මහා සඝරුවණ දිවි හිමිෙයන් ත්‍රිපිටකය අාරක්ෂා කළා : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

මහා සඝරුවණ දිවි හිමිෙයන් ත්‍රිපිටකය අාරක්ෂා කළා : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මහ සඟරුවන වසර සිය ගණනක් පුරා ත්‍රිපිටකය ආරක්ෂා කළ බවත් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සෙනසුරාදා (23) ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා මහ මළුවේ පැවති ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමෙන් පසුව කාලානුරූපව මෙම යුගය තුළ අප කළ යුතු උතුම් කාර්යයක් වශයෙන් ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඒ උතුම් කර්තව්‍යයටයි අප සෑම කෙනෙක්ම අද එක් වී සිටින්නේ. ලෝකයේ ඇති අති විශාලවූත් ග්‍රන්ථාරූඪවූත් ඥාන සමුදාය වන ත්‍රිපිටකය මුද්‍රණ ද්වාරයෙන් ප්‍රකාශයට පත්වන තුරුම රැකගත්තේ ශ්‍රී ලාංකේය මහා සංඝරත්නයයි. අතිශය ක්‍රමවත්ව ලියූ පරිපූර්ණ ත්‍රිපිටකයක් ලොවටම උරුමවීමට අලුවිහාරයේදී ලේඛනගත කිරීම හේතු වුණා. යුනෙස්කෝ ලෝක මතක වැඩසටහන යටතේ මේ අප්‍රමාණ උරුමය ලැයිස්තුගත කිරීමටත් වඩා වැදගත් වන්නේ මෙමඟින් එහි හිමිකාරිත්වය, බාරකාරත්වය පිළිබඳව ශ්‍රී ලංකාව ලෝකයේම පිළිගැනීමට ලක්වීමේ අවස්ථාව උදා වීමයි. ලෝකයේ මේතරම් පුළුල් ඥානස්කන්ධයක් ග්‍රන්ථාරූඪ කර, එකම වෙළුම් පෙළක් ලෙස පිළියෙල කොට ඇත්නම් ඒ ත්‍රිපිටකයම පමණයි. එහි එක් අකුරක් හෝ ජීව ලෝකයේ හෝ අජීව ලෝකයේ කිසිවකුට, කිසි දෙයකට අවැඩ පිණිස යෙදී නැහැ. ත්‍රිපිටකයේ එන පරම ප්‍රාර්ථනය වන්නේ සියලු ශ්‍රී ලාංකිකයන් නිදුක් වෙත්වා යන්න නොවෙයි. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා යන්නයි. එහි ඇති ලෝක හිතානුකම්පක ප්‍රාර්ථනය මුළු මහත් විශ්වයටම අදාළයි.

ඒ වගේම ලෝක උරුමයක් කිරීමේ මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඇතැම් පිරිසක් කියන්න පටන් ගත්තා ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සුදුසු නැහැ කියලා. ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී පසුගිය දශක කිහිපයේත් ඈත අතීතයේත් වසර දහස් ගණනකට පෙරත් බෞද්ධ රටවල් මේ උතුම් ත්‍රිපිටකය පිළිබඳව ගෙන ඇති තීන්දු තීරණ රාශියක් තිබෙනවා. මෙහි අද ඉන්දියාව එහෙම නැත්නම් එදා මහා භාරතය ත්‍රිපිටකය සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දු තීරණ පූජා කිරීම් පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම ලෝකයේ අනිකුත් බෞද්ධ රටවල් සහ බෞද්ධ නොවන රටවල් ත්‍රිපිටකය සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දු තීරණ සහ පිළිගැනීම් කෙසේ ද යන්න මා සොයා බැලුවා. බෞද්ධ රටවල් වගේම බෞද්ධ නොවන රටවල් ත්‍රිපිටකය පිළිබඳව බොහෝ දේ පසුගිය දශක කිහිපයෙත් මීට වසර සිය ගණනකට පෙරත් කර තිබෙනවා.

 

බොහෝ දෙනා ස්වාභාවික භූමියක්, භෞතික වස්තුවක්, පෞරාණික ස්ථානයක් පමණක් ලෝක උරුම ගණයට අයත් වන බවයි වටහාගෙන ඉන්නේ. එය යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය අනුව එහි නිර්වචනය අනුව නිවැරදියි. ඒත් මනුෂ්‍ය සමාජයක ලේඛනගත උරුමය සලකා බැලෙන්නේ එහි ඇති විශ්වීය අගය අනුවයි. එවැනි ලිඛිත උරුමයන්ට ඇතුළත් වන්නේ අතින් ලියූ අකුරු, අතින් ඇඳපු චිත්‍ර, සංකේත, සිතියම් ආදියයි. පටිගත කළ, පරිගණක මාධ්‍යයෙන් රැස් කරගත් නිර්මාණත් මීට ඇතුළත් වනවා. අද අප මේ සිදු කරන්නේ ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමයි. එවිටයි එය ලෝක මතක වැඩසටහන යටතේ පිළිගැනීම සඳහා සලකා බැලෙන්නේ.

