56-77 විප්ලවයට සැරසෙන්න

 ඡායාරූපය:

56-77 විප්ලවයට සැරසෙන්න

අමාත්‍ය පාඨලී චම්පික රණවක

 

ඉදිරි අනාගතයේදී රටේ ඒකීයභාවයට තර්ජනයක් පැමිණියහොත් නියම දේශප්‍ර්මීන් ලෙස දෙපයින් නැඟී සිට සටන් කරන බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (18) "දැය නිසි මඟට ගමු - එක්ව ඉදිරියට යමු" තේමාව ඔස්සේ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික මහා සමුළුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ලබන නොවැම්බර් 16 වැනිදා තීරණාත්මක ජනාධිපතිවරණයක් අප වෙත එළැඹිලා තිබෙනවා. 'ජාතික හෙළ උරුමය' නමින් හා එයට පෙර 'සිහල උරුමය' නමින් ජාතික ව්‍යාපාරයක් රටට අවශ්‍ය වුණේ මීට වසර 20කට පමණ පෙර සිදු වෙමින් පැවැති භයානක ජාතික අනතුරක් නිසයි. 1999 නොවැම්බර් මාසයේ වන්නියේ සිදු වූ ඒ බරපතළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයේ යුද ප්‍රහාරවලින් එක්තරා ආකාරයකට තැති ගැනීමකට ලක්වෙලා අපගේ මාතෘ භූමිය බෙදුම්වාදී, නව නාසිවාදී, ත්‍රස්තවාදී කල්ලියකට යටවේ යැයි කියන බිය, සැකය තුළ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂත් ඒ ත්‍රස්තවාදයට නතුවන ආකාරයේ ප්‍රතිපත්ති අනුගමනය කරන බව දැකලා කළකිරිලයි එදා සිහල උරුමය පක්ෂය පිහිටුවා ගත්තේ. මැතිවරණවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණත් මේ රටේ දේශපාලනයේ වැදගත් මතවාදී ඛණ්ඩනයක් කරන්න අපට හැකියාව ලැබුණා. ඒ වගේම ඇතැම් අය කිව්වා මේ ත්‍රස්තවාදය පරාජය කරන්න බැරි සහ අපේ ආරක්‍ෂක හමුදා පරාජය ලබන්නේ දෙමළ ජනයා අඛණ්ඩව ත්‍රස්තවාදීන්ට සහයෝගය දෙන නිසයි කියලා. ඒ නිසා ෆෙඩරල් මාදිලියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරලා මේ දෙමළ ජනතාව තමන්ගේ පැත්තට දිනාගෙන ඊට පසුව ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි කියලා ඔවුන් යෝජනා කළා.

"මෙතැනදී මාඕ සේතුංගේ පැරණි කියමනක් වන "ගරිල්ලා භටයාට ජනතාව, මාළුවාට ජලය වගේ" යැයි කියන ඒ කියමන පාවිච්චි කරමින් කටයුතු කළා. ඒ අවස්ථාවේදී අපේ මතය වුණේ මේ ත්‍රස්තවාදයට මේ දෙමළ ජනතාවගේ බලගතු සබැඳියාවක් නැති බව. සම්පූර්ණ බලහත්කාරය මත මේ දෙමළ ජනතාව ඔවුන් විසින් රඳවාගනු ලැබ තිබෙන බවයි. ඒ වගේම මේ ත්‍රස්තවාදය පරාජය කරලා ඒ දෙමළ ජනතාව මුදාගත යුතු බවයි. ඒ සඳහා සන්නද්ධ හමුදාවලට තුන් අවුරුදු වැඩපිළිවෙළක් මඟින් ජයග්‍රහණය කළ හැකි බව තමයි අපි පැවසුවේ. අපේ කිසිම ජාතිවාදයක් තිබුණේ නැහැ. කිසිම ආගම්වාදයක් තිබුණේ නැහැ. අපට අවශ්‍ය වුණේ මේ අන්තවාදී, ත්‍රස්තවාදී කල්ලි කණ්ඩායම්වලින් අපේ මාතෘභූමිය ගලවාගෙන එහි ජීවත්වන සෑම ජනතාවකටම නිදහස ලබා ගැනීමයි. කෙසේ නමුත් ඒ තත්ත්වයන් ශීඝ්‍රයෙන් වෙනස් වෙලා ගිහින් අවසානයේ බරපතළ ශාසනික ගැටලුවක් අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ අපවත්වීමත් සමඟ රටේ මතු වුණා.

