ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නෝ ප්‍රතිත්‍රස්ත පනතට ගෝනිබිල්ලෝ මවයි : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නෝ ප්‍රතිත්‍රස්ත පනතට ගෝනිබිල්ලෝ මවයි : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ප්‍රතිත්‍රස්ත පනතට ගෝනිබිල්ලෝ මවන්නන් ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නෝ බවත් නීති රාමුව ශක්තිමත් කරමින් එකමුතුව අත්වැල් බැඳගෙන ත්‍රස්තවාදයට මුහුණ දිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (08දා) පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු දෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

"පසුගියදා සිදුවූ ප්‍රහාර මාලාවෙන් අනතුරුව කිහිපවාරයක්ම ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවත් ජනතාවත් දැනුවත් කිරීමට මා පියවර ගත්තා. එසේම ඊයේ දිනයේ මේ පිළිබඳව සවිස්තරාත්මක ප්‍රකාශයක් මා පාර්ලිමේන්තුවේදී සිදු කළා. පොලිස්පතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වාර්තා සභාගත කිරීමටත් කටයුතු කළා.

“විශේෂයෙන්ම 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට පහර දීමත් 2005 ජූලි 07 වැනිදා ලන්ඩන් බෝම්බ සිද්ධියත් ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලපෑවා. 2000 වර්ෂයේ පනවන ලද ත්‍රස්ත පනත පළමුවැනි වතාවට ත්‍රස්තවාදය යන්නට පුළුල් අර්ථකථනයක් ලබා දුන්නා. 2001 සැප්තැම්බර් 11 සිදුවීමෙන් පසුව 2001 වසරේ එක්සත් රාජධානියේ ප්‍රතිත්‍රස්ත, අපරාධ හා ආරක්ෂක පනත සම්මත කළා. 2006 ත්‍රස්තවාදී පනත 2005 ජූලි 07 ලන්ඩන් බෝම්බ සිද්ධියෙන් පසුව ත්‍රස්තවාදී කටයුතු වීරකම් ලෙස හුවා දැක්වීම වරදක් බවට නීති සකස් කළා. ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණ කිහිපවතාවක් සංශෝධනයන්ට ලක්වී තිබෙනවා.

“අද අප මුහුණ දෙන්නේ සාම්ප්‍රදායික ගරිල්ලා යුද්ධ උපක්‍රමවලට නොවේ. අද යුද්ධය සාම්ප්‍රදායික යුද භූමියෙන් එහාට ගොස් තිබෙනවා. ත්‍රස්තවාදියෙක් වාහනයක් පදවාගෙන ගොස් මිනිසුන් සමූහයකට ජීවිත හානි සිදුකළහොත් එය තවදුරටත් මෝටර් රථ වාහන පනත යටතේ වන වරදක් ලෙස සැලකීමට නොහැකියි. එය ත්‍රස්තවාදී ක්‍රියාවක්. දඬුවම් ලබා දිය යුත්තේ එම ත්‍රස්තවාදී වරදටයි. ඒ නිසයි මේ අලුත් තත්ත්වයන්ට මුහුණ දීමට ප්‍රතිත්‍රස්ත පනත සකස් කිරීමට අවශ්‍ය වුණේ. ඒ වගේම ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ නීති ප්‍රමාණවත් නොවන නිසා තමයි ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පත් කළේ. මේ සඳහා මූලික සාකච්ඡා වට ගණනාවක් අප පැවැත්වූවා.

“2016 වසරේ සාගල රත්නායක මැතිතුමා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ විශේෂඥයන්ගේ සහාය ඇතිව මේ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් සම්පාදනය කළා. එයට එවකට ආරක්ෂක ලේකම්, නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති මෙන්ම එවකට අතිරේක සොලිසිටර් ජනරාල් ඇතුළු විද්වතුන් පිරිසක් දායක වුණා. එය පදනම් කරගෙන නීති කෙටුම්පත් සම්පාදක පනත කෙටුම්පත් කළා. අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ අනුව එය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය දැන් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවේ නිර්දේශ සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ. දැන් ඒ සම්බන්ධ කටයුතු විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇමතිතුමා විසින් සිදු කරනු ලබනවා.

“මේ කාලය තුළ නොයකුත් හේතු නිසා මේ කාරණාවට බාධා සිදු වුණා. ස්වභාවික ආපදා, ව්‍යසන වගේම 2018 ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණ ආදී මේ හැමදේම විවිධාකාරයෙන් බලපෑම් එල්ල කළා. අද විවිධ නීති විශාරදයන්, වැස්සකටවත් උසාවියකට ගොඩ නොවූ නිතීඥවරුන්, ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමට ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් යැයි පවසනවා.

