ත්‍රස්තවාදය කියන එක ලෝකයේ කිසිම තැනක ජයග්‍රහණය කරලා නැහැ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

ත්‍රස්තවාදය කියන එක ලෝකයේ කිසිම තැනක ජයග්‍රහණය කරලා නැහැ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ත්‍රස්තවාදය කියන එක ලෝකයේ කිසිම තැනක ජයග්‍රහණය කරලා නැහැ. ත්‍රස්තවාදය ලෝකයේ සෑම තැනකම කොච්චර ප්‍රබල රටවල්වලට පහර දුන්නද? අවසානයේ ත්‍රස්තවාදය විනාශ වුණා. ලෝකයේ අද තිබෙන ත්‍රස්තවාදී ව්‍යාපාර කිසිම දේකට පැවැත්මක් නැහැ. ලෝක බලවතුන් විසින් ඒවා විනාශ කරනවා. ලෝකයේ කිසිම ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආයුධ හදන්නේ නැහැ. ආයුධ හදන්නේ වෙන පිරිසක්. ආයුධ හදන අය ආයුධ හදන්නේ නැත්නම් ත්‍රස්තවාදයත් නැහැ. මොකද ත්‍රස්තවාදීන්ට ආයුධ නැහැ. ඒක නිසා අපි මේ දෙපැත්තම හඳුනා ගන්න අවශ්‍යයි. ඒ නිසා ත්‍රස්තවාදය කියන එක ලෝකයේ පවතින්නේ නැහැ. ත්‍රස්තවාදය විනාශ වෙනවා.” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (08) අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

කරුණු දෙකක් මුල් කරගෙනයි මම මේ ප්‍රදේශයට පැමිණියේ. අපේ‍්‍රල් 21 වැනිදා කොළඹ සිදුවීමත්, 26 වැනිදා මේ ප්‍රදේශයේ ඇතිවූ සිදුවීමත් සමඟ මේ රටේ සාමාන්‍ය ජනතාව තුළ බයක් සැකයක් සහ අවිශ්වාසය සමඟ හිත්වල කඩාවැටීමක් ඇති වුණා අපේ රට නැවත එල්ටීටීඊ යුද්ධය කාලේ වගේ විශාල විනාශයකට යන්න හදනවාද කියලා. නමුත් සති දෙකක පමණ කාලයක් තුළ ආරක්ෂක අංශවල දක්ෂතාව නිසා මේ වන විට ජනතාව සැනසුම් සහගත හොඳ මානසික තත්ත්වයකින් ඉන්නවා. මෙවැනි කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදීන් අල්ලාගෙන පුපුරන ද්‍රව්‍ය, දේපළ, වත්කම් විශාල ප්‍රමාණයක් සොයා ගැනීම පහසු නැහැ. අපහසු අභියෝගාත්මක දෙයක්. ආරක්ෂක අංශ විසින් එසේ කර තිබෙන්නේ තම ජීවිත පරිත්‍යාගයෙන්. ඒ නිසා මේ වනවිට ජන ජීවිතය සාමකාමී කරලා, ත්‍රස්තවාදීන් දුර්වල කරලා රට සාමාන්‍ය තතත්වයට පත්කිරීම පිළිබඳ ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, බුද්ධි අංශවලට, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහාය දුන් නිලධාරීන් සියලු දෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. මේ ප්‍රදේශයට එන්න අද ලැබුණේ මේ ප්‍රදේශය සාමකාමී කළ නිසයි. නිදහස් ප්‍රදේශයක් බවට පත් කළ නිසයි. මේ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීම් වැනි දේ සිදු වුණා නම් මට අද මේ ප්‍රදේශයට එන්න බැරි වෙනවා. මම එන්න සූදානම් වුණත් ආරක්ෂක ප්‍රධානින් කියනවා මට යන්න හොඳ නැහැ, තත්ත්වය හොඳ නැහැ කියලා. නමුත් තත්ත්වය හොඳ නිසා තමයි වටපිටාව හදලා ඔබලා මේ ස්ථානයට එකතු වුණේ.

