අරාබි භාෂාවෙන් නාමපුවරු පවත්වාගෙන යෑම නීතියෙන් මඩලනවා : අමාත්‍ය පාඨලී චම්පික

 ඡායාරූපය:

අරාබි භාෂාවෙන් නාමපුවරු පවත්වාගෙන යෑම නීතියෙන් මඩලනවා : අමාත්‍ය පාඨලී චම්පික

අරාබි භාෂාවෙන් විවිධ නාමපුවරු පවත්වාගෙන යෑම මෙන්ම වෙනම පාලනයක් පවත්වාගෙන යන තත්ත්වයන් වහාම නීතිමය වශයෙන් මැඩලීමට කටයුතු කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (28) රට රකින - රට හදන ජාතික මඟ වැඩසටහන පිළිබඳ මහ නාහිමිවරුන් දැනුවත් කර අනුශාසනා ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“කවුරුත් දන්නවා පසුගිය පාස්කු ඉරිදා සිදුවුණු අන්තවාදී ප්‍රහාරය ගැන. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයට රටක් හැටියට, සමාජයක් හැටියට අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක ගැන පක්ෂ භේදයෙන් තොරව වෘත්තියවේදීන්, මන්ත්‍රීවරු, ආගමික නායකයන් එකතු වෙලා අපි ජාතික මඟ කියලා ආයතනයක් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූවා. එතනදී අපි කරුණු 7ක වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ රටට ස්ථිර වශයෙන්ම මේ අන්තවාදය මැඬලා සාමකාමී සාමාජයක් ඇතිකර ගැනීම වෙනුවෙන්. ඒ වැඩපිළිවෙළ අපි මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ටත් අනුනායක ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම රාමඤ්ඤ නිකායේ මහනායක හිමිවරුන්ටත් ලබාදී උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීම තමයි අද දින සිදු කරනු ලැබුවේ.

“මහනාහිමිවරු සෙසු සමාජය වගේම මෙම සිදුවීම් ගැන කම්පනයෙන් ඉන්නේ. උන්වහන්සේලාත් යම් නිශ්චිත යෝජනාවලියක් රජයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවන බව පැවසුවා. දැනටමත් මහනායක ස්වාමීන් වහන්සේලා සිව් නමම රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, එම අමාත්‍යාංශ සහ ආයතන එකතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙනවා යෝජනාවලියක්; අපි ඉදිරිපත් කරලා තිබෙනවා යෝජනාවලියක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු, දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු යන සියලු දෙනාගේම අදහස් උදහස් ඇතිව ඉදිරි මාසය හෝ දෙකක් ඇතුළත මේ ප්‍රශ්නය ස්ථිරසාරව විසඳන්න පුළුවන් සහ ජනතාවගේ සැකබිය දුරු කරන්න පුළුවන් නීති පද්ධතියක් ඇතිකරලා දිගුකාලීන විසඳුම් ලබාදීම රජයේ අරමුණයි.