"ත්‍රස්තවාදය පරාජය කිරීමට පැත්තක සිට කරන්න පුළුවන් දෙයක් නැහැ. එය පීඩන කණ්ඩායමක් හැටියට පමණක් කළ හැකි දෙයක් නෙමෙයි. මෙය කිරීමට නම් මේ රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවාගත යුතුයි කියන එක අපට අවබෝධ වුණා. ඒ අනුව තමයි මේ රටේ ඒකීයභාවය ආරක්‍ෂා කර ගැනීමේ පරමාර්ථයෙන් යුතුවයි අපි 2005 ජනාධිපතිවරණයේදී අපේ ඒ අරමුණු ඉටු කරවීමට පොරොන්දු වූ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපගේ සහයෝගය ලබා දුන්නේ. ඒ වගේම එතුමා ත්‍රස්තවාදීන් සමඟ යම් යම් සාකච්ඡා ක්‍රියාමාර්ග ඇතිකළත් ඒ මාවිල්ආරුවේ සිදු වූ සිදුවීමත් සමඟ 2006 ජූලි මාසයේදී අපි තීරණාත්මකව මේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ කටයුත්තට එදා මැදිහත් වුණා. අද බොහෝ දෙනෙක් දේශප්‍රේමී කතා, ප්‍රභාකරන්ට කාලතුවක්කු නැතිකොට ප්‍රභාකරන්ගේ මිනිස් බෝම්බ පිපිරෙන්නේ නැති කොට, ඒ වගේම මහා ජාතිමාමක ශාසනලාලක කතා පැවැත්වූවට එදා ඉතාම සුළු පිරිසකුයි ඒ අධිෂ්ඨානශීලී වැඩපිළිවෙළට දායක වුණේ. අපි ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ අපේ ආරක්‍ෂක අංශවලට අනාථ වුණු ජනතාවට ඒ වගේම ඒ අවස්ථාවේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සැපයුම් නැතිව තිබූ ජනතාවට අපේ ඒ අධිෂ්ඨානය, අපේ ශක්තිය අපි එදා ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් හැටියට අපේ ආරක්‍ෂක හමුදා පියවරෙන් පියවර සාර්ථකව ජයග්‍රහණ ලබලා 2009 මැයි 18 වැනිදා ඒ සුවිශේෂී විජයග්‍රහණය ළඟා කර ගත්තා.

