මේ එල්ටීටීඊය නෙවෙයි: මොවුන් පරදන්න ආයුධ විතරක් මදි : අගමැති රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

මේ එල්ටීටීඊය නෙවෙයි: මොවුන් පරදන්න ආයුධ විතරක් මදි : අගමැති රනිල් වික්‍රමසිංහ

සියල්ලන් භීතියට පත් කරමින් පසුගිය 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම සම්බන්ධව සැඟවීමට කිසිවක් හෝ ආරක්‍ෂා කිරීමට කිසිවෙක් තමන්ට නැති බවත් මේ පිළිබඳව සියලු කරුණු සොයා බැලීම සඳහා සියලු පක්‍ෂ නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණු රජය පූර්ණ සහාය ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඇල්පිටියේ මෙරිකිඩ්ස් උත්සව ශාලාවේදී පසුගියදා (11) ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

"අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරය සිදු නොවුණා නම් අද වන විට අපේ රටේ අති විශාල සංචාරකයන් ප්‍රමාණයක් සිටීමට ඉඩ තිබුණා. අපේ රටේ සංචාරක ව්‍යාපාරය මෙවැනි බෝම්බ ප්‍රහාරයක් නිසා පහසුවෙන් අඩපණ වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. අප ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩකටයුතු සිදු කරනවා. ගාල්ල වැනි දිස්ත්‍රික්කයක් තුළ සංචාරක ව්‍යාපාරය හරහා විශාල ආදායමක් උපයා ගත හැකියි. එම නිසා මේ ප්‍රදේශවල සංචාරක කර්මාන්තයට අවශ්‍ය පහසුකම් අපි තවත් සංවර්ධනය කරනවා.

පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය නිසා රටේ දේශපාලන තත්ත්වය මහත් කැලඹීමකට ලක්වී තිබෙනවා. ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැතිවී ගොස් තිබෙනවා. ආණ්ඩු පක්‍ෂ හෝ විපක්‍ෂ භේදයකින් තොරව සියලු දේශපාලකයන් කෙරෙහි තිබෙන විශ්වාසයත් බිඳ වැටී තිබෙනවා. රටේ ජනමාධ්‍ය පිළිබඳ ජනතාවට තිබුණු කැමැත්තත් දැන් නැති වී ගොස් තිබෙනවා. නමුත් රටේ සියලුම ආගම්වල පූජක පක්‍ෂ විසින් ගනු ලැබූ තීරණ නිසා ගැටලුවකින් තොරව මේ ප්‍රශ්න විසඳා ගැනීමට අපට හැකියාව ලැබුණා. මෙම බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වුණේ කතෝලික ජනතාවයි. කාදිනල්තුමාගේ ප්‍රකාශ හරහා එම ජනතාව පාලනය කර ගැනීමටත් ආරක්‍ෂා කර ගැනීමටත් හැකි වුණා. ඒ වගේම රට තුළ තිබෙන ගම්මානවල වැඩි වශයෙන් තිබෙන්නේ බෞද්ධාගමික පන්සල්. එම නිසා මම මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් කළ ඉල්ලීම්වලට අනුව උන්වහන්සේලා විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා දැනුවත් කළා. ඒ අනුව තවත් ගැටලු ඇති වීම වළක්වා ගැනීමට අපට හැකි වුණා.

එදින ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් නිසා මේ වනවිට මෙම ප්‍රහාරයට වගකිවයුතු සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. ඊට සම්බන්ධ ඇතැම් ත්‍රස්තවාදීන් සෝදිසි මෙහෙයුම් අතරතුර ජීවිත හානි සිදු කර ගත්තා. ඉන්පසුව මීගමුව ප්‍රදේශයේත් සෝදිසි මෙහෙයුම් දියත් කළා. නැඟෙනහිර සයින්දමරුදු ප්‍රදේශයේ මුස්ලිම් තරුණයන් දෙදෙනකු ලබාදුන් තොරතුරු මත එහි සෝදිසි මෙහෙයුම් දියත් කළා. ජනතාවගේ සහයෝගය මත මෙම කණ්ඩායමට අයත් බොහෝ දෙනා දැන් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ වගේම අනාගතයේදී නැවතත් මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමටත් අපි දැන් කටයුතු කරනවා.

