ගැට ලිහෙන හැටි

 ඡායාරූපය:

ගැට ලිහෙන හැටි

ඉන්දු ලංකා ගිවිසුම වෙලාවේ ප්‍රේමදාස හිටියේ ජපානයේ නිල සංචාරයකට ගොස්‌ය. ගිවිසුම ගැන සැලවූ වහාම  ප්‍රේමදාස පෙරලා ලංකාවට පැමිණ ජේ. ආර්. එක්ක ගැටුණේය.

'මේ රටේ අගමැති මම. ඒත් මෙහෙම ගිවිසුමක් අත්සන් කරද්දි මට නිකමටවත් කිව්වේ නෑ.'

ප්‍රේමදාස නොසතුට ප්‍රකාශ කළේය. ජනාධිපති මන්දිරයේ පැවති ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමේ උත්සවයට අගමැති ආර්. ප්‍රේමදාස ඇතුළු කැබිනටි මණ්‌ඩලයේ බොහෝ දෙනෙක්‌ සහභාගී නොවූහ. හැබැයි ඔහු ආණ්ඩුව රැක්කේය. ඒ ඔහුට තිබූ දේශපාලන පරිනතකම හින්දාය. කාලෙකට පස්සේ රටේ ජනාධිපති වූ ප්‍රේමදාස ඉන්දීය හමුදාව ආපසු හරවා යැව්වේය.

'මම මේ දේශපාලනයේ හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්'

ප්‍රේමදාස එහෙම කීවේය.

''ලෝකයේ ලිහන්න බැරි ගැට දෙකක් තියෙනවා. එකක් ජේ.ආර්ගේ ව්‍යවස්ථා ගැටය. අනික හෝටල්වල හොදි දාන ග්‍රොසරි බෑග් ගැටය, ග්‍රොසරි බෑග් ගැටය එක්කෝ කඩා දැමිය යුතුය. නැත්නම් දත් ඇඳි දෙකට මැදිකොට ඉරාදැමිය යුතුය.මේ කාරණා දෙකේදීම හොදි ඇ‍ෙඟ් හලා ගැනීමට ඉඩ තිබේ. ජේ.ආර්ගේ ගැටය ලිහාගැනීමට ගොස් උගුලට හසුවූ දේශපාලකයෝද, ගෙල සිරකරගත් දේශපාලකයෝද, හොදි ඇඟේ හලාගත් දේශපාලකයෝද උගුරු දණ්ඩ කඩාගත් දේශපාලකයෝද බොහෝය.''

මේ සටහන එන්නේ සන්නස්ගල ලියූ කෘතියකය. ඒ කෘති ජනගත කරන්නට ආ මෛත්‍රී අපූරු කතාවක් කීවේය.

 'මමයි අගමැතිතුමයි හොදි ඇඟේ හලා ගන්නේ නැතිවම ජේ.ආර් ගේ ගැටය ලිහාගත්තා'

මීට වසර තුනකට පෙර අපූරු 'අරුණෝද විප්ලවයකට'පස්සේ, යහපාලන ආණ්ඩුව බිහි විය. කවුදෝ කී පරිදි 'මෙරට ජනයාට බොහෝ දේ මතක දෙසතියයි යන්න' පසක් කරමින්දෝ මේ වනවිටත් 2015 ජනවාරි 8ට කලින් යුගය අමතකය. රාජපක්ෂකරණයේ ත්‍රාඩ සපත්තුවලට යටපත්ව තිබූ මානව අයිතීන් සාමකාමීව මිනිස් සමාජයට ලබාදීමේ සාධනීයම මැදිහත් වීම සිදුවූයේ ඒ ජනවාරියේදීය. එය, බර්ලින් තාප්පය බිඳ දැමූ විට එතෙක් එකම රටේ දෙකට බෙදී සිටි ජනයා එකට එක්ව වැළඳගෙන ප්‍රීතියෙන් මුසපත් වූ අවස්ථාව මෙන් අපූරු විය.

එහෙත් තවමත් ඇතැමුන් සිතන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙන්ව සිටිය යුතුයැයි කියාය. මෙහෙම හිතන කිසිවෙක් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීමේ කතාව දන්නේ නැත.එක්කෝ දැනදැනම නොදන්නා ගානට ඉන්නවාය. ගමේ, සමහරු උපතින්ම ශ්‍රීලංකා, උපතින්ම යූඇන්පී වන්නේ ඉතිහාසය දැනගෙන වෙන්න නම් බැරිය.

1946 සැප්තැම්බර් 6 වනිදා එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවාගනු ලැබිණි. නව පක්‍ෂය ආරම්භ කිරීම සඳහා වූ මූලික සාකච්ඡාව පවත්වනු ලැබුවේ බොරැල්ල මහල් නිවාසවල අංක 11/1 හි පැවැති රැස්වීමක දීය. එම රැස්වීමේ මුලසුන දරන ලද්දේ ඩී.ඇස්. සේනානායක මහතා විසිනි. 1947 මහමැතිවරණයට දින තීරණය වන්නට ඔන්න මෙන්න කියා තිබියදී එජාපය ඇරඹිණ.

