කඩා වැටුණු ජීවිතවලට සවියක් වෙමු

 ඡායාරූපය:

කඩා වැටුණු ජීවිතවලට සවියක් වෙමු

සජිත් ප්‍රේමදාස නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

මරාගෙන මැරෙන සෑම බෝම්බකරුවකුගේම සිහිනයක් තිබෙනවා. ඒ තමන් සිදු කරන විනාශකාරී ක්‍රියාවෙන් මොනතරම් තමන්ගේ දුෂ්ට අරමුණු ඉෂ්ට කරගත හැකිවේද යන සිහිනය. ඉතිහාසයේදී ශ්‍රී ලංකාව මෙවැනි සිහින මැඩපැවැත්වූ රටක්. දශකයකට ආසන්න කාලයක් ත්‍රස්තවාදයෙන් තොරව අප කාලය ගත කළා. එහෙත් පාස්කු ඉරිදා ඇති වූ සිද්ධිය නිසා මුළු රටම එකවර හඬා වැටුණා.

“‘ඉස්ලාම් රාජ්‍යය’ යැයි කියාගන්නා ත්‍රස්ත කල්ලියක් ශ්‍රී ලංකාවේ පල්ලි සහ හෝටල් ඉලක්ක කරගනිමින් දෙසිය පනහකට අධික අහිංසක බැතිමතුන් සහ සංචාරකයන් පිරිසකට ජීවිත අහිමි කළා. ඒ වගේම විශාල පිරිසක් තුවාල වුණා. මේ බෝම්බ ගැහුවේ අහිංසක මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවලට. කාටවත් වෛර නොකර හැමෝටම දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කළ මිනිස්සුන්ට බෝම්බ ගැහුවේ කොහොමද? ඒ අහිංසක මිනිස්සු සාමකාමී ලෙස තමන්ගේ අල්තාරය ඉදිරියේ දෙවියන් යදිමින් හිටියා. පූජනීය තැනක, නිස්කලංක විදිහට කාටවත් කරදරයක් නැතිව ආගම සිහිකරමින් සිටි මේ පිරිසගේ මරණාසන්න සිතිවිලි පවිත්‍රයි. ඔවුන්ගේ ඊළඟ ජීවිතය සැනසිලිදායක වෙන බව බෞද්ධයෙක් වශයෙන් මා විශ්වාස කරනවා.

“ගෙවුණු දින කිහිපයේදී බොහෝ වීරයෝ දකින්නට ලැබුණා. ඒ වගේම ව්‍යාජ වීරයොත් හිටියා. සමහරු මේ වේදනාබර අවස්ථාවේදීත් තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් වැඩ කළා. නමුත් ලෝකයේ විශාල රටවල් ප්‍රමාණයක් මේ විපතින් කම්පාවට පත්වුණා. ඒ අය අපි වෙනුවෙන් ඉදිරිපත් වුණා. මේ කාරණයේදී පළමුව ප්‍රතිචාර දැක්වූ අය ඉතාම විශේෂයි. මේ මහා අපරාධය සිදුවන විට අහක නොබලා පිහිටට ආව සියලු දෙනාම උතුම් මිනිස්සු. ඒ වගේම සියලුම වෛද්‍යවරු සහ කාර්යමණ්ඩල අහිංසකයන්ගේ ජීවිත රැකගැනීමට කැප වුණා. රෝහල් වෛද්‍යවරයාගේ සිට සුළු සේවකයා දක්වාම තමන්ගේ මෙහෙවර රෑ දවල් නොබලා ඉටු කළා.

“තමන්ගේ ජීවිත ගැන පවා නොසිතා ආරක්ෂක අංශ සහ පොලිසිය මහජන ආරක්ෂාව වෙනුවෙන් කැප වුණා. ඒ වගේම ත්‍රස්තවාදීන් රැඳී සිටි නිවාස සොයා මෙහෙයුම් කළා. ත්‍රස්ත කල්ලි මැඬලනවා වගේම ත්‍රස්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමටත් ආරක්ෂක අංශ සමත් වුණා. ඒ වගේම මුල් ප්‍රහාර මාලාවෙන් පසුව සිදුවෙන්නට නියමිතව තිබූ ප්‍රහාර සහ විනාශයන් නවත්වාලීමටත් ආරක්ෂක අංශවලට හැකි වුණා. ඒ නිසාම ජීවිත විශාල සංඛ්‍යාවක් බේරාගැනීමට හැකියාව ලැබුණා. ආරක්ෂක අංශ සහ පොලිසිය දිවා රෑ කළ මෙහෙවර අනූපමේයයි. ඒ වගේම සියලුම ආගමික නායකයෝ මේ සිදුවීමෙන් සසල වුණා. ජාති, ආගම්, පක්ෂ භේද නැතිව ඒ ආගමික නායකයෝ සියලු ශ්‍රී ලාංකිකයන් එක්සත්ව සමඟියෙන් තබන්න පියවර ගත්තා.

