පුරවැසි හිමිකම සහ තීන්දුව

 ඡායාරූපය:

පුරවැසි හිමිකම සහ තීන්දුව

 

ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසිභාවය ලබා දීම නීත්‍යනුකූල බව අභියාචනාධිකරණයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. ඊට එරෙහිව පෙත්සම්කරුවන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර තිබේ.

සවිස්තර කරුණු පසුවට

අභියාචනාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නිශ්ප්‍රභ කිරීමට අදාළ සවිස්තර කරුණු මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. මෙය හදිසි කටයුත්තක් ලෙස සලකා පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වවල එකඟතාවෙන් තීන්දුව පමණක් ප්‍රකාශයට පත් කිරීම පසුගිය 04 වැනිදා සිදු විය. සවිස්තරාත්මක නඩු තීන්දුව නිකුත් කිරීමට තවත් සතියක කාලයක් ගත වනු ඇතැයි අධිකරණ ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

ඕනෑම පුද්ගලයකුට යම් කාරණයක් හේතුකොටගෙන අභියාචනාධිකරණයට ගොස් සාධාරණය ඉල්ලා සිටීමේ හැකියාව ඇති අතර එම තීන්දුවට එකඟ නොවන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ හැකියාවද ඇත. කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ තීන්දුව ස්වාධීන අධිකරණ පද්ධතියට ගරු කරමින් පිළිගත යුතු අතර ඒ සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.

පෙත්සම කෙටියෙන්

තීන්දුවට අනුව මහින්ද රාජපක්ෂ සිය සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ ක්‍රියාදාමය නීත්‍යනුකූලය. ඒ සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් විසින් මතු කරන ලද කරුණු පිළිගත නොහැක.

පෙත්සමේ සඳහන් කරුණු සරලව මෙසේය.

- ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (අ) අනු ව්‍යවස්ථාව සමඟ කියැවිය යුතු 92 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන තැනැත්තකුට රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමේ නීතිමය හැකියාවක් නැත.

- ගෝඨාභය රාජපක්ෂ 2003 ජනවාරි 31 වැනිදා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ඇත. ඒ අනුව එතෙක් ඔහු දැරූ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ස්වයංක්‍රීයව අහෝසි වේ.

- මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය.

- ඒ ඔහු අගමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී බැවින් ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ අගමැති ධුරය දැරීම අවසන් වේ.

- අගමැති ධුරය දැරීම අවසන් වීමත් සමඟ කැබිනට් මණ්ඩලයද විසිරී යයි.

- ඒ අනුව කැබිනට් මණ්ඩලය විසිරීමත් සමඟ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේද ධුරය දැරීම අවසන් වේ.

- ඉන්පසු නැවත ගැසට් නිවේදනයක් මඟින් අමාත්‍ය තනතුරුවලට සහ අමාත්‍යංශ ලේකම් තනතුරුවලට පුද්ගලයන් පත්කරන තුරු එම තනතුරු හිස්ව පවතී.

- එසේ තනතුරු හිස්ව පවත්නා අවස්ථාවකදී වැඩ බැලීම සඳහා ගැසට් නිවේදනයක් මඟින් පත්කර නොමැත්තේ නම් හෝ වෙනත් නෛතිකව පිළිගත හැකි හෝ සනාථ කළ හැකි ක්‍රමයකින් බලය ලැබී නොමැත්තේ නම් හෝ එම තනතුරු වෙනුවට ලේඛන අත්සන් කිරීමේ බලය කිසිවකුට නොමැත.

- නව කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් පත්කර ඇත්තේ 2005 නොවැම්බර් 23 වැනිදාය.

- අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත්කර ඇත්තේ 2005 දෙසැම්බර් 13 වැනිදාය.

- ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කරන්නේ, එනම් ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලාංකික පුරවැසියකු බවට නිල වශයෙන් පත්වන්නේ 2005 නොවැම්බර් 21 වැනිදාය. එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන සිකුරාදා දිනයට දින තුනකට පසුව එළැඹෙන සඳුදා දිනයේය.

- ඒ අවස්ථාව වන විට ද්විත්ව පුරවැසිභාවය විෂය අදාළ වන අමාත්‍යවරයකු හෝ අමාත්‍යංශ ලේකම්වරයකු පත්කොට සිටියේ නැත.

- එබැවින් ගෝඨාභය රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම විදේශ පුරවැසිභාවය දරන පුද්ගලයකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය කිරීමට බලය ඇති කිසිවකු ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කරන 2005 නොවැම්බර් 21 වනදා වන විට ශ්‍රී ලංකාවේ සිටියේ නැත.

- එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය යනු වාහනයක ආදායම් බලපත්‍රයක් ලබා ගන්නා ආකාරයට එක දවසින් ලබා ගත හැකි සහතිකයක් නොවේ. ඒ සඳහා නිසි අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටියක් සහ ගොනු කළ යුතු ලේඛන රාශියක් තිබේ.

