ඒකාධිපතිත්වයෙන් රට සංවර්ධනය කරන්න බෑ

 ඡායාරූපය:

ඒකාධිපතිත්වයෙන් රට සංවර්ධනය කරන්න බෑ

- අගමැති රනිල්

ඒකාධිපතිත්වයෙන් රට සංවර්ධනය කළ නොහැකි බවත් මෙරට සංවර්ධනය කිරීමට නම් කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) කොළඹදී පැවසීය.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5,000ක් සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් කොළඹ, අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පසුගිය වසර කිහිපයේ සිදු කළ විශාල සංවර්ධනය සඳහා ඒකාධිපතීත්වයක් හෝ අර්ධ ඒකාධිපතිත්වයක් අවශ්‍ය නොවූ බවත් එම සියලු වැඩ කටයුතු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම තුළින් සිදු කළ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

"නිදහසින් පසුව මෙරට සමාජ සුභ සාධනය වෙනුවෙන් කළ විශාලම ආයෝජනය පසුගිය වසර කිහිපය තුළ සිදු කර තිබෙනවා. මෙවැනි වැඩ කොටසක් කිරීමට ඒකාධිපතියෙක් වෙන්න වුවමනා වුණේ නැහැ. ඒකාධිපති හෝ අර්ධ ඒකාධිපති බලතල ලබාගත්තා යැයි කියා මීට පෙර මෙවැනි සංවර්ධනයක් සිදු වුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම තුළින් මෙම වැඩකටයුතු සිදු කළ බව සඳහන් කරන්න කැමැතියි."