ජාතිවාදී සහ අන්තවාදී කුඩා කණ්ඩායමක් රටේ යළි ගැටුමක් නිර්මාණය කරන්න හදනවා : ටිල්වින් සිල්වා

 ඡායාරූපය:

ජාතිවාදී සහ අන්තවාදී කුඩා කණ්ඩායමක් රටේ යළි ගැටුමක් නිර්මාණය කරන්න හදනවා : ටිල්වින් සිල්වා

අවස්ථාවාදී, ජාතිවාදී සහ අන්තවාදී කුඩා කණ්ඩායමක් රට තුළ යළි ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමේ උත්සාහයක නිරත වන බවත් එමඟින් මර්දනය කරමින් පැවති ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමට වාසි සලස්වමින් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“21 වැනිදා අවාසනාවන්ත ප්‍රහාරයෙන් පසුව සති තුනක් ගත වී තිබියදී තවමත් එයින් අපේ රටට මිදෙන්න බැරි වෙලා තිබෙනවා. එදින එල්ල වූ ප්‍රහාරයෙන් පසුව රට ඉතා අනතුරුදායක තත්ත්වයකට පත් වුණා. ජනතාව තුළ විශාල බියක්, සැකයක් නොසන්සුන්තාවක් ඇති වෙලා තිබෙනවා. දැන් සිදු කළ යුතුව තිබෙන්නේ බිය සැක දුරු කරලා නැවතත් සාමාන්‍ය තත්ත්වයට රට ගෙන ඒම සහ ඉස්ලාම් අන්තවාදීන් මුළුමනින්ම පරාජය කිරීමයි.

“පහුගිය කාලයේ සිංහල මෙන්ම මුස්ලිම් නායකයනුත් ජාතිවාදය පෝෂණය කළා. ඊළඟට බලයට එන්න බලාගෙන ඉන්න කණ්ඩායම්, ජනාධිපති හීන දකින පුද්ගලයන් එම ජාතිවාදයට උදවු කළා. දැන් හෙළිදරව් වෙලා තිබෙන කරුණුවලට අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් ධුරය දරන කාලයේ අන්තවාදීන්ට සහ ජාතිවාදීන්ට එකම ගිණුමෙන් මුදල් ලබා දීලා තිබෙනවා. ඔවුන්ගේ අරමුණ ජනතාව තුළ බියක් හදලා එම භීතිය පාවිච්චි කරලා තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමයි. ඔවුන්ගේ වුවමනාවන් ඉටු කරන ජාතිවාදී, අන්තවාදී සුළු කණ්ඩායමක් ගැටුම් හදන්න කටයුතු කරනවා. මේ ගැටුම් නිසා නැවත වතාවක් මර්දනය කරන්න හදන අන්තවාදය හිස ඔසවන්න ඉඩක් හදනවා. ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියා සාධාරණීකරණය කර ගන්න අවස්ථාවක් හදලා දෙනවා.

“මේ වන විට අපේ රටට ජාත්‍යන්තර මැදිහත්වීමක් තිබෙන බවට විවිධ ප්‍රකාශ නිකුත් වෙනවා. අධිරාජ්‍යවාදීන් කුමන්ත්‍රණය කරනවා නම් ඔවුන්ට අපේ රටට මැදිහත් වෙන්න අවස්ථාවක් ඕනෑ. ජාතිවාදී ගැටුම්වලින් ජීවිතවලට හානි වුණොත් දේපළ විනාශ වුණොත් අධිරාජ්‍යවාදයට එය වාසියක් වෙනවා අපේ රටට මැදිහත් වෙන්න. ඒ අනතුර කැඳවා ගන්න ඕනද? නැවතත් අපේ රටට ජිනීවා මානව හිමිකම් කොමිසමේ විවිධ බලපෑම් ඕනද? දේශප්‍රේමය, ජාති ආලය ගාගත් ඇත්තටම දේශෙප්‍ර්මයක් හෝ ජාති ආලයක් නැති කොල්ලකරුවන්, ගිනි තියන්නන් පිරිසක්, කපන කොටන එක විනෝදයක් කරගත් සුළු කණ්ඩායමක් නිසා අපේ රටට අපකීර්තියක් ඇතිකරගත යුතුද? පසුගියදා සිදුවූ සිදුවීම සමනය කරලා ජනතාව තුළ සමගිය ගොඩනඟනවා වෙනුවට නැවතත් අපේ රටේ ජනතාව තුළ සැකය, අවිශ්වාසය, භීතිය හදන ක්‍රියා මාර්ග ගන්නේ ඇයි? පහුගිය කාලයේ අපේ රටේ මාධ්‍ය තුළ බොහෝ පිරිසක් සිදු කළේ ජනතාව තුළ සමගිය ඇති කරනවා වෙනුවට සැකය, අවිශ්වාසය හදන ක්‍රියාමාර්ගයි.

“ජාතික ආරක්‍ෂාවත් මහජන ආරක්‍ෂාවත් පිළිබඳව දැන් කථිකාවක් ඇති වෙලා තිබෙනවා. ජනතාවක් ලෙස අපිට ඉතාමත් වැදගත් වෙන්නේ මහජන ආරක්‍ෂාවයි. මොකද ළමුන්ට පාසල් යන්න, ජනතාවට කෝච්චියේ, බස් එකේ වැඩට යන්න මහජන ආරක්‍ෂාව ඉතාම වැදගත්. තවමත් රට තුළ මහජන ආරක්‍ෂාව තහවුරු වෙලා නැති නිසා ළමුන් පාසල් යන්නේ නැහැ. ජනතාව කෝච්චියේ, බස් එකේ යන්නේ නැහැ. ඒ නිසා රටේ ජාතික ආරක්‍ෂාව වගේම මහජන ආරක්‍ෂාවත් තහවුරු කළ යුතුයි. රට තුළ ජාතික සමගිය ගොඩනඟන්නේ නැතිව ජාතික ආරක්‍ෂාව හෝ මහජන ආරක්‍ෂාව තහවුරු කරන්න බැහැ. ගැටුම් තිබෙන රටක මහජන ආරක්‍ෂාවක් නැහැ. ජනතාව තුළ සමගියක් නැත්නම් එකිනෙකාට ප්‍රහාර එල්ල කරන්න අයුධ එකතු කරනවා නම් මහජන ආරක්‍ෂාවක් නැහැ. එම ජාතිවාදී ගැටුම් ඇති කරන කුඩා කණ්ඩායම්වලට දේශපාලනික කණ්ඩායම්වලට එය තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ.”

මාතෘකා