සංවිධානාත්මක පහරදීම්වල අරමුණ රජය අසීරුතාවට පත් කිරීමයි : අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

 ඡායාරූපය:

සංවිධානාත්මක පහරදීම්වල අරමුණ රජය අසීරුතාවට පත් කිරීමයි : අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

ප්‍රදේශ කිහිපයක පසුගියදා සිදුවූ සංවිධානාත්මක පහරදීම්වල අරමුණ රජය අසීරුතාවට පත් කිරීම බවත් ඊට සම්බන්ධ පුද්ගලයන් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා (15) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“පසුගිය 21 වැනිදායින් පස්සේ සති තුන ඇතුළත මේ රටේ පාලනය, මේ රටේ රාජ්‍ය සේවය, සංවර්ධන කටයුතු සියල්ල යථා තත්ත්වයට පත් වුණා. ඒ සති තුන ඇතුළත ඒ ත්‍රස්තවාදී සංවිධානයට අයත් සියලුම දෙනා වගේ අත්අඩංගුවට ගත්තා. අනෙක් අය සියදිවි නසා ගත්තා. ජනතාවට අවශ්‍යත් ආණ්ඩුවට අවශ්‍යත් මේ රට සාමාන්‍ය තත්ත්වයට ගේන්න.

එදිනෙදා කටයුතු කරගෙන යන්න. අප්‍රේල් 21 වැනිදා මේ සිද්ධිය ඉවර වෙලා දවස් 22ක් යනකල් මේ රටේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්න රජයත් විශේෂයෙන් ආරක්‍ෂක අංශත් ඉඩ දුන්නේ නැහැ. අපි දැක්කා 13 වැනිදා යම් කිසි සංවිධානාත්මක පිරිසක් යම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. මේ කරපු අය බලන්නේ ආණ්ඩුව අසීරුතාවට පත් කරන එකයි. පරීක්‍ෂණ ඉවර වුණාට පස්සේ අපි කියනවා කවුද මේවට සම්බන්ධ කියලා.

“රටක හොඳම ආයෝජනය තමයි අධ්‍යාපනය. අපේ අනාගත පරම්පරාවේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න මේ පිරිස කටයුතු කළා. සමහර අය අසත්‍ය ප්‍රචාර පතුරුවා ජනතාව බිය ගැන්වූවා. අපිට අවශ්‍ය අපේ දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා පාසල් ඉක්මනින් ආරක්ෂිතව විවෘත කිරීම. ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා රටේ ජනතාවට පණිවිඩයක් දුන්නා රටේ ආරක්ෂාව තර කර තිබෙනවා පාසල් අරින්න කියා. එය ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් රජයවත් ගත්තු තීන්දුවක් නෙමෙයි ආරක්ෂක අංශවල උපදෙස් පරිදි තමයි මේ ක්‍රියාමාර්ගය ගත්තේ.

දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කර, එයට අවස්ථාව නොදී තමන්ගේ දේශපාලන බලය වැඩි දියුණු කර ගැනීමට විපක්ෂයේ ඇතැම් පිරිස් කටයුතු කරනවා අපි දැක්කා. මේ වගේ සිදුවීම් සඳහා ඉඩ දිය යුතු නෑ. දැනටමත් සිද්ධීන්වලට සම්බන්ධ පිරිස් සැකපිට අත්අඩංගුවට ගත්තා. පරීක්ෂණ කටයුතු කරන නිලධාරීන්ට ඇතැම් පුද්ගලයන් බාධාවක් වී තිබෙනවා. පොලිසිය, ත්‍රිවිධ හමුදාවට එවැනි බාධා කිරීම් මඟින් පරීක්ෂණ කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කරන්න නොහැකි වෙනවා. අපට අවශ්‍ය අප්‍රේල් 13 වැනිදා මේ සිද්ධිය ඇති කරපු කණ්ඩායම් සඳහා පරීක්ෂණ කර ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්න. දැනටමත් ජනාධිපතිවරයා ජාතිවාදී සංවිධාන තුනක් තහනම් කර ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ සංවිධාන මැඩපැවැත්වීමට අවශ්‍ය කටයුතු ආරක්ෂක අංශවලට කරන්න තිබෙනවා.”

මාතෘකා