සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියෙන් රෝගීන්ට වසරකට බිලියන 4.4ක් ලාබයි : අමාත්‍ය රාජිත සේනාරත්න

 ඡායාරූපය:

සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියෙන් රෝගීන්ට වසරකට බිලියන 4.4ක් ලාබයි : අමාත්‍ය රාජිත සේනාරත්න

බෝ නොවන රෝග පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ලෝකයේ පැසසුමකට ලක් කර තිබෙන බවත් මේ වනවිට ගුණාත්මක ඖෂධ වෙළෙඳාම සියයට 600කින් වැඩිවී තිබෙන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (27) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ අයවැය කාරක සභා විවාදයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“වසරකට 700ක් තිස්සේ වෛද්‍යවරු බිහි වෙනවා. ඩයලිසීස් මැෂින් මේ වසර වනවිට 1,000ක් කරනවා. බෝ නොවන රෝග පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ලෝකය පැසසුමකට ලක්කර තිබෙනවා. සුවසැරිය ගිලන් රථය තුළදී දරුවන් 40කට පමණ උපත ලබා දී තිබෙනවා. පළමුවරට ඖෂධ 44කට සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. ගුණාත්මක ඖෂධ ප්‍රමාණය සියයට 600කින් භාවිතා කිරීම වැඩි වුණා. අද ගුණාත්මක ඖෂධ වෙළෙඳාම සියයට 600කින් වැඩිවී තිබෙනවා. මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළ අවුරුද්දකට බිලියන 4.4ක ලාභයක් රෝගීන්ට තිබෙනවා.

එදා රජයන් සෞඛ්‍ය කියලා වියදම් කළේ කොම්පැනිකරුවන්ටයි. පිළිකා ඖෂධ 10කට මිල නියම කළා. දොර විවෘත කළාම අලුත් ඖෂධ එනවා. සියයට 95ක් පිළිකා ඖෂධවලින් සපයන්නේ රජයටයි.මෙයින් බිලියන දෙකකට කිට්ටුව ලාභයි. සමහර වෛද්‍යවරු අපට විරුද්ධව කතා කරනවා. බිස්නස් කරන අය ඉන්නවා කීපදෙනෙක්. ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළා. ගිවිසුම් 16ක් අත්සන් කළා. සියල්ල මැඩලමින් කටයුතු කරන්න වෙලා. පිළිකා රෝගීන් මැරුණේ සල්ලි නැතිව දුප්පත්කම නිසයි. අක්ෂි කාච ලක්ෂයක් ජනතාවට ලබාදීමේ උත්සවයටත් අපි සහභාගි වුණා.

ලේ පිළිකා නිසා දුප්පත් දරුවන් මියගියා. ඒ නිසා ඇටමිඳුළු බද්ධ කිරීම ආරම්භ කළා. දැනට ඇටමිදුළු බද්ධ කිරීම් 52ක් සිදු කළා. තැලසීමියා දරුවන්ට තට්ටු නවයක ගොඩනැඟිල්ලක් හදනවා. අවයව බද්ධය තිබුණේ වකුගඩු විතරයි. අද වකුගඩු බද්ධ කිරීම සාමාන්‍ය බද්ධයක් වුණා. අක්මා බද්ධයට සියලු පහසුකම් දුන්නා. පළමු පෙනහළු බද්ධය ආරම්භ කරනවා. කිසිම ඖෂධයක් හිඟ නැතිව තිබුණා.

පෞද්ගලික රෝහල්වල ගාස්තු නියාමනය කරන්න හදනවා. රෝහල් සංවර්ධනය කිරීමට හදිසි ප්‍රතිකාර ඒකක 28ක් හදලා තිබෙනවා. ළමා රෝහල් 28ක් හදලා තිබෙනවා. පිළිකා රෝහල් 6ක් තිබෙනවා. රෝහල් සංවර්ධනයට විදේශ ආයෝජන ගෙනාවා. මිලියන 21කට ඊ හෙල්ත් කාඩ් ලබා දෙනවා. රෝහල් පද්ධතිය පරිගණකගත කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.”

මාතෘකා