“මැල්කම් රංජිත් අගරදගුරුතුමා මේ සිද්ධියේදී නායකත්වය අරගෙන ඉතාමත් ආදර්ශවත් ගරුකටයුතු මෙහෙවරක යෙදුණා. උන්වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න ගුණය වගේම ආදර්ශවත් මැදිහත් වීම සාමය අගයන සකල ලෝකවාසීන්ගේම ගෞරවාදරයට පාත්‍ර වෙනවාට සැකයක් නැහැ. බැතිමතුන්ගේ වේදනාව දුරු කරන්න කැපවුණා වගේම උන් වහන්සේ මුස්ලිම් ජාතිකයන් වෙත සහෝදරත්වයේ දෑත දිගු කළා. ඒ විතරක් නොවේ ත්‍රස්තවාදී අන්තවාදීන්ගෙන් පවා ඉල්ලා සිටියේ ‘නොමඟ නොයා යහමඟට එන්න’ කියලයි.

“අන්තවාදීන් විශ්වාස කරන "ඉස්ලාම් රාජ්‍යයේ" කිසිදු ඉස්ලාමිකත්වයක් නොමැති බව උන්වහන්සේ වගේම මේ රටේ මුස්ලිම් නායකයන්ද ඉතා පැහැදිලිව පෙන්වා දුන්නා. දෙමළ ජනතාව කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධ වූ ආකාරයෙන්ම ශ්‍රී ලාංකේය මුස්ලිම්වරු මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට හැම අතින්ම විරුද්ධ බව අප දන්නා සත්‍යය බව උන් වහන්සේ සනාථ කළා. ඒ වගේම ක්‍රියාවෙන් ඔප්පු කළා. උන්වහන්සේගේ විශිෂ්ට නායකත්වය උන් වහන්සේ උදාරත්වයට පත් කළා.

“අපි රටක් හැටියට එකට එකතු වූ අවස්ථා බොහෝ තිබෙනවා. මීට පෙරත් අපේ මාතෘභූමියට විවිධ පීඩාවන් එල්ල වෙලා තිබෙනවා. 2004දී සුනාමි විපත අවස්ථාවේ මුළු ජාතියම කම්පා වුණා. ඒ වගේම මුළු රටම එකට එකතු වෙලා ඔවුන්ගේ ජීවිත ගොඩනංවන්න කැප වුණා. මේ මොහොතේ අන්තවාදී ත්‍රස්තවාදය මේ රටින් තුරන් කිරීම සඳහා සියලු වාදභේද, පක්ෂ පාට ඉවතලා එකට එකතුවිය යුතුයි. දේශපාලන නායකයන් වගේම සමස්ත රටම මේ මොහොතේ ජාතික වගකීම හදවතට ගත යුතුයි.

“ත්‍රස්තවාදය සහ අන්තවාදය ලෝකයෙන් තුරන් කිරීම මුළු ලෝකයේම වගකීම වෙනවා. මෙවන් බියගුලු ප්‍රහාර වැළැක්වීම වෙනුවෙන් ලෝකයේම අවධානය වෙනදාට වඩා යොමුවිය යුතු වෙනවා. මේ එක රටකට එරෙහි ප්‍රහාරයක් නොවේ. මේ ලෝක ත්‍රස්තවාදයේ බියගුලු ප්‍රහාරයක්. ඒ නිසාම ත්‍රස්ත විරෝධී මතවාදයක් ලොව පුරා ඇති කිරීමට සහාය දෙන ලෙස මම අපේ මිත්‍ර රටවල්වලින් ඉල්ලීමක් කරනවා. ඒ එක්කම නැවත ශක්තිමත්ව මේ රටට නැඟී සිටීම සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න කියලා ලෝකයෙන්ම අපි ඉල්ලා සිටිනවා. අපගේ සංචාරක කර්මාන්තය උත්තේජනය කරමින් ජාතික ආර්ථිකය වර්ධනය කිරීමට සහාය දෙන්න කියලත් ඉල්ලා සිටිනවා. මේ සුන්දර පාරාදීසය ඔබේ ජීවිතයේ සැමරුමක් කර ගන්න.

“රටක දියුණුව වෙනුවෙන් අතිශයින්ම වැදගත් වෙන කාරණා දෙකක් තිබෙනවා. එකක් ඒ රටේ ආරක්ෂාව. අනෙක ඒ රටේ ආර්ථිකය. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් මේ රට නිදහස්, නිවහල් සුරක්ෂිත රටක් කළ යුතුව තිබෙනවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් නොපමාව ලබා දෙන්නට අවශ්‍ය වෙනවා. ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනට නැවතත් එකතු වීම ලොව සියලු රටවලට වගේම අපේ රටටත් පැවරී තිබෙනවා.”

මාතෘකා