දෙවැනි කාරණය නම් ආරක්ෂක අංශ රට සාමකාමී තත්ත්වයට ගෙන එනවා වගේම රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට තිබෙන වගකීමක් තමයි ආරක්ෂක අංශ සමග සමීපව කටයුතු කිරීම. රාජ්‍ය ආයතන ප්‍රධානින් කියන්නේ ආරක්ෂක අංශ සහ සාමාන්‍ය ජනතාව අතර මැද සිටින පිරිසයි. මේ දෙක සම්බන්ධීකරණ පිරිස තමයි රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු ප්‍රධානින්. ඒ වගේම මහජන නියෝජිතයන්, මන්ත්‍රීවරු, විදුහල්පතිවරු, මැති ඇමතිවරු, සභාපතිවරු ආදීන්. මේ මැද ඉන්න පිරිසත් ආරක්ෂක අංශ ප්‍රධානිනුත් මම කැඳෙව්වේ මේ සති දෙකේ තිබෙන සාර්ථකත්වය තව දුරටත් සාර්ථක කරගෙන ජනතාවට ස්ථීරසාර සාමයක් ඇති කරගෙන ත්‍රස්තවාදය අවසන් කියන තැනට මේ රට ගෙන එමින් අපිට එකට කටයුතු කරන්න ඕනෑ නිසයි.

ඒ නිසා මේ අවස්ථාවේ අපි ආරක්ෂක අංශවලට සම්පූර්ණ සහාය දීලා රටේ සාමාන්‍ය ජනතාව තුළ තිබෙන බිය, සැක, අවිශ්වාසය නැති කරන්න ඕනෑ. ඒ අයට විශ්වාසයක් ඇතිකරන්න ඕනෑ. මේ වගේ ප්‍රදේශවල නම් මුස්ලිම් ජනතාව අතරේ ලොකු ප්‍රශ්නයක් නැහැ, මම දන්න විදියට මුස්ලිම් ජනතාව විශාල පිරිසක් මේ ප්‍රදේශවල ඉන්න නිසා. නමුත් ලංකාවේ මුස්ලිම් ජනතාව අඩුවෙන් ඉන්න ප්‍රදේශවල මුස්ලිම් ජනතාව, මුස්ලිම් දරුවෝ බයෙන් ඉන්නවා සිංහල ජනතාවගෙන් කරදර සිද්ධ වෙයි කියලා. සිංහල දරුවෝ සහ සිංහල ජනතාව බයෙන් ඉන්නවා මුස්ලිම් ජනතාව අතරෙන් ත්‍රස්තවාදීන් ඇවිත් තමන්ට හිරිහැර කරයි කියලා.

තමුන්නාන්සේලා ආරක්ෂ හමුදා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ඒ වගේම තමුන්නාන්සේලා ජනතාවට හොඳින් කරුණු පැහැදිලි කරලා, මුස්ලිම් තරුණ පිරිස ආරක්ෂා කරගැනීම තමුන්නාන්සේලාගේ වගකීමක්. ඔවුන් ත්‍රස්තවාදය පැත්තට තල්ලු වෙන්න නොදී කටයුතු කිරීමයි ඉතා වැදගත් වෙන්නේ. පසුගිය සතියේ මම බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් සර්ව ආගමික නායකයන් කැඳෙව්වා. ඒ වේලාවේ තමුන්නාන්සේලාගේ ඉස්ලාම් පුජකතුමෙක් කතා කළා තමුන්නාන්සේලා මාධ්‍යවල දකින්න ඇති. තරුණ පූජකතුමෙක් අඬ අඬා කතා කළේ. ඒ පූජකතුමා කිව්වා මේ රටේ යුද්ධය තිබුණු කාලයේ මුස්ලිම් ජනතාවට පාරේ යන්න කිසිම කරදරයක් තිබුණේ නැහැ. පාරේ යන විට මුස්ලිම් කියලා කිව්වොත් අපිව බලන්නෙත් නැහැ. අපිව අත ගාන්නෙත් නැහැ. අපේ බෑග් බලන්නේත් නැහැ කියලා. නමුත් දැන් මේ ප්‍රශ්නය වුණාට පස්සේ අපි මුස්ලිම් කිව්වොත් අපිව බලන්න ගන්නවා, අපිව පරීක්ෂා කරනවා. සැකයෙන් බලනවා. ඒ මවුලවිතුමා ඇඬුවේ එයාගේ දරුවෝ යන්නේ සිංහල දරුවෝ සිටින පාසලකට. දැන් පාසලේ දරුවෝ මගේ දරුවා දිහා අවිශ්වාසයෙන් බලනවා කියලා.

