බැඳුම්කර කොමිසම් වාර්තාව, නඩු තීන්දුවක් නෙවෙයි

 ඡායාරූපය:

බැඳුම්කර කොමිසම් වාර්තාව, නඩු තීන්දුවක් නෙවෙයි

මෙම ආයතනය මාස පහක් තුළ රු.බි. 11.0 කට වැඩි ලාභයක් අයුතු ලෙස උපයාගෙන ඇති බවට චෝදනාවක් ඉදිරිපත් වුවද එය අදාළ ප්‍රශ්නගත බැඳුම්කරයෙන් පමණක්ම උපයාගත්තක්ද යන්නද ගැටලුවකි. රු.බි. 5.0 බැඳුම්කර මිලදී ගෙන රු.බි. 11.0 කට වැඩි ලාභ උපයන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුය. රු.බි. 11.0 ක ලාභය යනු එම ව්‍යාපාරයේ සමස්ත ගනුදෙනුවල ලාභය නම් එම ලාභය අයුතු ලාභයක් ලෙස චෝදනා කිරීමද දෝෂ සහගතය. කෙසේ හෝ රජය මේ වන විට එම සමස්ත මූල්‍ය අවාසියම එම ආයතනයෙන් අයකරගෙන හමාරය.

දේශපාලන වේදිකාව මේ දිනවල වඩාත් උණුසුම් කළ මාතෘකාවක් වන්නේ වත්මන් පාලනය යටතේ සිදුවූවා යැයි පැවසෙන “භාණ්ඩාගාර බැඳුම්කර වංචාවයි”. මෙම රජය බලයට පත් වන්නේ 2015 ජනවාරි 08 දිනයි. එයින් හරියටම දින 50කට පසුව, එනම් 2015 පෙබරවාරි 27 දින සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් රජයට මූල්‍යමය අවාසියක් වූ බවට එවකට ඇමතිවරයෙකු වූ ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණිලි කිරීමත් සමඟ බැඳුම්කර පිළිබඳ මෙම සාකච්ඡාව ආරම්භ විය. අදාල චෝදනාව රජයට එල්ලවීමත් සමග ඒ පිලිබඳ විධිමත්ව විමර්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය තුමන් විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත්කිරීමට කටයුතු කෙරිණ. එම කමිටු වාර්තාව 2015 මැයි මස 20 වැනි දින ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමන් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද අතර, ඉන් අනතුරුව එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ -කාරක සභාවේ (කෝප්) අනුකාරක සභාවක් මගින් පූර්ණ විමර්ශනයක් කළ යුතු බවට කථානායකතුමන් තීරණය කරන ලදි. එවකට කෝප් කමිටුවේ සභාපතිවරයා වූයේ ඩිව් ගුණසේකර මන්ත්‍රිතුමන්ය. ඔහුගේ සභාපතිත්වයෙන් 13 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අනුකාරක සභාවක් පත්කර අදාල විමර්ශනයන් ආරම්භ කරන ලදි. කෙසේ හෝ 2015 ජූනි 26 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග මෙම විමර්ශනයන් අතරමග නැවතිණ.

මහ මැතිවරණයෙන් අනතුරුව පත්වූ අටවැනි පාර්ලිමේන්තුවේ දී ඉහත විමර්ශනය යළි පැවැත්වීමට යහපාලන රජය ‍ඓතිහාසික තීරණයකට එළැඹිණ. එහි ප්‍රතිඵලයක් ලෙස එම බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලීමට කෝප් සභාවට නැවත යොමුකරන අතර එම කාරක සභාවේ උපදෙස් මත විගණාකාධිපති සකස්කළ විමර්ශන වාර්තාවක් 2016 ජූනිමස  26දින කථානායකතුමන්ට බාරදීම සිදුවිය. එහි අදාළ කරණු සහ නිර්දේශ පදනම් කරගත් කෝප් සභාවේ අවසන් වාර්තාව 2016 ඔක්තෝබර් මස 28 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. අනතුරුව අදාල වාර්තාවේ තොරතුරු තවදුරටත් විමර්ශනය කිරීමේ අරමුණින් ජනාධිපතිතුමන්ද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කිරීමට 2016 ජනවාරි 27 දින කටයුතු ක‍ෙළ්ය.

