ටී.එන්.ඒ. සහාය සජිත්ට

ටී.එන්.ඒ. සහාය සජිත්ට

- මන්ත්‍රී සරවනබවන්

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ රැස්වීමකින් මෙතෙක් තීරණයක් ගනු නොලැබුවත් ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනබවන් මහතා පෙරේදා (5) යාපනයේදී මාධ්‍යවේදීන්ට පැවසීය.

සරවනබවන් මන්ත්‍රීවරයා කියා සිටින්නේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයින් හමු වී ඔවුන් විසින් උතුරු නැගෙනහිර අර්බුදය සඳහා ඉදිරිපත් කරන විසඳුම් කෙරෙහි අවධානයයොමු කරන බවයි.

ජනධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධනයට වඩා උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය වැදගත් වන අතර පක්ෂය ජනතාවට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කළ යුත්තේ ඔවුන්ට කරුණු අවබෝධ කොට දීමෙන් පසුව බව පවසන සරවනබවන් මන්ත්‍රීවරයා එසේ කිරීමේදී ජනතාවට හඳුන්වාදීමට සිදු වන්නේසජිත් ප්‍රේමදාස මහතා බවද කියා සිටියේය. මේ සියලුම අපේක්ෂකයින් සිංහල බෞද්ධ ස්වරූපයෙන් කටයුතු කරන අය වුවත් අපේක්ෂකයා ඉදිරිපත් වන පක්ෂයේ පොදු ප්‍රතිපත්ති දෙස බලන විට දෙමළ ජාතික සන්ධානයට සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂය මුල් වී සිටින අපේක්ෂකයා තෝරා ගැනීමට නිසා එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට සිදු වන බවද පැවසීය.

යුද්ධයට සම්බන්ධ හා යුද අපරාධවලට සම්බන්ධ පිරිසකට සහය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් කැමති නැති බව කී සරවනබවන් මන්ත්‍රීවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවද ඒ මතයේම සිටින නිසා මේ සියලුම සාකච්ඡා හා තීන්දු තීරණවලදී අවසානයේදී සජිත් ප්‍රේමදාස මහතා තෝරා ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදු වන බවද සඳහන් කළේය.

[රසුල දිල්හාර ගමගේ]

මාතෘකා