රටේ පාර්ලිමේන්තුව, ආණ්ඩුව, මාධ්‍ය පිළිබඳ නැවතත් ජනතාවගේ විශ්වාසය ගොඩනැඟිය යුතුයි. මෙම හදිසි බෝම්බ ප්‍රහාරය නිසා රටේ ජනතාව පුදුමයට පත්වුණා. එදින පාස්කු ඉරිදා නිසා කතෝලික ජනතාව දේව මෙහෙයන් සඳහා දේවස්ථානවලට ගොස් තිබුණා. ඒ වගේම මම එදින පස්වරුවේ මරදාන ප්‍රදේශයේ පැවැති සිංහල අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වීමට සූදානමින් සිටියා. සිංහල අලුත් අවුරුද්දක් භුක්තිවිදින අවස්ථාවක මෙවැනි අයි.එස්. ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීම අපට විශාල පුදුමයක් වුණා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාද කළා. පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාම අදහස් දැක්වූවා. පළමු දිනයේදී හිටපු ජනාධිපති වර්තමාන විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාත් ආර්. සම්බන්ධන් මහතාත් ඇතුළු සියලු දෙනා කැඳවා සාකච්ඡා කළා. ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පොලිස්පතිතුමාටත් අවස්ථාව ලබා දුන්නා. අනුර කුමාර දිසානායක මැතිතුමාත් මුණගැසී පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළා. ඒ සියලු තොරතුරු අදාළ අංශ වෙත දැනුම් දුන්නා.

සියලුම දේශපාලනඥයන්ට සහ පක්‍ෂ නායකයන්ට රටේ වත්මන් තත්ත්වය දැන ගැනීමට අයිතියක් තිබෙනවා. දින තුනක විවාදයක් පැවැත්වූයේ එම නිසයි. නමුත් ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ බොහෝ දෙනා සිදු කළේ දේශපාලන කතා පමණක් බව කිව යුතුයි. ජනතාවට නැති වී ගිය විශ්වාසය නැවත ඇති කිරීමට එම කතාවලින් හැකියාවක් ලැබුණේ නැහැ. දෙපක්‍ෂයේම ඇතැම් අය වැදගත් කරුණු සහිතව මේ ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වූවා. එය ඉතා හොඳ තත්ත්වයක්. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සොයා බැලීමේ වගකීම පාර්ලිමේන්තුවට ලබා දෙමු යැයි වැදගත් යෝජනාවක් සිදු කළා. එය ඉතා වැදගත්. අමාත්‍යවරුන් වේවා, මන්ත්‍රීවරුන් වේවා, කිසිම තරාතිරමක පුද්ගලයකු අපි ආරක්‍ෂා කරන්නේ නැහැ. චෝදනා තිබෙනවා නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර එහිදී විමසා බැලිය හැකියි.

මේ වන විට ජනාධිපතිතුමා ආණ්ඩුවෙන් කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා. ආණ්ඩුවේ කොමිෂන් සභාවක් පත් කිරීම පමණක් ප්‍රමාණවත් මදි යැයි ඇතැමුන් පවසනවා. එසේ නම් තේරීම් කාරක සභාවක් පත් කරන්න පුළුවන්. එහිදී සෑම පක්‍ෂයකම මන්ත්‍රීවරුන් නියෝජනය වනවා. අවශ්‍ය ඕනෑම කාරණයක් විමසීමට හැකියාව ලැබෙනවා. බිය වීමට හෝ තොරතුරු සැඟවීමට අවශ්‍යතාවක් නැහැ. කිසිවෙකුත් ආරක්‍ෂා කිරීමට අවශ්‍යතාවකුත් නැහැ. මේ සම්බන්ධව විවෘතව සොයා බැලීමට එහිදී හැකියාව තිබෙනවා. කිසිදු ගැටලුවකින් තොරව අවශ්‍ය සියලු තොරතුරු එහිදී ලබාදිය හැකියි. කවුරුන් හෝ තම වගකීම් ඉටුකර නැත්නම් ඒවාත් හෙළි කළ හැකියි.

