අනාගත දරු පරපුරට ඉන්න හිතෙන රටක් ලෙස ලංකාව පරිවර්තනය කරනවා - අමාත්‍ය පාඨලී චම්පික රණවක

 ඡායාරූපය:

අනාගත දරු පරපුරට ඉන්න හිතෙන රටක් ලෙස ලංකාව පරිවර්තනය කරනවා - අමාත්‍ය පාඨලී චම්පික රණවක

යාපනය අර්ධද්වීපය විධිමත් සැලසුමක් යටතේ මහා නගරයක් ලෙස ගොඩනැඟීමට කටයුතු කරන බවත් අනාගත දරු පරපුරට ප්‍රායෝගිකව මේ රට ඉන්න හිතෙන රටක් හැටියට පරිවර්තනය කළ හැකි සෑම දෙයක්ම කිරීමට කැපවන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (07) අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක සුඛිත පුරවර වැඩසටහන යටතේ රුපියල් මිලියන 2,350ක වියදමින් ඉදිකිරීමට නියමිත යාපනය නව නගර ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අපගේ වැදගත් ජාතික භෞතික සැලසුමේ ප්‍රතිඵලයක් ලෙසයි අපි යාපනය නගරය ගොඩනැඟීමට කටයුතු කරන්නේ. 2017 - 2018 වසර දෙකේ මේ රටේ සියලු ක්‍ෂේත්‍ර නියෝජනය කරන වෘත්තියවේදීන් 3,000ක් එකතු වෙලා රටේ ජාතික භෞතික සැලසුම ඇති කළා. එතැනදී අපි හඳුනාගත්තා රටේ ප්‍රධාන සංවර්ධන කොරිඩෝ හතරක්. එකක් කොළඹ සිට ත්‍රිකුණාමලයටත් දක්ෂිණ කොරිඩෝව ගාල්ලේ සිට තිස්සමහාරාමයටත් උතුරු කොරිඩෝව යාපනයේ සිට කිලිනොච්චියට, නැඟෙනහිර කොරිඩෝව වාලච්චේන සිට මඩකලපුව, අම්පාරට හඳුනාගෙන තිබෙනවා. දැනටමත් යාපනය නගරය 2018 සිට ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේ උපාය මාර්ගික නගරයක් ලෙස ක්‍රියාත්මක කරනවා. ඒ වගේම යාපනය හා අවට සියලුම උප නගර නාගරික සංවර්ධන අධිකාරිය විසින් විධිමත් සැලසුමකට අනුව සංවර්ධනය කරගෙන යනු ලබනවා. අපි දැනටමත් යාපනය නගරයේ ව්‍යාපෘති ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. මහා මාර්ග ගණනාවක් සංවර්ධනය කරගෙන යනවා. විශේෂයෙන්ම ප්‍රධාන බස් නැවතුම්පොළ අවට ප්‍රධාන වාණිජ සංකීර්ණය ඉදිකරමින් පවතිනවා. ඒ වගේම පැරණි කච්චේරි ගොඩනැඟිල්ල පුනරුත්ථාපනයට කටයුතු කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ නව නගර ශාලාවත් සමඟ විධිමත් නාගරික ව්‍යුහයක් අපේ යාපන මහ නගර සභාවට ලැබෙයි කියලා.

“ඒ වගේම මම 2010 විදුලබල හා බලශක්ති ඇමති හැටියට යාපනයට පැමිණි වෙලාවේ යාපනයෙන් අඩකටවත් විදුලිය තිබුණේ නැහැ. අපි යාපනයට විදුලි බලාගාරයක් ඇති කළා. ඒ වගේම ගැටුම් අවස්ථාවේදී විනාශ වූ වව්නියා, චුන්නාකම් සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකළා. අලුත් විදුලි බලාගාරයක් ලබා දුන්නා. අද යාපනය සියයට 100ක් විදුලිය තිබෙන ස්ථානයක් බවට අපි පත් කළා. ඒ වගේම ඉදිරි කාලයේදී යාපනය අර්ධද්වීපයම විධිමත් සැලසුමක් යටතේ මහානගරයක් හැටියට ගොඩනැඟීමට කටයුතු කරන බවත් ඔබ සැමට ප්‍රකාශ කරනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම අදහස් මීට මාස ගණනාවකට පෙර මේ යාපනයේ ජීවත්වන වෘත්තීයවේදීන් සියලු දෙනාම එක ශාලාවකට රැස්කර අපේ සැලසුම් පෙන්වා දී, ඔබගෙන් ප්‍රජාතන්ත්‍රවාදීව එම අදහස් ලබා ගත් බවත් ඒවාට අනුකූලව අපේ සැලසුම් වෙනස්කර ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළ යුතුයි.

“ඒ වගේම මගේ පරම්පරාව සෑහෙන්න බැට කාපු පරම්පරාවක්. අපි දැක්කා 1983 සිට ඇති වූ ගැටුම්. උතුරෙත් දකුණේත් ඒ වගේම රට පුරාමත්. යාපනය විතරක් නෙමෙයි යුද්ධයෙන් බැට කෑවේ. දකුණේ 60,000කට අධික මගේ පරපුරේ පිරිසක් 87-89 කාලයේ මරා දැම්මා. ඒ නිසාම රටින් පිටතට අති විශාල ජනතාවක් ඇදී ගියා. යාපනයෙන් පිටත වැඩිම දමිළ ජනතාවක් ජීවත් වන්නේ ටොරොන්ටෝවල. ඒ වගේම කොළඹින් පිටත වැඩිම සිංහල ජනතාවක් ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ. ඒක නිසා අපේ පරම්පරාවේ අපි කල්පනා කළ යුතුයි මේ රට රටින් පැනලා යන තැනක් නෙමෙයි ඉන්න හිතෙන රටක් බවට පත් කරන්න. එය තමයි අපේ අමාත්‍යාංශයේ තේමාව. ඒ නිසා අතීතය ගැන වාද විවාද කිරීම හොඳයි, හැබැයි එයින් අනාගතයට කිසිම ප්‍රයෝජනයක් නැහැ. අපේ දරු පරපුරට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි ප්‍රායෝගිකව මේ රට, මේ නගර අපේ දරුවන්ට ඉන්න හිතෙන රටක් හැටියට පරිවර්තනය කළ හැකි හැම දෙයක්ම කිරීමට කැපවෙමු කියා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ සඳහා බලගතු සංකේතයක් ලෙස මේ නව නගර ශාලාව ඉදිරි වසර තුනේදී ගාම්භීරව, අභිමානවත්ව සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙමින් නැඟී සිටිනු ඇතැයි විශ්වාස කරනවා.”

මාතෘකා