වසරකට ආසන්න කාලයක් පුරා කල විමර්ශනයන් ගෙන් අනතුරුව ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමේ වාර්තාව 2017 දෙසැම්බර් 31දින ජනාධිපතිතුමන්ට ලබාදීම සිදුවිය. එය පිටු 1,257 කින් සමන්විත විශාල වාර්තාවකි. මෙම වාර්තාව ලැබීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් විශේෂ මාධ්‍ය ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමත් සමග දේශපාලන වේදිකාව වෙනත් මගකට යොමු විය. බැඳුම්කරයේ දිග-පළලවත් නොදත් සමහර දේශපාලන නායක-නායකාදීන් වේදිකාව මත එ.ජා.ප.ය පතුරු ගැසීමට යොදාගත්තේ ජනාධිපතිතුමන් ප්‍රකාශයට පත්කළ මෙම වාර්තාවේ සාරාංශයයි. ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශනයේ සමස්තය දෙස නොබලා ගෙදර තිබෙන කොරහා තුළත් කිඹුල්ලු හොයන ප්‍රාථමික

දේශපාලන රංගනයක ඔවුන් නියැලෙන ආකාරය මේ වන විට අපට දැකිය හැකිවේ.

ආණ්ඩුවේ වරදාන-වරප්‍රසාද බුක්ති විඳින අතරම මහින්ද රාජපක්ෂ විශ්‍රාමික ජනාධිපතිවරයාට නැවත ඔටුණු පලඳන්න හීන මවන ශ්‍රී.ල.නි.ප. සමහර මැති ඇමතිවරු සහ ජ.වි.පෙ. ප්‍රමුඛ පොදු විපක්ෂය දේශපාලන වේදිකාවේ “මුවහමට තඩිබාන්නාක්” මෙන් තලන්නේ මෙම ජනාධිපති කොමිසම් වාර්තාවටයි.

අදාල ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයාබැලීමට ජනාධිපතිතුමන් කොමිසමක් පත්කිරීමේ කිසිදු වරදක් නැත. 2015 ජනවාරි 08 දින එතුමන් ප්‍රමුඛ එ.ජා.ප.යට ජනතා වරම හිමිවන්නේ පෙර රජයේ දූෂිතයන්ට දඬුවම් දීමටත් වත්මන් රජයේ එවන් කිසිදු දූෂිත ක්‍රියාවන්වල නොයෙදීමටත්ය. නමුත් පෙර රජයේ දූෂණ චෝදනා එල්ලවු මැති ඇමතිවරුන් ද යහපාලනයේ සුදු පිරිවටට මුවා වී සුජාත වීමට මෙම බැඳුම්කර කොමිසන් වාර්තාව උපයෝගි කර ගන්නා ආකාරය ජුගුප්සා ජනකය.