ජයම්පති මන්ත්‍රීතුමා ගෙන ආ යෝජනාවට සෑම පක්‍ෂයකම මන්ත්‍රීවරු අත්සන් කර තිබෙනවා. මේ ගැටලුව විසඳා ගැනීමට තිබෙන හොඳම මාර්ගයක් ලෙස මා මෙය දකිනවා. බෝම්බ පිපිරුණු දිනයේ මා මේ පිළිබඳ කතා කිරීමට ගියේ නැහැ. එදින මට අවශ්‍ය වුණේ රටේ ස්ථාවරභාවය ඇති කිරීමයි. පැය 9ක් ගතවීමටත් පෙර අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අපි කටයුතු කළා. දැන් අතීතයේ සිදු වූයේ කුමක් දැයි සොයා බැලිය හැකියි.

මේ සම්බන්ධව තේරීම් කාරක සභාවක් පත් කිරීම වැදගත් පියවරක් බව හිටපු ජනාධිපතිතුමාත් ජනමාධ්‍යට ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපි පක්‍ෂ භේදයකින් තොරව කටයුතු කරන බව පැහැදිලියි. මෙවැනි සිද්ධීන් අනාගතයේදී ඇති නොවන ලෙස නව ප්‍රතිත්‍රස්ත රාමුවක් ඇති කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අප සොයා බැලිය යුතුයි.

වර්තමානයේ සිටින්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය නොවේ. දැන් සිටින්නේ මානසික මට්ටම වෙනස් වූ ත්‍රස්තවාදී කණ්ඩායමක්. එම තත්ත්වය නැති කිරීමට ගමේ පන්සල්වලින් විශාල සේවයක් ඉටු කළ හැකියි. ඒ වගේම ගමේ මුස්ලිම් පල්ලිය, හින්දු කෝවිල ආදී සියලුම ආගමික සිද්ධස්ථාන හරහා මෙම තත්ත්වය පාලනය කළ හැකියි. ආගමික පූජකතුමන්ලා මෙම තත්ත්වය පාලනය කිරීමට එක්වී වැඩ කටයුතු කළ යුතුයි. ප්‍රහාරය සම්බන්ධව ගත හැකි ඉදිරි පියවර පිළිබඳ අප සාකච්ඡා කරනවා. පක්‍ෂ නායකයන් සමඟත් සාකච්ඡා කරනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් මේ සම්බන්ධයෙන් ඉතා හොඳ වාර්තාවක් ලබා දුන්නා. කථානායක කරු ජයසූරිය මැතිතුමාත් නව යෝජනා ලබා දී තිබෙනවා. මේ යෝජනා සියල්ල එකතු කර ගනිමින් කටයුතු කළ යුතුයි.

මෙම ත්‍රස්තවාදය පරාජය කළ යුත්තේ අවි ආයුධවලින් පමණක් නොවෙයි. ජනතාවගේ මනස පාලනය කිරීම තුළිනුත් මෙම තත්ත්වය නිවැරදි කර ගත හැකියි. මම යළිත් පවසන්නේ පාර්ලිමේන්තුව තුළින් කමිටුවක් පත් කර මේ පිළිබඳ විභාග කළ යුතුය යන්නයි. මෙම සිද්ධියේදී අපට ආරක්‍ෂා කිරීමට හෝ හැංගීමට කිසිවෙකුත් නොමැති බව මම මෙහිදී ප්‍රකාශ කරනවා. තොරතුරු වසන් කිරීමකින් තොරව මේ පිළිබඳව විවෘතව සොයා බලන බවත් ඒ හරහා ජනතාවගේ විශ්වාසය තහවුරු වනු ඇති බවත් මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා."

මාතෘකා