අපේ‍්‍රල් 21 සිද්ධියත් 26 වැනිදා සයින්දමරුදු සිද්ධියත් ලංකාවේ ප්‍රශ්න නොවෙයි මේවා ලෝකයේ ප්‍රශ්න. මේවා ජත්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙච්ච ත්‍රස්ත ව්‍යාපාරයක ප්‍රශ්න. අපි හිතන්න ඕනෑ ලෝකයේ තියෙන ප්‍රශ්නයක් අපි කොහොමද ලංකාවෙන් අයින් කරන්නේ කියලා. ඒක මේ වන විට සාර්ථකව කරලා තියෙනවා. ඉතිරි ටිකත් අපේ ආරක්ෂක හමුදාව සහ පොලිසිය සිදු කරයි. ඒ නිසා ඒ අයට සහයෝගය දෙන්න. අවිශ්වාසයක් නැතුව, බයක් සැකක් නැතුව ජීවත් වෙන්න මේ ප්‍රදේශවල ආයතන ප්‍රධානීන්ගෙන් විදුහල්පතිතුමන්ලාගෙන්, නරගාධිපතිතුමන්ලාගෙන් ප්‍රාදේශීය සභාපතිතුමන්ලා මන්ත්‍රිවරුන්ගෙන්, මේ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ ආරක්ෂක හමුදා සමඟ සමීපව, හිතවත්ව, මිත්‍රශීලීව කටයුතු කරන ලෙසයි.

යුද්ධය කියන්නේ හොඳ දෙයක් නොවෙයි. යුද්ධය මිනිස් ජීවිත විනාශ කිරීම, දේපොළ විනාශ කිරීම, ආර්ථිකය විනාශ කිරීම විතරක් නොවෙයි යුද්ධය මනුස්සකම නැති කරනවා. ලෝකයේ සත්‍ය, සාධාරණය යුක්තිය නැති කරනවා. යුද්ධය අමානුෂිකත්වය ගොඩනඟනවා. ත්‍රස්තවාදය තුළ තියෙන්නේ ඒකයි. ආමනුෂිකත්වය, ම්ලේච්ඡත්වය ත්‍රස්තවාදය තුළ තිබෙන්නේ. ඒ නිසා ලෝකයේ ත්‍රස්තවාදයට පැවැත්මක් නැහැ. තමුන්නාන්සේලාගේ උතුම් ඉස්ලාම් ධර්මය ඉතාම සාමකාමී ධර්මයක් දේශනා කරන්නේ, බෞද්ධ දර්ශනය වේවා හින්දු දර්ශනය වේවා කිතුනු දර්ශන වේවා ඉස්ලාම් දර්ශනය වේවා යහපත් සමාජයක් ගොඩනඟන්න, මිනිසුන් හොඳින් ජීවත් වෙන හැටි කියලා දෙන්නයි උත්සාහ කරන්නේ, ඒ ආගමික ධර්මතාවන්ට ඔය ත්‍රස්තවාදී දර්ශනය නැහැ. ඒක තමයි අපි පැහැදිලි කරලා දෙන්න අවශ්‍යය.

