වැලිකඩ ඝාතන කමිටුවට වසර තුනයි

 ඡායාරූපය:

වැලිකඩ ඝාතන කමිටුවට වසර තුනයි

ආශ්චර්යයේත්, යහපාලනයේත් ජනාධිපතිවරු දෙදෙනෙක්, අගමැතිවරු දෙදෙනෙක්, අමාත්‍යවරු දෙදෙනෙක් විසින් මහජන මුදලින් මෙම සිදුවීම අරබයා කමිටු දෙකක් පත් කර තිබේ. එහෙත් ලංකාවේ අධිආරක්ෂිත වැලිකඩ බන්ධනාගාර තුළ සිරකරුවන් 27දෙනෙකු ඝාතනය කර වසර පහකුත් මාස දෙකක් ඉකුත් වෙමින් තිබේ. සිදුකළ කිසිඳු නිශ්චිත පරීක්ෂණයක් නොමැත. රාජපක්ෂ ආණ්ඩුවේ බන්ධනාගාර අමාත්‍යව සිටි  චන්ද්‍රසිරි ගජධීර 2015 නොවැම්බර් 10 වෙනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් හිටපු මහාධිකරණ විනිසුරු බන්ධුල අතපත්තුගේ සභාපතිත්වයෙන්, හිටපු නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු සහ එවකට බන්ධනාගාර නීති උපදේශකව සිටි ලලිත් අන්ද්‍රාහැන්නදිගෙන් යුතු ත්‍රි පුද්ගල කමිටුවක් පත්කරන ලදි. එම කමිටු වාර්තාව 2013 සැප්තැම්බර් 24 වෙනිදා බාරදී තිබූ නමුදු එහි ඇත්තේ කුමක්ද, එය හෙළිනොකරන ලද්දේ ඇයිද ‍යන්න කිසිවෙකුත් මෙතෙක් නොදනී. ඒ සඳහා එවකදී කිසිඳු පොලිස් පරීක්ෂණයක් සිදු නොවිණි. මානව හිමිකම් කොමිසමද මුණිවත රකින ලදි.  