පක්ෂය පිහිටුවන වැඩේට බණ්ඩාරනායක එන පාටක් පේන්න නැතිකොට 'ගෙට් සොලමන් ඔන් ද ෆෝන්' කියලා කීවේ ස්ටීවන්ය.

'ස්ටීවන්' කියන්නේ ඩී. එස්. සේනානායකටය. 'සොලමන්' කීවේ බණ්ඩාරනායකටය. දෙන්නා හොඳටම හිතවත්ය. අලුත් පක්ෂයට නමක් දාන්න බොරැල්ල මන්දිරයට එකතු වෙච්ච පිරිස අතර බණ්ඩාරනායක හිටියේ නැති බව දැනගත් ඩී. එස්. මිතුරාට කතා කළේ 'මේ වැඩේට එන්නම ඕනෑ' යැයි කියාය.

බණ්රනායක ඒ වෙනකොට සිංහල මහා සභාවේ සභාපතිය.
 

කෙටි සංවාදය උණුසුම් වුණේය. 'ඩෝන්ට් වොරි එබවුට් ද ෆේම් සොලමන් යූ. කම්' යැයි ඩී.ඇස්. මහ හඬින් කීවේය. ඩී එස් ට ඕන වුණේ නව පක්ෂය ජාතික සංගමය නමින් තියා ගන්නටය. එහෙත් බණ්ඩාරනායක ඊට අකමැති විය. විනාඩි කිහිපයකින් බණ්ඩාරනායක එහි පැමිණියේය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර  සහ සර් ජෝන් කොතලාවල එජාපය පිහිටුවන්න රැස්වීමට ආවේ බණ්ඩාරනායක ආවාටත් පස්සේය.

'බට් ෂැල් වී කෝල් ද නිව් පාටි?'

ඒ.එෆ්. මොලමුරේ එහෙම ඇසුවේය.

'හව් දැට් වී ඕල් ආ යුනයිටඩ් අගේන් වී විල් කෝල් ඉට් යුනයිටඩ් නැෂනල් පාටි'

ඩී.එස්. එහෙම කීවේය.

'එක්සත් ජාතික පක්‍ෂය' යැයි කීවේ පී. ද ඇස්. කුලරත්න ය. ඒ. මහාදේව මහතා එහි දෙමළ අර්ථය කීවේ ''අයික්කිය දේශීය කච්චි' කියාය. පක්ෂයේ උප සභාපති වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය.

එහෙම බැලුවම බණ්ඩාරනායක එජාපයේ ආරම්භක නියමුවෙක්ය. එහෙව් සහෝදර පක්ෂය 'සදාකාලික වෛරක්කාර' පක්ෂයක් සේ සලකන්නේ කොහොමද කියා කියන්නට දන්නේ නම් නැත.

'එක්සත් ජාතික පක්ෂය තමයි අපේ පොදු හතුරා. අපි පොහොට්ටුව එක්ක එකතු වුණත් එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වෙන්නෙ නෑ.'

ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලංකා එකේ සමහරු එහෙම කියයි. සමහර විට ඔවුන්ට ඉතිහාසය අමතකය.

විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය පට්ටා ගැසූ චන්ද්‍රිකා – මහින්ද ඇතුළු හවුල 90 වසර මුලදී වැඩ පටන්ගත්තේ “විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්” යන සටන් පාඨය යටතේය. (1994 සිට වාසුදේව නානායක්කාරද මේ හවුලට එකතු විය.) 1994 ඇරඹි චන්ද්‍රිකා පාලනයේ වසර නවයක් ඇතුළත දී පුද්ගලීකරණය කළ ආයතන ගණන 57කි. 78 සිට 94 දක්වා වසර 17කට එ.ජා.ප. රජයට පුද්ගලීකරණය කරන්නට හැකි වූවේ ආයතන 43ක් පමණකි. එහෙම බැලුවම පක්ෂ දෙකේම එ හැටි ප්‍රතිපත්තිමය වෙනසක් නැත.

මේ ආණ්ඩුව අමුතු මාදිලියේ ආණ්ඩුවක්ය. මෙතෙක් පැවැති හුදකලා ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුව වෙනස් ය. හැමදාම 'අනෙකා' වූ පක්ෂ දෙක එකිනෙකා එක්ව සිටීම අරුමයක්ය.
අපිට එක්සත් ජාතික පක්ෂය එක්ක ගමනක් නෑ, ඒකයි අපියි අහසට පොළොව වගේ වෙනස්'

මහින්දලා එහෙම කෑමොර දෙති. හැබැයි මීට අවුරුදු කිහිපයකට පෙර එජාපයේ බලකණු ගලවා තමන්ගේ පැත්තට ගැනීමේ 'විකෘති, කෘත්‍රිම' මෙහෙයුම වෙලාවේ මහින්දලාට 'එජාපය' කිළිටි නැත. මැතිවරණ පොරොන්දු ප්‍රකාරව එකට එක්වී  'සංහිඳියා' ආණ්ඩුවක් හදනකොට එජාපය කිලිටිය. වරදාන වලට එජාපයෙන් ගලවා තමන්ගේ පැත්තට ගන්නකොට එජාපය පිරිසිදුය.

