දේශපාලන බලය රැක ගැනීම පසෙක ලා සාමය සහ ප්‍රජාතන්්‍ත්‍රවාදය රැකිය යුතුයි : අමාත්‍ය මලික් සමරවික්‍රම

 ඡායාරූපය:

දේශපාලන බලය රැක ගැනීම පසෙක ලා සාමය සහ ප්‍රජාතන්්‍ත්‍රවාදය රැකිය යුතුයි : අමාත්‍ය මලික් සමරවික්‍රම

මේ බියගුළුව හෝ අන්ධ භක්තියෙන් සිටීමට සුදුසු කාලය නොවේ. පාර්ලිමේන්තුවේ සභිකයන් වශයෙන් තනිතනිව අපගේ පක්ෂය නොව සැබවින්ම අපගේ ජාතිය සහ සියලුම පුරවැසියන් වෙනුවෙන් අප කටයුතු කළ යුතුව ඇත. අපගේ කාර්යභාරය වන්නේ හුදෙක් දේශපාලන බලය රැක ගැනීම නොව, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (07) පාර්ලිමේන්තුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අහිංසක මිනිසුන් රැසකගේ ජීවිත අහිමි කරමින් පසුගිය මාසයේ පාස්කු ඉරුදින සිදු වූ ශෝකජනක සිදුවීම අවසන් වූයේ එම පවුල්වලට දැරිය නොහැකි තරම් දැඩි ශෝකයක් සහ වේදනාවක් ඉතිරි කරමිනි. එනමුත් මෙම අවස්ථාවේදී අන්තවාදීන්ගේ තර්ජනාත්මක ත්‍රස්තවාදී ක්‍රියාදාමය මැඩපවත්වමින් එයට එරෙහිව ධෛර්යයවන්ත ලෙස ක්‍රියා කිරීමට අප තුළ පැවති ශක්තිය නිසා ජනතාව සුරක්ෂිත කිරීමට හා තවදුරටත් ඔවුන්ට ආරක්ෂාව සැලසීමට අපට හැකි වුණා. ඔවුන්ගේ උත්සාහය වූයේ අපගේ රට ඛණ්ඩනය කිරීමට සහ අපගේ ජනතාවත් භේද කිරීමටයි. ශ්‍රී ලාංකිකයින් බිය ගැන්වීමටයි. එනමුත් ශ්‍රී ලාංකිකයින් ඔවුන් සිතනවාට වඩා ශක්තිමත්.

“මෙහිදී අපට පැවරෙන කාර්යයන් අතර වැදගත්ම කාර්යයක් වන්නේ අපගේ රට සහ සසල වී ඇති අපගේ ආර්ථිකය ගොඩනැඟීමට සහාය වීමයි. මේ සඳහා අප සමඟ වෙළඳ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අපගේ ජාත්‍යන්තර ව්‍යාපාරික හවුල්කරුවන් දිරි ගැන්වීමයි. අප කෙරෙහි විශ්වාසය තබමින් ජාත්‍යන්තර වශයෙන් ධනාත්මකව සහයෝගය ලබා දෙමින් තවදුරටත් අප සමඟ රැඳී සිටිමින් ව්‍යාපාර පවත්වාගෙන යන පිරිස අපගේ ආර්ථිකයෙහි ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී සිටියි. ගෝලීය තරඟකාරීත්වය හිමි කරගෙන සිටින තොරතුරු තාක්ෂණ කර්මාන්තය, ඇඟලුම් හා ඒ ආශ්‍රිත නිපැයුම් කර්මාන්තය, තේ රබර් සහ කුළුබඩු කර්මාන්තය, විද්‍යුත් උපාංග කර්මාන්තය සහ විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයද ඒ අතර වෙයි. අපි මේ ජාත්‍යන්තර ආයෝජන ව්‍යාපාරික ප්‍රජාව වෙත කියා සිටින්නේ රටේ සියල්ල යථා තත්ත්වයට පත්කර ඇති බවයි. ඒ සඳහා සෑම පියවරක්ම ගෙන ඇති බවයි.