ඒ නිසා මිනිසකුට දියුණු වෙන්න, මුස්ලිම් ජනතාවට ඉස්ලාම් ධර්මය තුළ කිතුනු ජනතාවට කිතුනු දර්ශනය තුළ බෞද්ධ ජනතාවට නම් බෞද්ධ දර්ශනය තුළ දමිළ හින්දු ජනතාවට ද හින්දු දර්ශනය තුළ මාර්ගයක් පවතිනවා. දේවස්ථානයද පල්ලියද පන්සලද කෝවිල ඒ තමා වඩාත් වැදගත් වෙන්නේ අධ්‍යාපනය ලබනවා වගේම. ආධ්‍යාපනයයි දැනුමයි ඒ වගේම මිනිසුන් විදියට යහපත්ව ජීවත් වීමේ ක්‍රමයයි සියල්ල ත්‍රස්තවාදය තුළ නැහැ. මිලේච්ඡත්වය, විනාශය, ත්‍රස්තවාදය ලේ රුධිරය, ඒවායි එතැන තියෙන්නේ. ඒ නිසා අපේ දරුවන්ට මේ දේ කියලා දීලා සැම දෙනාම හොඳින් කටයුතු කරමු, මේ තමුන්නාන්සේලාගේ අපේ රට, මේ රටේ දරුවන්ගේ මේ රට සිංහලද දමිළද මුස්ලිම්ද භේදයක් නැති සියලු දෙනාගේ රට. මේ ඇතිවෙච්ච සියලු ව්‍යසන අවසන් කරලා මේ ප්‍රදේශය වගේම රටම අපි ඉතා හොඳ තත්ත්වයකට පත් කරලා ස්ථිර සාමයක් ඇති කිරීමේ ඒ වැඩ කටයුතු කරගෙන යමු.

මම පැමිණියේ යුද, නාවික, ගුවන්, පොලිසිය ආරක්ෂක අංශවලටත් ඒ ශක්තියක් දීමටයි. ඒ සියලු දෙනාට මගේ ගෞරවය ස්තූතිය පළ කරන්න, ඔබ සෑම කෙනෙක්ම අපේ‍්‍රල් 26 වැනිදා කළේ සුළුපටු දෙයක් නොවෙයි. ජීවිත පරිත්‍යාගයෙන් ඒ සඳහා සහයෝගය දුන් ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ සිට අවසාන නිලයේ සිටින පොලිසියේ සිටින සියලු දෙනාට මගේ ගෞරවය ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම ආරක්ෂක අංශවලට සහයෝගය දෙන මේ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, මැති ඇමතිවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානින් සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.

අපි මේ රටේ ආරක්ෂක අංශ තව තවත් ශක්තිමත් කරනවා. අපි මේ රටේ බුද්ධි අංශ ශක්තිමත් කරනවා. ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ පොලිසිය කෙරෙහි මගේ හොඳ විශ්වාසයක් තියෙනවා. ඒ අයට මේ දේ හොඳින් කරන්න පුළුවන්. පිටරට හමුදාවල් නැතුව මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න අපේ සියලු දෙනාට ඉෂ්ට කරන්න පුළුවන්. මම පොලිසිය සම්පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරනවා. ඒ වගේම ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානයකට ලක් කරනවා. අපේ අලුත් ආරක්ෂක ලේකම්තුමා ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මැතිතුමා හිටපු දක්ෂ හොඳ හමුදාපතිවරයෙක්, හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම අනෙක් සියලු අංශත් සමඟ ඒ කරන ප්‍රතිසංවිධානය අලුත් මුහුණුවරක් සැලැස්මක් අලුත් වැඩපිළිවළත් එක්ක අපි කටයුතු කරගෙන යනවා. තමුන්නාන්සේලාට සැකෙන් බියෙන් අවිශ්වාසයෙන් තොරව සතුටින් ඉන්න පුළුවන් නිදහස් සමාජයක් අපි ගොඩනඟනවා. එය කරන්න අපි සියලු දෙනාටම එකට එකතු වෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාටම ස්තූතිය පළ කරනවා.