ට්‍රම්ප්ට රජවෙන්න පාර කැපූ ඩිජිටල් කැලෑපත්තර

 ඡායාරූපය:

ට්‍රම්ප්ට රජවෙන්න පාර කැපූ ඩිජිටල් කැලෑපත්තර

තමා fake news නිර්මාතෘ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණයෙන් මසකට පමණ පසු පැවසූ බව වොෂින්ටන් පෝස්ට් වෙබ් අඩවියේ පළ විය. මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් තමා විසින්ම අලුතින් නිර්මාණය කරන ලද පද කිහිපයක් ගැනද ට්‍රම්ප් පෙර සඳහන් කළ බව ඒ වෙබ් අඩවියම වාර්තා කළේය. ඒවා ඇත්ත විය හැකි නමුත් මේ අවස්ථාවේ ට්‍රම්ප්ට වැරදිලා බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ව්‍යාජ පුවත් යන අරුත් ඇති ඉංග්‍රිසි පදය වන fake news යන්නට වසර 125  පමණ ඉතිහාසයක් ඇති බව මිරියම් වෙබ්ස්ටර් ශබ්ද කෝෂයේ සඳහන්ය.  එහෙත් ව්‍යාජ පුවත්වල ඉතිහාසය ඉතා දීර්ඝ බවත් මාක් ඇන්තනි (ක්‍රි.පූ. 83 -ක්‍රි.පූ. 30) සිය පණ හානි කැර ගත්තේ ක්ලියෝපැට්රා මළ බවට පුවතක් කිසිවකු විසින් ඔහුට දැන ගන්නට සැලැස්වූ නිසා බව ප්‍රකට කරුණකි.

fake news යන්න භාවිතයට එන්නට පෙර එවැනි පුවත් පොදුවේ අසත්‍ය පුවත් (false news) ලෙස  හැඳින්විණි. fake යන පදය තනිව ගත් කල එහි අරුත ව්‍යාජ යන්න වුවත් fake news යන්නට වෙනස්ම අරුතක් ඇති බව මීරියම් වෙබ්ස්ටර් ශබ්ද කෝෂයේ දැක්වේ. එහි දැක්වෙන ආකාරයට එය දේශපාලනයේදී බහුලව යොදා ගැනේ. ඒ අනුව ‘වෙනත් නියෝජ්‍යායතනයකට, අස්ථිත්වයකට හෝ පුද්ගලයකුට හානියක් සිදු කිරීමේ චේතනාවෙන් පතුරුවනු ලබන (ගොතන ලද) කතන්දරයක්’ fake news එකකි. (ව්‍යාජ පුවතකි) අපේ ව්‍යවහාරික භාෂාවෙන් කියනවා නම් කැලෑ පත්තරයකි.

‘වසරේ වචනය’  2017 වසරේ කොලින්ස් ශබ්ද කෝෂය ‘වසරේ වචනය’ ලෙස තෝරා ගෙන ඇත්තේ Fake News බව ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙබ් අඩවියේ වාර්තාවක දැක්වේ. එයට හේතුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහත කියමන සමග අන්තර්ජාලයේ සහ මුද්‍රිත මාධ්‍යවල එය භාවිතය 2016 වසර මෙන් 365% ක් වීමයි. එම ශබ්දකෝෂයේ මෙතෙක් එම පදය නොපැවැති බවත් එහි මීළඟ සංස්කරණයේදී එහි අරුත ලෙස ‘පුවත් වාර්තාකරණයේ මුවාවෙන් පතුරුවා හැරෙන අසත්‍ය භාව ප්‍රකොපකාරී තොරතුරක්’ ලෙස ඇතුළත් කරන්නට නියමිත බවත් එම පුවතේ සඳහන්ය.

දේශපාලනයේ කැලෑ පත්තර භාවිතය අපට නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත් දැන් පෙනී යන්නේ අමෙරිකාව වැනි සංවර්ධනයේ මුදුන් පෙත්තට ම නැග සිටින රටක් පවා බලය අල්ලා ගැනීම සඳහා මඩ ගැසීම්වල යෙදෙන බවයි.
2016 අමෙරිකානු ජනාධිපතිවරණයේ දී අනෙක් පාර්ශ්වවලට හානිදායක ලෙස ගොතන ලද ව්‍යාජ පුවත් පළ කිරීම අපේක්ෂකයන් දෙදෙනාටම එරෙහිව සිදු විය. ඒ සමගම අපේක්ෂකයන් පුම්බන කතන්දරද පළ විණි. කෙසේ වෙතත් ට්‍රම්ප්ට එරෙහිව පළ කළ ඒවාට වඩා ඔහුට පක්ෂව පළ කළ ඒවා වූ බව සමීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ව්‍යාජ පුවත් පිළිබඳ කතන්දරය නැවත කරළියට පිවිසෙන්නේ පසුගිය සතියේ බීබීසී ට්‍රෙන්ඩිං විසින් එළි දක්වන ලද වාර්තාවකිනි. ඊට මූලාශ්‍ර වන්නේ බස්ෆෙඩ් නම් ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණයක වාර්තාවකි.