“කිළිටි නැති පරම පවිත්‍ර අවංක දේශපාලන නායකයන් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේදී මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවිදැයි දන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ භෞතික සම්පත් සංවර්ධනයට වඩා දේශපාලනයට සුදුසු පිරිසුදු අවංක ජනතාවාදී දේශපාලන නායකයන්. මම ප්‍රමුඛත්වය දෙන්නේ එතැනටයි. අංක එක එතැනයි. එතැන හරිගියොත් අනෙක් ඔක්කොම හරි යනවා. එතැනින් පල්ලෙහාත් හැදෙනවා. මෙතැනින් වැඩේ පටන්ගත්තාම ඒක කරන්න පුළුවන්. හෘදසාක්ෂිය හොඳ සාක්ෂියක් කරගනිමින් අපි හොඳ රටක් හදමු. ගමේ පුංචි ආණ්ඩුව ආදර්ශමත් තැනක් කරගෙන ඉන් එහාට ශක්තිමත් ආණ්ඩුවක් හදාගනිමු.”

පළාත් පාලන ඡන්දය අරමුණු කරගනිමින් ප්‍රතිඥාව ලබාදීම අවස්ථාවේදී මෛත්‍රී එහෙම කීවේය. එහි 'කොන්' අල්ලා ගත්  'නොමේරූ' දේශපාලකයෝ  'නන් දෙඩවීම්' පටන්ගත්හ.

'ලොක්කා අපිට කෙලින්නයි ලෑස්ති'

සමහරු කීය.

'මෛත්‍රී ගේම පටන්ගනී - සංහිඳියාව පුපුරයි'

මහින්දවාදී වෙබ් අඩවියක තිබ්බේ එහෙමය.

'මෛත්‍රී ටොක්ක  ඇන්නේ රනිල්ට'

සමහරු කීවේ එහෙමය.

'මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය කළ ජාතික ආණ්ඩුවේ නවදැක්ම හරහා සංවර්ධනයේ මූලික අඩිතාලම අපි ඇති කරනවා... නිසි සැලැස්මක්, දර්ශනයක්, එකමුතුකමක් නොතිබූ රටට අනාගතයක් ලබාදීමට හැකිවූයේ ජාතික රජය නිසයි'.

එහෙම කියමින් මහින්දවාදීන්ගේ 'සිහින' කුඩු කරන්නේ අගමැති, රනිල්ය.

ඉකුත් මැතිවරණයේදී මෛත්‍රී මහින්දට නාමයෝජනා දෙනකොට එජාපයේ සමහරු වගේම සිවිල් සංවිධානත් මෛත්‍රීගේ පලු ඇරියේය.

'දිනුවත් මහින්දට අගමැතිකම දෙන්නේ නෑ, ඊට වඩා සුදුසු අය ඉන්නවා'

කියා මෛත්‍රී කියද්දී මුලින් මෛත්‍රීට බැන්න සියල්ලෝම මෛත්‍රිගේ ගුණ වැයූහ.

අන්තිමට ඡන්දයට බැස මහින්ද දෙවැනි වතාවටද පැරදිණ. 'හන්දියේ චණ්ඩි ලීලාවට' එන අය මෙල්ල කිරීමේ රටාව මෛත්‍රී දනී.

මේ මොහොතේ හැමෝම ඉන්නේ මැතිවරණ සටනේය. පලුවක් කඩාගෙන ගිය ශ්‍රීලනිපය 'යම් තැනකට' ඔසවා තැබීම මෛත්‍රීගේ උරමත වන වගකීමය. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන එජාපය ඔසවා තැබීම රනිල්ගේ උරමත වන වගකීමය.

ඒ සියල්ල මැද පොහොට්ටුව යම් තරමකින් හෝ පුප්පා ගැනීම මහින්දගේ වගකීමය.

පොහොට්ටුවේ අය කියන්නේ 'මහින්ද නැතිව දිනන්න බෑ' කියලාය. රටේ මිනිස්සු කියන්නේ සමගියක් නැති රටකට ගොඩයන්න බෑ' කියලාය. ඒ අනුව ආණ්ඩුව 2015 ජනවාරි 8 පටන්ගත්ත තැනට ගියානම් 'අපූරුය'. මක්නිසාදයත්, එදා තිබූ  'අන්‍යෝන්‍ය බැඳීම සහ අවබෝධය' එදාට වඩා උවමනා අදටය.