ගෝඨා-සුමන්තිරන් සාකච්ඡා:

ගෝඨා-සුමන්තිරන් සාකච්ඡා:

සම්බන්දන් නොසතුටින්

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර කොළඹදී පැවති සාකච්ඡාව ඵල රහිත එකක් බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අවධාරණය කරති.

දෙපාර්ශ්වය අතර සාකච්ඡාවේදී උතුරු හා නැඟෙනගිර දෙපළාතේ අර්බුදයට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දෙන විසඳුම් පිළිබඳව විමසූ විට එම ගැටලුවට වඩා ඉතා විශාල ලෙස බලපාන ප්‍රශ්න දකුණේ ජනතාවට ඇති බව සාකච්ඡාවට සහභාගි වී සිටි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව එම මන්ත්‍රීවරු පවසති. සාකච්ඡාවෙන් පසුව සුමන්තිරන් මන්ත්‍රීවරයා සාකච්ඡා වූ දේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා වෙත ඉදිරිපත් කළ බවත් එම අවස්ථාවේ සම්බන්දන් මන්ත්‍රීවරයා ඒ පිළිබඳව දැඩි නොසතුට ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරු ඇතැමෙක් පවසා සිටියහ. මේ අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම හමු වී සාකච්ඡා කිරීමට අකැමති වන්නේ නම් එම පක්ෂය ගන්නා තීරණය ඇතැම් විට බරපතල විය හැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක

ආර්. සම්බන්දන් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේදී සහාය දක්වන අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගැනීමට පෙර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් හමු වී සාකච්ඡා කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව පක්ෂය ඔවුන්ට ඒ බව දන්වා ඇතත් මේ වන තුරු ඔවුන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොමැති බව සම්බන්ධන් මහතා මෙහිදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා තමන් මේ සතියේ සාකච්ඡාවක් කැඳවා ඇති අතර එම සාකච්ඡාවට පෙර අපේක්ෂකයන් ඔවුන්ගේ ප්‍රතිචාරය නොදැක්වුවද තමන්ගේ තීරණයට එය බාධාවක් කර නොගන්නා බවද සම්බන්දන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

[රසුල දිල්හාර ගමගේ]

 

මාතෘකා