ට්‍රම්ප්ගේ ජය පිටුපස

එම වාර්තාවට අනුව අමෙරිකානු ජනාධිපතිවරණ සමයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට පක්ෂපාත වෙබ් අඩවි අති විශාල සංඛ්‍යාවක් තිබී ඇති අතර ඉන් 140ක් අන්තර්ජාලයෙන් ෆේස්බුක් හරහා මුදල් රැස් කිරීමක නිරත වූ, ට්‍රම්ප් සමග කිසිදු සබඳතාවක් නොමැති ගැටවරයන් කිහිප දෙනෙකු විසින් පවත්වා ගෙන යන ලද ඒවාය.

පැරණි යුගෝස්ලෝවියා සමූහාණ්ඩුවට අයත්ව තිබූ මැසිඩෝනියාව නම් වර්තමාන ස්වෛරී රාජ්‍යයේ වෙලෙස් නම් නගරයේ වැසියන් වන ඒ තරුණයන් අන්තර්ජාලයෙන් මුදල්  ඉපැයීමේ ක්‍රම අත්හදාබලමින් සිට ඇත. ඔවුන් අන්තර්ජාල පරිහරණයේ සුරුවන් බව සඳහන්ය.  

අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේ ට්‍රම්ප්ට වාසිදායක ලෙස ව්‍යාජ පුවත් ප්‍රචාරය කෙරෙන වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි පවත්වාගෙන යමින් මුහුණු පොත හරහා ඒවා පැතිරවීමෙන් ආදායම් ඉපැයිය හැකි බව ඔවුන් දැනගෙන ඇත්තේ ද අන්තර්ජාලයෙනි. ඒ අනුව ඔවුහු අමෙරිකානු පන්නයේ නම් කිහිපයකින් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි නිර්මාණය කොට ඒ මගින් පට්ටපල් අතේ රෝල් බේගල් ඊට මුදා හැරියෝ ය.

මෙය ලොවට රහසක්ව නොපැවැති බව 2016 දෙසැම්බර් මාසයේ බීබීසී වාර්තාකරු එමා ජේන් කර්බි එම පුවත් සේවයට සැපයූ වාර්තාව අනුව පැහැදිලිය. ඇය පවසන පරිදි ඔවුන් එක්කෝ පාසැල් සිසුන්ය, නැත්නම් මෑතකදී පාසැලෙන් ඉවත් වූවන් ය. අඩු තරමින් සරසවි සිසුන් හෝ නොවේ. ඒ තරම්ම ළාබාලය.

රන් ඉල්ලමක්

මේ ගැටවරයන්ට මුහුණුපොත රන් ඉල්ලමක් වූ බව ඇය පෙන්වා දෙයි. ඒ ඇසුරින් වෙලෙස් වෙතද විශාල ධනයක් ඇදී අවුත්ය. ඔවුන් තමන් කවුරුන්ද’යි එළිදරව් කරන්නට කැමැත්තක් නැති නමුත් ඇය ඉන් එක් අයකු හා සාකච්ඡා කරන්නට සමත් වූ බව ස‍ඳහන්ය. ඒ තරුණයා ඇය සමග පවසා ඇත්තේ තමන් මසකට යුරෝ 1,500ක් පමණ උපයන බවයි. එහෙත් තමාගේ ඇතැම් මිතුරන් දිනකට යුරෝ 1,000ක් තරම් උපයන බව ඔහු පවසා ඇත.

මේ නගරයේ සාමාන්‍ය මාසික වැටුප යුරෝ 350 නොඉක්මවයි. එසේ නම් ඔවුන් උපයන තරම සිතාගත හැකි ය. යුගොස්ලොවියානු සමූහාණ්ඩුව සමයේ මේ නගරය නම් කොට තිබුණේ ‘ටිටෝ වෙලෙස්’ යනුවෙනි. දැන් එය ‘ට්‍රම්ප් වෙලෙස්’ යනුවෙන් නම් කළා නම් හොඳ නොවේද කියා එවේලේ තමන්ට සිතුණු බව ඇය සටහන් තබයි.

‘අපේ කතන්දරවලට අමෙරිකානුවන් ආසයි. ඔවුන්ට ඕනෑ ඒවා. විශේෂයෙන්ම ට්‍රම්ප්ව පුම්බන ඒවා. ඉතින් අප ඒවා දුන්නා.’  ඔහු සිනාසෙමින් පැවසූ බව එමා ලියයි. ‘ඔබලාගේ වැඩ නිසා අමෙරිකානු ජනාධිපතිවරනයේ ප්‍රතිඵල වෙනස් වුණා කියා කම්පාවක් නැද්ද?’ ඇය විමසූ විට ඔහු පවසා ඇත්තේ තමන්ට ඒ ගැන වගක් නැති බවයි. ‘අපට සල්ලි ඕනෑ. අපට හොඳ ඇඳුම් ඕනෑ. ඉතින් අප එය කළා. අමෙරිකාවේ ජනාධිපති කවුරු වුණත් අපට වෙනසක් නෑ’

මේ වනාහි ඩිජිටල් කැලෑ පත්තර පිළිබඳ දීර්ඝ කතන්දරයේ අංශුමාත්‍රයක් පමණි. එයින් පෙනී යන්නේ කැලෑ පත්තර නිර්මාණය යහපත් ආදායම් මාර්ගයක් බවයි.

[එස්. නන්දලාල්]

මාතෘකා