ඕනෑම අයකුට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න අද නිදහස තිබෙනවා : ඇමතිනී තලතා අතුකෝරළ

 ඡායාරූපය:

ඕනෑම අයකුට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න අද නිදහස තිබෙනවා : ඇමතිනී තලතා අතුකෝරළ

තමන්ගේ ඡන්දය ඕනෑම අයකුට නිදහසේ පාවිච්චි කිරීමේ හැකියාව අද තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (27) රුපියල් ලක්ෂ 487ක් වැය කරමින් ඉදි කළ රත්නපුර නිවිතිගල පාතකඩ හිල්පින්න පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

“අපි මේ කරන්නේ ප්‍රාදේශීය සභාවේ වැඩ. අපි මේ ලංකාවේ හැම වසමකටම මේ ආණ්ඩුව යටතේ රුපියල් කෝටියකට වඩා වැඩි වැඩ කොටසක් කරලා තියෙනවා. අපි ආණ්ඩු බලය ඉල්ලුවේ ජනතාවට වැඩ කරන්න. ලොකුවට සිංහල බෞද්ධකම ගැන කතා කරන්න අපිට පුළුවන්. ඒත් මනුස්සකමක් ඇතිව ජීවත් වෙන්න ඕන. තවත් මනුෂ්‍යයකුට ඊර්ෂ්‍යා කරනවා හැබැයි කියන්නේ අපි එක රටේ ජීවත් වෙන්න ඕන කියලා. තමුන්නාන්සේලා දන්නවනේ මේ නිවිතිගල තිබුණේ කොහොමද කියලා ජනාධිපතිවරණය කාලේ මෙහෙට එන්නවත් බැරි වුණා. ජනාධිපතිවරණය කාලේ එකම මනුෂ්‍ය ඝාතනය වුණේ මේ නිවිතිගල ආසනයේ. එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පාසල් පොත් ටික නොමිලේ දුන්නා. ප්‍රේමදාස ජනාධිපතිතුමා නිල ඇඳුම් දුන්නා. ඒත් සමඟ පාසල් යාම වැඩි වුණා. ඒ නිසා තමයි උගත් පරම්පරාවක් මේ රටේ ඇති වුණේ. එදා යූ.එන්.පී. කාරයෙක් වුණා නම් වතුර ටික දුන්නේ නැහැ. යූ.එන්.පී. කාරයෙක් වුණා නම් කොච්චර දුප්පත් වුණත් සමෘද්ධිය දුන්නේ නැහැ.

“ඒවා දුන්නේ සමෘද්ධි නියාමකට ඕන විදිහට. 95 ඉඳලා අවුරුදු 25ක් විතර සමෘද්ධිය ලබා දුන්නා කිසිම සවිබල ගැන්වීමක් නැහැ. අපි අලුතෙන් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දෙනවා. අද අපි අවශ්‍ය පරිදි හිතේ හැටියට සංවර්ධන කටයුතු සිදු කරනවා. ඒ සඳහා අගමැතිතුමා නායකත්වය ලබා දෙනවා. අපි ඔක්කොම ඉපදුන රටේ නිදහසේ මැරෙන්න ඕන. අපි සදාකාලිකව ජීවත් වෙන්නේ නැහැ. මම දැන් ප්‍රාදේශීය සභාවේ වැඩේ කරන්නත් ඕන. පළාත් සභාවේ වැඩේ කරන්නත් ඕන. මොකද කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ. අවුරුදු 20ක් තිස්සේ හිටපු අය මේවා කළා නම් කරන්න තිබුණා. අපි දන්නවා හිටපු අය කරපු වැඩ. සමස්තයක් හැටියට බලපුවහම මුළු රටේම අය බැලුවේ තම තමන්ගේ වාසිය. දුප්පත්කම ඔළුව උඩ තියාගෙන හිටියත් කුහක විදිහට පසුගිය කාලයේ ජීවත් වුණේ. අපි එතන නැහැ. අද නිදහස තියෙනවා. ඕනම කෙනකුට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් නිදහස අද තියෙනවා. රටක් ලෙස අපි පසුගිය කාලයේ ප්‍රශ්න රාශියකට මුහුණ දුන්නා. අපි පුළුවන් තරම් ඒවා ජනතාවගේ පැත්තේ ඉඳලා විසඳුවා. ඡන්ද අයිතිය පාවිච්චි කිරීමේ නිදහස අපි ලබා දීලා තියෙනවා. අද ප්‍රාදේශීය සභාවෙන් මොකක්ද කෙරෙන්නේ කියලා හිතෙනවා.”

මාතෘකා