- එපමණක් නොව ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට සුදුස්සකු වීමට තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු වේ. ඒ සඳහා දීර්ඝ සහ සැලකිය යුතු කාලයක් ගතවන ක්‍රියාපටිපාටියක් ඇති අතර එය කිසිසේත්ම දිනක් ඇතුළත සම්පූර්ණ කළ හැකි කටයුත්තක් නොවේ.

- ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියකු බවට පත්වන 2005 නොවැම්බර් 21 දිනැති සහතිකයේ වලංගුභාවය දැඩි ලෙස අභියෝගයට ලක්වී ඇත.

- එම තත්ත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇතත් නැතත් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියකුද නැද්ද යන්න දැඩි ලෙස ප්‍රශ්නගතය.

- එපමණක් නොව ඔහු එම ලේඛනය භාවිත කොට පසුව ලියාපදිංචි වූ (ඡන්ද හිමි නාමලේඛනය වැනි) ලේඛන සියල්ලේද වලංගුභාවය ඒ අනුව ප්‍රශ්නගතය.

- සහතිකයක් තිබූ පමණින් යමක් සනාථ නොවන අතර එම සහතිකය නිකුත් කිරීමට පසුබිම් වූ කාරණා සහ සහතිකය අත්සන් තබා ඇති අයට එසේ අත්සන් තැබීමට බලය තිබුණේද යන්න මෙහිදී අභියෝගයට ලක්කර ඇති කරුණු වේ.

- යම් හෙයකින් ඉහත කී 2005 නොවැම්බර් 21 දිනැති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිසි බලයක් යටතේ නිකුත් කරන ලද නීත්‍යානුකූල සහතිකයක්ද, නැතහොත් නෛතික වටිනාකමක් නැති හුදු කඩදාසියක්ද යන්න මෙහි ඇති තීරණාත්මක කරුණ බවට පත් වේ.

- ඊට අමතරව ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමෙන් පසු ලබාගෙන ඇති ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය සඳහා ඒ වන විට වලංගු තත්ත්වයේ නොමැති ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම, අනුක්‍රමික අංකවල නොගැලපීම් ආදී කාරණා ගණනාවක් පිළිබඳව අදාළ පෙත්සමේ සැකෙවින් දක්වා ඇත.

නීත්‍යනුකූල / සදාචාර විරෝධී වැඩක්

මෙහිදී මුළුමනින්ම භාවිත කර ඇත්තේ මහින්ද රාජපක්ෂට 2005 නොවැම්බර් 18 වැනිදා සිට ජනතාව ලබා දුන් විධායක බලයයි. තීන්දුවට අනුව එය භාවිත කළ ක්‍රමවේදයේ කිසිදු නීත්‍යනුකූල ගැටලුවක් නැත. එහෙත් එය සදාචාර විරෝධී බව බැලූ බැල්මටම පෙනී යයි. මතුගම ප්‍රදේශයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වූ මවුවරුන් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය තීන්දු කළේය. මේ තීරණය නීතිය හා සදාචාරය අතර ගැටලුවකි. අත දරුවන් පවා සිටි අම්මලා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සදාචාර විරෝධීය. නීතියට අනුව බලහත්කාරයෙන් රාජ්‍ය දේපොළකට ඇතුළු වී අලාභහානි කිරීම වරදකි.

මහින්දගේ සහ ගෝඨාභයගේ කාරණය මීට වඩා වෙනස් වන්නේ මෙසේය.

ළබැඳියාවන් පිළිබඳ ගැටලුවක්

මහින්ද රාජපක්ෂ සිය විධායක බලය පාවිච්චි කර ඇත්තේ තමන්ගේ බාල සහෝදරයා වෙනුවෙන්ය. ළබැඳියාවන් පිළිබඳ ගැටලුවක් එහි ඇත. ඒ දිනය වන විට ගෝඨාභය රාජපක්ෂ යනු මෙරට පුරවැසියකු නොවේ. ඔහු ඇමෙරිකානුවෙකි. ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව ඇමෙරිකාව වෙනුවෙන් කැපවන්නට පොරොන්දු වූ අයෙකි. එය ගෝඨාභය රාජපක්ෂගේ තීරණයකි. ඔහුට ඒ සඳහා ස්වාධීන අයිතියක් ඇත.