“ප්‍රශ්නය වන්නේ විදේශයකදී කළ ත්‍රස්තවාදී කටයුත්තක් සඳහා නඩු පැවරීමටත් ඒ සඳහා සාක්ෂි රැස් කිරීමටත් අපට පුළුවන්ද යන්නයි. ත්‍රස්තවාදීන්ට සහන පැකේජයක් ලබාදීම ලෙස ප්‍රතිත්‍රස්ත පනත හඳුන්වන අයත් ඒ වගේම ප්‍රතිත්‍රස්ත පනත හරහා ගෝනිබිල්ලන් මවන අයත් දෙගොල්ලන්ම කරන්නේ ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක්. මම මේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ පනත අදාළ වීම පිළිබඳ කියැවෙන දෙවැනි වගන්තියේ කොටසක් කියවන්න කැමතියි.

“2. (1) (අ) ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය තුළ හෝ ඉන් පිටතදී මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ යම් පුරවැසියකුට;

(i) ශ්‍රී ලංකාව තුළදී සම්පූර්ණයෙන්ම (එවැනි වරදක්) හෝ කොටසක් හෝ සිදු කරන යම් තැනැත්තකුට;

(ii) ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරය තුළදී හෝ එයට ඉහළින් සිදු කරන යම් තැනැත්තකුට;

(iii) ශ්‍රී ලංකාවේ ගුවන් තලයේ සිදු කරන යම් තැනැත්තකුට;

(iv) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ශ්‍රී ලංකා රජයට අයත් හෝ ශ්‍රී ලංකා රජය විසින් භාවිතා කරනු ලබන හෝ කරන ලද හෝ ගුවන් යානයක හෝ නැවක සිට හෝ එබඳු ගුවන් යානයක් හෝ නැවක් සම්බන්ධයෙන් හෝ සිදු කරන යම් තැනැත්තකුට;”

එසේම මම මේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ තුන්වැනි වගන්තියේ ත්‍රස්තවාදී වරද සම්බන්ධ නිර්වචනය ඉදිරිපත් කරන්න කැමතියි.

“ 3. (1) (අ) ජනගහනයක් බිය ගැන්වීමේ අරමුණින් යුතුව;

(ආ) යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදුකිරීම වැළැක්වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙලඹවීමේ අරමුණින් යුතුව;

(ඇ) එවැනි යම් ආණ්ඩුවක්, කටයුතු ඉටු කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව හෝ

(ඇ) ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවයට හෝ ස්වෛරී බවට හානි සිදුකිරීමේ අරමුණින් යුතුව,

(2) වන උපවගන්තියේ සඳහන් යම් ක්‍රියාවක් සිදුකරනු ලබන යම් තැනැත්තකු ත්‍රස්තවාදී වරදට වරදකරු වන්නේය.”

“මම අහන්න කැමතියි මෙයින් ත්‍රස්තවාදීන්ට දෙන සහන පැකේජය කුමක්ද කියා. ප්‍රභාකරන්ට පස්සේ එල්ටීටීඊ නායකයා වූ කේ.පී. ලංකාවට ගෙනල්ලා සියලු සැප සම්පත් දුන්නු එකයි සහන පැකේජය. මේකේ කිසිම ත්‍රස්තවාදියකුට සහන පැකේජයක් නැහැ. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයකදී සිදු කරන ත්‍රස්තවාදී ක්‍රියාවන් ලංකාවේ නීතියට අනුව වරදක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම මේ තුන්වැනි වගන්තියේ නිර්වචනය මඟින් ඇති කරලා තියෙනවා. ඒ නිසා ගෝනිබිල්ලෙක් මවාපෑමට කිසිම අවශ්‍යතාවක් නැහැ.

“ඒ නිසා අප විසින් සිදු කළ යුත්තේ පටු දේශපාලන භේද මතිමතාන්තර පසෙක තබා පවතින නීති රාමුව ශක්තිමත් කර ගනිමින් එකමුතුව ත්‍රස්තවාදයට මුහුණ දීමයි. අද

ශ්‍රී ලංකාවේ ජනතාව මේ පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් 225 දෙනාගෙන් ඉල්ලා සිටින්නේ එයයි. ඒ සඳහා ප්‍රතිත්‍රස්ත පනත පොදු එකඟතාවයෙන් ඉදිරි දිනකදී සම්මත කරගැනීමට සහාය වන ලෙස මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

“මීට අමතරව තවත් නීති වුවමනා වනවා නම් අප එම නීතිද සම්පාදනය කිරීමට පියවර ගත යුතුයි. ප්‍රචණ්ඩත්වය හා අන්තවාදය නැති කිරීමට අපි සූදානම්. මෙම ප්‍රතිත්‍රස්ත පනතේ වගන්ති පිළිබඳව ගැටලු තිබෙනවා නම් ඒ ගැන අප සාකච්ඡා කර සංශෝධන ඉදිරිපත් කරමු. නමුත් මෙහි දෙවැනි සහ තුන්වැනි වගන්ති මෙම නීතියට ඇතුළත් කළ යුතුයි. මේ අනුව මෙම ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර ගැනීමට අපි එක්ව පියවර ගනිමු.”