෙන් පරාජය වී ජාතික ලැයිස්තුවෙන් පත්වූ එවැනි දේශපාලකයන්ගේ ප්‍රමුඛ කාර්ය වී ඇත්තේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් අතර දේශපාලන ගැටුමක් නිර්මාණය කිරීමයි.   
මේ දේශපාලකයන්ට තකට-තක සේ ගැලපෙන දේශපාලකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේද සිටිති. ඔවුහු තම නායකයාගේ දර්ශනය තේරුම් ගැනීමට නොහැකිව ජනාධිපතිවරයාට ද්වේශයෙන් පහර දෙති. ඒ පහරදීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට හැකර දේශපාලකයන් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන පරස්පරය ශක්තිමත් වේ. අවසානයේ දෙපාර්ශ්වයේම බොළද හා නොමේරූ දේශපාලකයන් බරපතල ලෙස හානිකරන්නේ ජනාධිපතිවරණයේ මහජන අභිලාශයන්ටය.  

කාට දරාගන්නට නොහැකි වුවත් තවත් යම් කාලයක් සදහා ආණ්ඩුව පිහිටුවිය යුත්තේ ප්‍රධාන පක්ෂ දෙකෙහි හවුලක සම්මුතිකවය. එය දරාගන්නට නොහැකිව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් පිළිබඳ අවබෝධයක් නොමැති හා ආණ්ඩු කරන්නේ අත ලෙවකන්නට නොවන බව දන්නා දේශපාලන බලවේගයන්ටය. එහෙත් සමාජයට අවශ්‍ය වන්නේ කිසිම පක්ෂයක තනි ආණ්ඩුවක් පිහිටුවා රටට ලොකුකම් පෙන්වන ආණ්ඩුවක් නොවේ. කුමන හෝ හවුලකින් මහජන අභිලාශයන් ශක්තිමත් වීම සමාජයේ අරමුණයි. ඒ තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් කට හැකර දේශපාලකයන්ට විවේකයක් ලබාදිය යුතුව ඇත.  

පක්ෂ දෙකෙහිම විදග්ධ බුද්ධිමතුන්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් ආණ්ඩු කරගෙන යෑමේදී ඇතිවන ගැටුම් විසඳා ගැනීම සඳහා පිහිටුවා ගැනීම වැදගත් වන්නේ මේ සංදර්භය තුළය. ඒ කමිටුව දෙපාර්ශ්වයේම ගෞරවය දිනාගත් බුද්ධිමතුන්ගෙන් සමන්විත විය යුතුය. ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ආණ්ඩු කිරීමේ දී මුහුණ දෙන පරස්පරතා හා එකඟ නොවෙන තැන් සම්බන්ධයෙන් ආරවුල් නිරාකරණය කරගැනීමේ කමිටුවක් ලෙස ක්‍රියාකළ යුතුය. දේශපාලකයන්ගේ නොවුවමනා ගැටුම් රාජ්‍ය පාලනයටත් රටේ අනාගතයටත් බරපතල ලෙස බලපායි. ඒ නිසා ව්‍යාපාරික ප්‍රජාවේ සිට පීඩිතයා දක්වා සියලු ජන කොටස් පරිහානියට පත්වේ. ඒ තත්ත්වය වලක්වා ගැනීමට කළ හැකි අවමය වහා කළ යුතුය. ඒ සදහා මෙවැනි ගැටුම් නිරාකරණය කිරීමේ කමිටුවක සේවය අවශ්‍යමය.  

මෙවැනි කමිටුවක සහයෙන් සම්මුතික ආණ්ඩුව ශක්තිමත් කළ යුත්තේ මහජන අභිලාශයන් ඉෂ්ට කර ගැනීමටය. මහජන අභිලාශයන් තෘප්ත කිරීම සම්මුතික ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්ය විය යුතුය.

[කේ. ජී. පිලිප් ශාන්ත]