තරුණයන්ට අවස්ථාව දීමට මාවෙයි සේනාධිරාජා මහමැතිවරණයට ඉදිරිපත් නොවීමේ තීරණයක

තරුණයන්ට අවස්ථාව දීමට මාවෙයි සේනාධිරාජා මහමැතිවරණයට ඉදිරිපත් නොවීමේ තීරණයක

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් නොවන බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා පෙරේදා (12) ප්‍රකාශ කර තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය නියෝජනය කරමින් අදහස් දක්වන සී.වී.කේ. සිවඥානම් මහතා මාවෙයි සේනාධිරාජා මහතා මහමැතිවරණයට ඉදිරිපත් නොවන්නේ ප්‍රධාන හේතු දෙකක් මත යැයි සඳහන් කළේය. ඉන් පළමුවැන්න මීළඟ මහමැතිවරණයට තරුණ අපේක්ෂකයන් විශාල පිරිසකට අවස්ථාව සලසා දීමට දෙමළ ජාතික සන්ධානය ගෙන ඇති තීරණයට අවනත වීම සඳහාය. දෙවැනි හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ මාවෙයි සේනාධිරාජා මහතා විශාල කාලයක් දේශපාලනයේ නිරත වීමයි.

මේ තත්ත්වයන් මත මාවෙයි සේනාධිරාජා මහතා මීළඟ මහමැතිවරණයේදී පක්ෂයට නායකත්වය දෙමින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහාය ලබා දෙමින් කටයුතු කරන බව සී.වී.කේ. සිවඥානම් මහතා ප්‍රකාශ කළේය. සේනාධිරාජා මන්ත්‍රීවරයා මහමැතිවරණයට ඉදිරිපත් නොවූවත් මීළඟ පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධුරය සඳහා තරග කළ හැකි බවත් ඒ පිළිබඳව තමන්ට ස්ථිර වශයෙන්ම යමක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.

යාපනයේ දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ දේශපාලන පක්ෂ නායකයන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ මාවෙයි සේනාධිරාජා මහතාගේ ස්වරූපය ඔවුන් ඉතා හොඳින් දන්නා නිසා සිවඥානම් මහතා කරන මෙම ප්‍රකාශය විශ්වාස කළ නොහැකි බවයි. දෙමළ ජාතික සන්ධානය මේ අවස්ථාවේ මෙවැනි ප්‍රකාශයක් නිකුත් කරන්නේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ නොමඟ යැවීමට හා දෙමළ ජාතික සන්ධානය කෙරෙහි ජනතාවගේ පළුඳු වූ විශ්වාසය යළි දිනා ගැනීම සඳහා බවද සෙසු දෙමළ පක්ෂ නායකයින් සඳහන් කර ඇත.

[රසුල දිල්හාර ගමගේ]

News Order: 
3
මාතෘකා