“දශක ගණනාවක් පුරා පැවති සන්නද්ධ අරගලය පැවති සමයේදී, අපගේ ප්‍රධාන නගරවලට සහ ආර්ථික යටිතල පහසුකම්වලට ත්‍රස්තවාදීන් නොනවත්වා පහරදුන් අවස්ථාවලදී, සුනාමියෙන් අනතුරුව පැවති දුර්භාග්‍යමත් සමයෙහිදී, නිරන්තරයෙන් සිදුවන ස්වාභාවික විපත්වලදී පෞද්ගලික අංශය ධෛර්යමත්ව, නොසැලී, අධිෂ්ඨානශීලීව කටයුතු කළ ආකාරය අපි දැක්කා. දැන් නැවත වරක් එවැනි කාලයක් එළඹී තිබෙනවා. එබැවින් මේ අවස්ථාවේදි රාජ්‍ය සහ පුද්ගලික ක්ෂේත්‍රය වඩාත් සමීපව හා එක්ව ක්‍රියා කරනු දැක්ම අපගේ අභිප්‍රායයි. තවදුරටත් මේ කූට ක්‍රියාවලට ඉඩ දිය යුතු නෑ. ත්‍රස්තවාදීන් පරාජය කරමින් මේ සසල බව නිසල කරමින් රට යථා තත්ත්වයට පත්කිරීමට අප සැම එක්ව සහතික වෙමු.

“සංචාරක කර්මාන්තය නැංවීම සඳහා අප දැනටමත් නව සැලසුමක් දියත් කිරිමට පියවර ගෙන තිබෙනවා. ඉදිරි මාසවලදී එලඹෙන සංචාරක සමයට එය රුකුලක් වේවි. මේ සඳහා අපි අදාළ සංචාරක ව්‍යාපාර නියෝජිතයින් සමඟ සාකච්ඡා කළ අතර මේ සඳහා සුදුසු පැකේජයක් ඉදිරි සති කිහිපය තුළදී ඉදිරිපත් කර‍න ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

“මාර්තු මස අවසන් වන විට අපගේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 7.6ක් දක්වා නැඟීමක් සිදු වුණා. එමඟින් මාස 4ක් ඉක්මවා ආනයන කටයුතු ආවරණය කළ හැකියි. 2018 වසරේදී අපනයනයන් සහ සෘජු විදෙස් ආයෝජනවල ඉහළ නැඟීමක් සිදු වුණා. වසර 5කට පසු ඉතා අඩුම වෙළෙඳ හිඟයක් පෙබරවාරි මාසයේදී වාර්තා වුණා. අප්‍රේල් මාසයේ ‍උද්ධමනය සියයට 4.5කට පාලනය කර ගැනීමට හැකි වුණා. මේ වසරේ රුපියලේ අගය සියයට 3.0ක නැඟීමක් වූ අතර එය ඊයේ දිනය දක්වා එලෙසම පැවතුණා. පොලී අනුපාතය පාදක ලකුණු 100 ඉක්මවා මේ වසරේදී හීන වීම නිසා ණය ලබා ගැනීමේ පිරිවැය තවදුරටත් සියයට 2ක් දක්වා අඩු කරමින් විශේෂයෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන ලබා දුන්නා. මූල්‍ය තත්ත්වයන් තවදුරටත් ශක්තිමත්ව පවතින අතර 2018 අයවැය අතිරික්තය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 0.6ක් සහ 2019 අයවැය අතිරික්තය සියයට 1.5ක් ලෙස දළ වශයෙන් ප්‍රක්ෂේපණය කරනවා.

මෙම පසුබිම මත අපගේ මූලික ආර්ථික පදනම ශක්තිමත්. නම්‍යශීලි සහ ධෛර්යයමත් පුද්ගලික ක්ෂේත්‍රය, රජය සහ ආරක්ෂක අංශ විසින් ගනු ලබන්නා වූ විස්තීර්ණ ක්‍රියාමාර්ග නිසා මේ අභියෝගය අභිබවා ශක්තිමත් ලෙස නැඟී සිටිමට අපට හැකිවනු ඇතැයි මාගේ විශ්වාසයයි. එබැවින් මෙම කාරණය සුළුකොට නොතකන්න. අපගේ අභිප්‍රායන් අතිශයින් වැදගත්. අප අතර බේද ඇති වීම යනු අපගේ ජාතියේ අනාගතය ඔට්ටුවට තැබීමක් බව මතක තබා ගත යුතුයි.

මාතෘකා