ජනතාවගේ පරමාධිපත්‍ය බලය

පරමාධිපත්‍ය බලය රැඳී ඇත්තේ ජනතාව අතේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එම බලය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුනට බෙදා දී තිබේ. ඒ සංවරණ හා තුලන මූලධර්මය මතය. එනම් එක් ආයතනයක බලය, අනෙක් ආයතනයේ බලයෙන් සීමා නොවන හා එක් ආයතනයක බලය තවත් ආයතනයක බලය ඉක්මවා නොයන ආකාරයටය. විධායක ජනාධිපති බලය යනු ජනතාව විසින් ඒ කාලයේදී මහින්ද රාජපක්ෂට තාවකාලිකව පවරන ලද්දකි. මේ බරපතළ වගකීම ජනතාව විසින් තාවකාලිකව ජනාධිපති ධුරය දරන තැනැත්තාට පවරනු ලබන්නේ හිතුමතේට, ළබැඳියාවන්ට මූලිකත්වය ලබා දෙමින් කටයුතු කරන්නට නොවේ.

ජේ.ආර්ගේ උපක්‍රමය

මේ කියන විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කිරීමේ මූලිකයා වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කිව්වේ මේ ව්‍යවස්ථාවෙන් ගැහැනියක පිරිමියකු කිරීමත් පිරිමියකු ගැහැනියක කිරීමත් හැර අනෙක් සියලු කටයුතු කළ හැකි බවයි. එහි අදහස වන්නට ඇත්තේ මේ ක්‍රමයේ ඇති බලය පැහැදිලි කිරීමයි. ජේ.ආර්. ජයවර්ධනගේ මේ අත්තනෝමතික ක්‍රමය 1994 පත් වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ සිට සියල්ලන් අහෝසි කරන බව කිව්වද කළේ නැත. සියල්ලන්ට එය මතක් වන්නේ විපක්ෂයේ සිටින විටය. ආසන්න උදාහරණය වන්නේ මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු විධායක ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට මහින්ද රාජපක්ෂද පක්ෂ වීමය.

ජනපතිට රාජකීය බලයක් හිමිද?

කෙසේ වෙතත් ව්‍යවස්ථාවෙන් පවරා ඇති මේ අත්තනෝමතික බලය පිළිගත නොහැකි වුවද එය වුවත් ක්‍රියාත්මක කළ යුතු විධිමත් ක්‍රමවේදයක් ව්‍යවස්ථාවේම දක්වා ඇත. එම ක්‍රමවේදයට අනුව අවසන් තීන්දුව ගැනීමේ බලය ජනාධිපතිවරයා සතුය. මෙරට ජනාධිපතිවරයා යනු රාජකීය බලයක් හිමි තැනැත්තකු ලෙස ව්‍යවස්ථාවෙන් හඳුන්වා නැත. ඔහු විධායකයේ ප්‍රධානියා පමණි. එම නිසා ළබැඳියාවන්ට ප්‍රමුඛතාව දෙමින් සදාචාර විරෝධී තීන්දු ගැනීමට විධායක ජනාධිපතිවරයකුට අයිතියක් නැත.

වෙනස්කොට සැලකීම

එහෙත් මහින්ද රාජපක්ෂ සමග එක කුසේ උපන්නද 2005 නොවැම්බර් 21 වැනිදා වන විට ගෝඨාභය රාජපක්ෂ කියන්නේ විදේශීය පුරවැසියෙකි. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලාංකිකය. ගෝඨාභය ඇමෙරිකන්ය. මේ තත්ත්වය වෙනස් කරමින් ද්විත්ව පුරවැසියකු වීමට එනම්, ලංකාවේද පුරවැසිභාවය ලබා ගැනීමට ඕනෑම අයකු ඉදිරිපත් කළ යුතු ලියකියවිලි රාශියක් ඇත. උපතින්ම ලංකාවේ පුරවැසියකුට ජාතික හැඳුනුම්පතක් හෝ ආගමන විගමන බලපත්‍රයක් ලබා ගැනීමට ලියකියවිලි කොතරම් ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතුද? ඇමරිකානු පොලිසිය මගින් ඉදිරිපත් කරනු ලබන සහතිකය ඇතුළු මේ ලියකියවිලි විධිමත් පරිදි ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ බවට සාක්ෂි නැත. ආගමන විගමන පාලකවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම ලියකියවිලි කිසිවක් තම දෙපාර්තමේන්තුව සතුව නැති බවයි. එවැනි තත්ත්වයක් තුළ වැඩ කරන දිනයකදී මේ සියලු අනුමැතීන් ලබා ගැනීමට හැකි වීම යනු වෙනස් කොට සැලකීමක් නොවන්නේද? ඔබට / මට එසේ කළ හැකිද?

අභියාචනාධිකරණ තීන්දුව පිළිගත හැකිද?

අභියාචනාධිකරණය මඟින් තීරණය කර ඇත්තේ මේ ක්‍රමවේදය නිවැරදි බවයි. මෙතෙක් සවිස්තරාත්මක කරුණු අධිකරණයෙන් ඉදිරිපත් කර නැති නිසා එහි සාධාරණ සහ යුක්තිගරුකභාවය සම්බන්ධයෙන් වෙනස් අර්ථකථන ද තිබිය හැකිය.

 [ශාලික විමලසේන]

මාතෘකා