යහපාලන දින සීය ආණ්ඩුවේ නීතිය හා බන්ධනාගාර ඇමතිව සිටි විජේදාස රාජපක්ෂ විසින් 2015 ජනවාරි 22 වෙනිදා තවත් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරන ලදි. හිටපු මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්ගේ සභාපතිත්වයෙන් යුතුව, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේගුණතිලක සහ නීතිඥ එස්. කේ ලියනගේ එම කමිටුව විය. එම කමිටුව සඳහා ඇසින් දුටු සිරකරුවන් 15දෙනෙක්ද, බන්ධනාගාර අධිකාරී සිට පහළට නිලධාරීන් 20දෙනෙක් ද, පොලිස් විශේෂ කාර්ය බලකා ඉහළ නිලධාරීන් 4දෙනෙක් ද, හිටපු පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් 16දෙනෙක්ද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් 3දෙනෙක්ද, මහජන සාක්ෂිකරුවන් 8දෙනෙක්ද සාක්ෂි ලබා දී තිබේ. එම සාක්ෂිවලට අමතරව රජයේ රස පරීක්ෂක, රජයේ ගිනි අවි විශේෂඥ, ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර්, හා අධිකරණ වෛද්‍ය විශේෂඥයන් එම කමිටුවට සාක්ෂි ලබාදී තිබේ. කමිටුව හමුවේ සලකා බැලූ සියලු සාක්ෂි සහ විශේෂඥ සාක්ෂි අනුව පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් 798 දෙනෙක් ගිනි අවි සහ කඳුලු ගෑස් සහිතව බන්ධනාගාරයට සෝදිසි වරෙන්තුවක් හෝ නොමැතිව ඇතුළු වී තිබේ. වැසුණු සිර කුටිවලට කඳුලු ගෑස් එල්ල කිරීමත්, පසුව කුපිත වූ සිරකරුවන්ට ත්‍රස්තවාදී කඳවුරකට එල්ල කරන ආකාරයේ ගිනි බලයක් යොදා ඇති බවටත්, පසුව ලැයිස්තුවකට අනුව තෝරාගෙන සිරකරුවන් ඝාතනය කළ බවටත් පැහැදිලි සාක්ෂි මත අනාවරණය කර තිබේ. එදින රාත්‍රියේ සිවිල් ඇඳුමින් සැරසී ලැයිස්තුවක් සහිතව පැමිණි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පරීක්ෂක නියෝමාල් රංගජීව පිළිබඳවද ඇසින් දුටු සාක්ෂිකරුවන් සාක්ෂි ලෙස ලබාදී තිබේ. හිටපු පොලිස්පතිවරයා එහිදී ප්‍රකාශ කර තිබී ඇත්තේ එවකදී එම සෝදිසි කිරීමේ තීරණය ආරක්ෂක ලේකම් විසින් ගන්නා ලද්දක් වන බවත්, එවකදී තමන් බාරයේ පොලිස් විශේෂ කාර්ය බලකාය නොතිබූ බවත්ය. එම සෝදිසි කිරීම් හා ඇතුළුවීම් ද නීති විරෝධීය. පොලිස් විශේෂ කාර්ය බලකායට සහ යුද හමුදාවට සන්නාහ සන්නද්ධ ‍රථ සමඟින් බන්ධනාගාරය වෙත පැමිණීමට අණ දුන්නේ කවුද යන්න පැහැදිලි නිගමනයක් දීමට කමිටුව අපොහොසත්ව තිබේ. කමිටුව නිගමනය කරන්නේ වාර්තාව මූලික කොටගෙන පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කළ යුතු බවකි. එම වාර්තාව 2015 ජුනි 9වෙනිදා අගමැතිවරයාට බාර දී තිබූ අතර, එම දෙවන ත්‍රිපුද්ගල කමිටුව පත්කර ඊයේ දිනයට වසර 3ක් ගතව ඇතත් මෙතෙක් එම අපරාධයට අණ දුන්නෙකු හෝ වගකිවයුත්තෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත්ව තිබේ.

රාජපක්ෂ සමයේ වූ ඝාතන, පැහැරගැනීම් මැතිවරණ වේදිකා තුළ පෙන්වා නීතියේ ආධිපත්‍යය ද, මානව හිමිකම් ද ලබා දෙන බවට පොරොන්දු වෙමින් යහපාලනය බලයට පත් වූ බව මහජනතාව හොඳින්ම දනී. 2015 ජනවාරියේ වූ පොරොන්දු අතරින් ප්‍රමුඛතම පොරොන්දුවක් වූයේ 2012 වසරේ නොවැම්බර් 9වෙනිදා පාන්දර වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ මනුෂ්‍ය ඝාතන සොයාබලා වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන බවය. ඉකුත් සතියේ හෝමාගම පැවති රැළියකදී ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාර ඝාතන ගැන නැවත ප්‍රකාශ කර තිබිණි.

නමුත් මේ දක්වාම මෙම අත්තනෝමතික බන්ධනාගාර සෝදිසියට අණදුන්නෙකුට හෝ ඝාතන 27ට වගකිවයුත්තෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමට මේ සියලු ෙදනාම අපොහොසත්ව සිටිති. ලැයිස්තුවක් රැගෙනවිත් සිරකරුවන් තෝරාගෙන ඝාතනය කළ පොලිස් නිලධාරීන් උසස්වීම් සමඟ තවම රාජකාරියේය. දණගස්වා ඝාතනය කළ රැඳෙවියන් අසලට පසුව ගිනි අවි දැමූ බන්ධනාගාර නිලධාරීන් අද වනවිට බන්ධනාගාර කොමසාරිස්වරුන් ලෙස වැජඹෙමින් සිටීම දෛවයේ සරදමක් නොවන්නේද?