මෙම වාර්තාව ඉදිරිපත් කරමින් ජනාධිපති තුමන් මුලින්ම පෙන්වා දෙන්නේ රාජ්‍ය මුදල් විශාල වශයෙන් අවභාවිතා වන්නේ 2008 සිට 2014 දක්වා වකවානුව තුළ බවය. රජයක මූල්‍යමය තීරණ ගැනීමේදී අපේක්ෂා කරන කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය තුළ එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වය හිමි කිසිදු පාර්ශවයකට ඉහත චෝදනාවෙන් ගැලවිය නොහැකිය. එම නිසා වේදිකාවේ එ.ජා.ප.ට එක් ඇඟිල්ලක් දිගු කරන විට තමන් වෙතට ඇඟිලි කීපයක්ම එල්ලවී ඇති බව ඔවුන් තේරුම් ගත යුතුය. ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව මගින් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට මූල්‍යවාසි දෙකක් සිදුවී ඇති බවත්, එයින් රු.මි. 688කට වැඩි මුදලක් 2015 පෙබරවාරි 27 දින ප්‍රාථමික වෙළෙඳපළ තුළිනුත්,  රු.මි. 11,000කට වැඩි මුදලක් එතැන් සිට මාස 05ක් තුළ ද්විතීක වෙළෙඳපළ තුළිනුත් ඔවුන් උපයාගෙන ඇති බව වාර්තාව පෙන්වාදී ඇත.මෙයින් රජයට සිදුවූ රු.මි. 688කට ආසන්න මුල්‍ය අලාභය යනු අදාල බැඳුම්කර නිකුතුව රු.බි. 2.6කට සීමා ක‍ෙළ් නම්  “වලක්වාගත හැකිව තිබූ ඇස්තමේන්තුගත අවාසිය” ලෙස විගණකාධිපතිවරයා හඳුනාගත් මුදලයි. නමුත් මේ මුදල සම්බන්ධයෙන් ගැටලු දෙකක් ඇත. එයින් එකක් වන්නේ රු.බි. 2.6 සිට රු.බි. 10.0 දක්වා බැඳුම්කර වටිනාකම වෙනස් කළද ඒ සියල්ල මිලදීගෙන ඇත්තේ චූදිත ව්‍යාපාරය නොවේ. ඔවුන් මිලට ගෙන ඇත්තේ රු.බි. 5.0 බැඳුම්කර පමණි. ඒ අනුව රජයේ සමස්ත මූල්‍ය අවාසිය එම ආයතනය මත පැටවීම දෝෂ සහගතය. අනෙක් කරුණ වන්නේ මෙම අගය විගණකාධිපතිවරයාගේඋපකල්පිත අවාසියක් ලෙස කෝප් වාර්තාවේ සඳහන් වීමය (පිටුව 34).

ජනාධිපති විමර්ශන වාර්තාව සෘජුවම චෝදනා කරන්නේ එවකට සිටි මහ බැංකු අධිපතිවරයා ඇතුළු පාර්ශ්ව කීපයකටය. ඒ ඔවුන් සංවේදී මූල්‍ය තොරතුරු ප්‍රශනගත ප්‍රාථමික ගනුදෙනුකරුට ලබාදීමත් එමගින් සාමූහිකව අයථා ලාභයක් උපයා ඇත යන කරුණ මතය. එයින් අදාල මහ බැංකු අධිපතිවරයා හැර කිසිදු පාර්ශ්වයක් එ.ජා.ප. පත්කළ නිලධාරීන් නොව කාලයක් තිස්සේ රාජ්‍ය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත වූවන් බව අප තේරුම් ගත යුතුය. දේශපාලඥයෙකු ලෙස චෝදනාවට ලක්වන එකම පුද්ගලයා වන්නේ එවකට මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක ඇමතිවරයාය. ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ ඔහුගේ දියණිය මිලට ගත් නිවස වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස්ගෙන් රු.මි. 8 ක අතමාරුවක් ලබා ගැනීම සහ කොමිසමට තොරතුරු වසන් කිරීමත්ය. ඒ අනුව ඔහුටද බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කිසිදු සෘජු චෝදනාවක් එල්ලවී නැත. එවන් වටපිටාවක ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ඉනේ ගහගෙන එ.ජා.ප.ට රෙද්ද උස්සා පෙන්නීමට විවිධ පාර්ශ්ව දරන උත්සාහය හුදෙක් ප්‍රාථමික දේශපාලන රංගනයන් පමණි. මෙම යථාර්තය එ.ජා.ප.ට ද තවමත් නොතේරීම පුදුම සහගතය.

ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය