මිනුවන්ගොඩ කලබලයට සම්බන්ධ සියල්ලන්ටම තරාතිරම නොබලා දඬුවම් දෙන්න : අමාත්‍ය අර්ජුන රණතුංග

 ඡායාරූපය:

මිනුවන්ගොඩ කලබලයට සම්බන්ධ සියල්ලන්ටම තරාතිරම නොබලා දඬුවම් දෙන්න : අමාත්‍ය අර්ජුන රණතුංග

මිනුවන්ගොඩ කලබලයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන්නැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ආරක්ෂ අංශවලින් ඉල්ලා සිටියි.

ඔහු එම ඉල්ලීම කළේ පෙරේදා (14) මිනුවන්ගොඩ නගරයේ කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“මේ රටට ඉතාමත් අවාසනාවන්ත සිද්ධි කිහිපයක් සිද්ධ වුණා 21 වැනිදා. මේ රටේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් ඇති වුණා. අපිට ඒක ඉතාමත් ඉක්මනින් විසඳගන්න පුළුවන් වුණා. ඒ අතර අපිට සඳුදා ලොකු ප්‍රශ්න වගයක් ඇති වෙන්න තිබුණා. අපේ පාසල්වලට බෝම්බ තියනවා කියලා කටකතා වගයක් ගියා. ඒකත් සමනය කර ගන්න පුළුවන් වුණා. නමුත් එදා රෑ වෙනකොටම වෙනම බලවේගයක් නීතිය අතට ගන්න හදනවා. ඒක ඇත්තටම දේශපාලනීකරණය වෙච්ච දෙයක් කියලා පේන්න තියෙනවා. මං ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ අපේ ළමයින්ගෙන් මේවට පැටලෙන්න එපා. ජාතිවාදය ඇවිස්සෙන කටයුතු කරන්න එපා. අපි අවුරුදු 30ක් දුක්වින්දා එදා කළු ජුලියත් එක්ක ඇති වුණු ප්‍රශ්නවලින්. නැවත වරක් මේ ප්‍රශ්න ඇති කරන්න නම් එපා. මෙවැනි දේවල් මේ රටේ සිදු නොවිය යුතු දේවල්. ඒවායේ යටින් ඉන්න සියලු දෙනාට දැඩි දඬුවම් දෙන්න ඕන කියලා මම කියනවා. එක ජාතියක් හැටියට එකට ජීවත් වෙලා ඉතාමත් ඉක්මනින් මේ රට ගොඩනඟන සංස්කෘතිය ඇති කර ගන්න කියලත් මම ඉල්ලනවා. නමුත් මට කනගාටුයි කියන්න අපි දැක්කා සමහර දේශපාලකයන් මේ වෙලාවේ කතා කරන්නේ වෙනම විදිහේ දේවල්. මේ වගේ අවස්ථාවක පිටරටවලදී වෙන්නේ ආණ්ඩුවයි විපක්ෂයයි ඔක්කෝම එකතු වෙලා රට වෙනුවෙන් වැඩ කිරීමයි. නමුත් අපි එහෙම නෙවෙයි.

මේ තත්ත්වය ඉක්මනට වෙනස් විය යුතුයි.”

මිනිසකුට පහර දීමට පෙර මිනිස් ජීවිතයක වටිනාකම ගැන දහස්වරක් සිතන්නැයි තමන් විවෘතව ඉල්ලා සිටින බවද ඔහු මෙහිදී වැඩිදුරටත් කීවේය. එම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලනඥයන් මෙන්ම ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන්ද හමු විය.

මාතෘකා