“හදිසි නීතිය අපට හැමදාම පවත්වාගෙන යන්න බැහැ. ස්ථිර නීතියක් යටතේ මේ ත්‍රස්තවාදී ක්‍රියා, අන්තවාදී ක්‍රියා වෛරී ප්‍රකාශ කරන අය, මුස්ලිම් මූලධර්මවාදීන් හෝ වෙනත් ඕනෑම අයකු වේවා මර්දනය කිරීම සඳහා කටයුතු යොදා ගැනීම කළ යුතුයි. ඒ වගේම වෙනම පාලනයක්, වෙනම සමාජයක් ඇතිකරගෙන යෑම, විශේෂයෙන්ම මද්‍රසා පාසල්, ෂරියා විශ්වවිද්‍යාල, බුර්කා ඇඳුම් පැලඳුම්, අරාබි භාෂාවෙන් විවිධ නාමපුවරු පවත්වාගෙන යෑම, වෙනම පාලනයක් පවත්වාගෙන යන තත්ත්වයන් වහාම නීතිමය වශයෙන් මැඩලීමට කටයුතු කිරීම කරනවා. ඒ වගේම අහිංසක නිරායුධ පුද්ගලයන්ගේ දේපළ විනාශ කිරීමට කටයුතු කරන පිරිස් දැඩිව මර්දනය කරලා සාමකාමී වාතාවරණයක් සමාජයේ ඇති කර ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම මේ සිද්ධියෙන් විශාල ආර්ථික ව්‍යසනයක් සිදුවුණා. ඒ ව්‍යසනයට පත් වූ පිරිස්වලට දැනටමත් රජයෙන් යම් යම් සහන දීලා තිබෙනවා. ඒ වගේම සමාජීය වශයෙන් අපි යෝජනා කළා ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ආරක්‍ෂක මණ්ඩලවලට යන්න ඕනේ කියලා. අපිට සතුටුයි කියන්න; ජනාධිපති, අගමැති, විපක්ෂනායක සහ කථානායකතුමා සිටින ආරක්‍ෂක උපදේශක සභාවක් දැන් හදලා තිබෙනවා. එය අපි හොඳ දෙයක් විදිහට දකිනවා. මොකද මේකට පක්ෂ විපක්ෂ භේදයක් අවශ්‍ය නැහැ ඉදිරියට යන්න. දැන් අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි නීති රීති ටික සකස් කරගන්න පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම කැමැත්තෙන්.

“දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනකු යෝජනා 11ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒක අපි ආරක්‍ෂක ආංශික කාරක සභාවට ඉදිරිපත් කළා. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී පැය ගණනාවක් අපි මේ සම්බන්ධයෙන් ඒ ඒ ආයතනවල තිබෙන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපේ ඉලක්කය ඒ ඒ ආයතන; අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශවල ඒ කාර්යභාරය හැකි ඉක්මනින් ඉටු කරලා පාර්ලිමේන්තුවේ ඒ නීති සම්මත කරගැනීමට කටයුතු කරයි කියලා. එතන දී අපේ කිසිම පක්ෂ භේදයක් නැහැ. අපි සියලු දෙනාම එකට එකතුවෙනවා.

“අපි හැමෝගෙම ඔළුවල යම් යම් අදහස් තිබෙනවා වෙන්න පුළුවන්. අපි යම් යම් ඇදහීම්වල ඉන්න පුළුවන්. නමුත් අපි ජීවත් වෙන්නේ එකිනෙකට වෙනස් සියලු ඇදහීම් ඇති සමාජයක. ඒ නිසා අපි ඒවා ගැන පරිස්සම් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට බයිබලයේ තිබෙනවා ඇසට ඇසක්; දතට දතක් කියලා. එතකොට ඇපේ කාදිනල් වහන්සේ ඇතුළු පිරිස් ඒවා ක්‍රියාත්මක කළ යුතුයි කියලා කතෝලික ජනතාවට කිව්වා නම් අද මේ රටේ තත්ත්වය මොකද්ද? එහිදී උන්වහන්සේලා බුද්ධිමත්ව කටයුතු කළා. බුද්ධිමත්ව කටයුතු කරලා සමාජයේ සංහිඳියාව ඇතිවීමට කටයුතු කිරීම තමයි ආගමික නායකත්වයේ වගකීම. දේශපාලකයන්ගේද වගකීම එය විය යුතුයි. දේශපාලකයාගේ වගකීම තමන්ගේ ඔළුවේ තිබෙන අදහස ප්‍රකාශ කිරීමවත් තමන් දරන මතය පිළිබඳ ඉවක් බවක් නැතිව අනෙක් අයගේ මත ගැන හිතන්නේ නැතිව කටයුතු කිරීමවත් නෙවෙයි. තිබෙන සංස්කෘතික තත්ත්වයන් මිනිසුන්ගේ ඇදහීම් එක්ක ජීවත්වෙමින් ඒවාට ගරු කරමින් සමාජයේ ප්‍රශ්න ඇතිනොවන ආකාරයට තමන්ගේ මතවාද ප්‍රකාශ කිරීම තමයි දේශපාලකයාගේ වගකීම.”

මාතෘකා