"අද අපි ආපසු හැරිලා බලනකොට මේ ආණ්ඩුවේ ගත කළ අවුරුදු හතරහමාර ඇතුළත අපි යම් යම් ජයග්‍රහණ මේ රටට ලබා දී තිබෙනවා. ඒ වගේම අපෙන් ඉටුවිය යුතුව තිබිච්ච, ඉටු නොවිච්ච යුතුකම් හා වගකීම් විශාල ප්‍රමාණයකුත් අප ඉදිරියේ තිබෙන බව අප අමතක කළ යුතු නැහැ. විශේෂයෙන්ම මේ රට වට කරලා තිබූ ඒ විදේශීය බලපෑමෙන් රට මුදාගන්න කිසියම් ආකාරයකට ඒ යහපාලන ආණ්ඩුවට හැකියාව ලැබුණා. ඒ වගේම විශාල වශයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න කටයුතු යෙදුණා. 19 වැනි සංශෝධනය මඟින් ජනාධිපතිවරයා සතුව තිබූ අයුක්ති සහගත අත්තනෝමතික බලතල අතිවිශාල ප්‍රමාණයක් පාලනය කිරීමට හැකි වුණා. නමුත් මම බොහොම පැහැදිලිව කියනවා මේ ජනාධිපති ධුරය තවමත් බලගතු ධුරයක්, බලගතු නායකත්වයක්. රාජ්‍ය නායකත්වය, විධායකයේ නායකත්වය ඒ වගේම සේනාධිනායකත්වය ආණ්ඩුවේ නැත්නම් කැබිනට් මණ්ඩලයේ නායකත්වය තවමත් මේ රටේ ජනාධිපතිවරයා සතුව තිබෙනවා. ඒ වගේම තවමත් මේ රටේ ජනතාවට තිබෙනවා ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ජනාධිපති එක පැත්තක පාර්ලිමේන්තුව එක පැත්තක සිටීම, පාර්ලිමේන්තුවේ බහුතරය නැති වීම මේ නිසා ඇති වී තිබෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයත් මේ ජනාධිපතිවරණයෙන් විසඳෙනවා. මොකද මේ ජනාධිපතිවරණයෙන් පසුව අපට හැකියාව ලැබෙනවා ලබන මාර්තු මාසයේදී මහමැතිවරණයක් පවත්වන්න. ඒ මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුව තුළ අපට හැකියාව ලැබෙනවා පැහැදිලිවම බහුතර බලය ලබාගෙන ශක්තිමත් ආණ්ඩුවක් ලබන මාර්තු මාසයේ සිට ගෙනයන්න. දෙපැත්තට ඇදෙන ආණ්ඩුවක්, තුන්පැත්තට ඇදෙන ආණ්ඩුවක්, අන්තවාදී බලවේගවල සහයෝගයෙන් දුවන ආණ්ඩුවක් නෙමෙයි එය තනි ශක්තිමත් ආණ්ඩුවක්. ඒ වගේම උතුර, දකුණ, නැඟෙනහිර, බටහිර නියෝජනය වන ආණ්ඩුවක් ගොඩනඟා ගැනීමේ හැකියාව, ශක්තිය අපට ලැබෙනවා.

"අපි ඉතාම පැහැදිලිව මේ බව ප්‍රකාශ කළ යුතුයි. මේ රටේ සැබෑ දේශප්‍රේමීන් අප බව. මේ රට බිඳ වැටෙන්නට, යටත් වෙන්නට ගිය අවස්ථාවල නිර්භීතව ඉදිරිපත් වෙලා එය වෙනස් කිරීමට ඉදිරිපත් වෙච්ච බලය අප බව. අපට පක්ෂ දේශපාලනය වැදගත් නැහැ. අපි රට අනතුරට පත්වෙන ඕනෑම අවස්ථාවක ඉදිරියේදීත් මේ රට අන්තවාදයට, ත්‍රස්තවාදයට නතු වෙන්න යනවා නම් මේ රටේ ජනතාවගේ සාමය නිදහස වෙනුවෙන් කිසිම පැකිලීමකින් තොරව, කොන්දේසියකින් තොරව ඉදිරිපත් වන බව බොහොම පැහැදිලිව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ නිසා සහරාන්ගේ අන්තවාදී ප්‍රහාර වේවා, වෙනත් ආකාරයක අන්තවාදී ප්‍රහාර වේවා ඒ ඕනෑම බියජනක ප්‍රහාරයකදී දෙපයින් නැඟී සිට ඒවා පරාජය කිරීමට අපි අනාගතයේත් ඉදිරිපත් වන බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. 1956දී සිදු වුණා වගේ සමාජ විප්ලවයක්, 1977දී ජයවර්ධන ජනාධිපතිතුමා ඇති කළා වගේ සමාජ වෙනසක් නැවත ඇති කර අලුත් තරුණ පරපුරකට අලුත් ආණ්ඩුවක්, අලුත් රටක්, අලුත් තරුණ නායකත්වයක් ගොඩනඟන්න මේ ජනාධිපතිවරණයේදී සියලු දෙනාගේම ශ්‍රමය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.”

මාතෘකා