මේ අවස්ථාවේ මා ඉදිරිපත් කිරීමට කැමතියි ජර්මන් රට බෞද්ධයන් බහුතරයක් සිටින රටක් නොවෙයි. මේ ජර්මන් රටේ ත්‍රිපිටකය ජර්මානු භාෂාවෙන් සම්පූර්ණයෙන්ම ලියැවිලා තිබෙනවා. මෙය ජර්මන් රජය තානාපති කාර්යාලය මඟින් අපට එවනු ලැබ තිබෙනවා. ඒ අනුව අපට පැහැදිලි ලෙසම සාක්ෂි සාධක රාශියක් තිබෙනවා. බෞද්ධ රටවල් වගේම බෞද්ධ නොවන රටවල ත්‍රිපිටකය පිළිබඳව බොහෝ කරුණු ඇතුළත් පිළිගැනීම් තිබෙනවා. බුරුම පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා නීතිගත කරලා තිබෙනවා ත්‍රිපිටකය පිළිබඳව. එය පිළිගැනීම සහ එය ක්‍රියාත්මක කිරීම පනතකින්, නීතියකින් ක්‍රියාත්මක කරලා තිබෙන්නේ 1954 වසරේයි. ජර්මනියේ බෞද්ධයන් ඉතාම සුළු පිරිසක් ඉන්නේ. නමුත් ජර්මන් රජය ජර්මන් භාෂාවෙන් මේ උතුම් ත්‍රිපිටකය මුද්‍රණය කරලා ඒ විදියට බෙදා හැරීමක් කරලා තිබෙනවා. ඒ නිසා අද අපි මේ කරන්නාවූ උතුම් කාර්යයේදි මා විශ්වාස කරනවා අප මේ ගෙනියන වැඩපිළිවෙළ කුමන විදියේ විකල්ප අදහස්, කුමන විදියේ අභියෝග, කුමන විදියේ විරුද්ධවූ මත ඉදිරිපත්වී තිබුණත් වන්දනීය පූජනීය මහා සංඝරත්නය ඔබ වහන්සේලා අනුශාසනා කළ පරිදි මේ කටයුත්ත සාර්ථකව ලෝක උරුමයක් කිරීමේ කාර්ය අපට ඉතාමත්ම පැහැදිලිව ඉටු කිරීමට පුළුවන් බව. ඒ නිසා අප සියලු දෙනාගේම සාමූහික වගකීමක් විදියට වන්දනීය පූජනීය මහා සංඝරත්නයත් ඒවගේම රජය මේ රටේ ජනතාව ඒ වගේම මේ සඳහා සහයෝගය දෙන සියලුම රටවල් ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට මේ අදහස ඉදිරිපත් කිරීමත් සමඟම ඉන්දීය රජයේ නියෝජිතයෙක් අපට පණිවිඩයක් එව්වා යුනෙස්කෝ ආයතනය තුළ මේ සඳහා කරන යෝජනාවේදී ශ්‍රී ලංකා රජය කරන යෝජනාවට, ඉන්දීය රජයට අවස්ථාව දෙන්න කියලා ඒ යෝජනාව ස්ථිර කිරීම සඳහා.

ඒ වගේම බෞද්ධ රටවල් රාශියක් මේ වන විට ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා, බෞද්ධ රටවල් රැසක් ඉල්ලීම් කරලා තිබෙනවා යුනෙස්කෝ ආයතනය මෙය සාකච්ඡාවට ගන්නා අවස්ථාවේදී එහි වැඩසටහනට න්‍යායපත්‍රයට සහයෝගය දක්වලා අදහස් ඉදිරිපත් කරන්න ඒ රටවල නියෝජිතයන්ට අවශ්‍ය ඉඩකඩ සලසා දෙන්නැයි කියලා. ඒ නිසා මේ වන විටත් මේ පිළිබඳව අන්තර්ජාතික වශයෙන් පුළුල් සහයෝගයක් ලැබිලා තිබෙනවා. මේ ඓතිහාසික අවස්ථාවේදී අපි ඉදිරි වගකීම් අනුව එය අන්තර්ජාතික වශයෙන් එය ලෝක උරුමයක් ලෙස පිළිගැනීමට අද සිට අප විසින් ගනු ලබන්නාවූ ක්‍රියාමාර්ගය වඩාත් සාර්ථක වන බවයි මාගේ විශ්වාසය. ඔබවහන්සේලාගේ ආශීර්වාදය තුළ මා විශ්වාස කරනවා ඒ කටයුත්ත ඉතාමත් සාර්ථකව කළ හැකි බව. ඒ නිසා අද දවසේ මේ උතුම් පුණ්‍ය කටයුත්තට ඔබ වහන්සේලා ප්‍රමුඛව මේ ඓතිහාසික මහා බෞද්ධ පූජනීය පින්බිමේදී මේ එක්වුණු අවස්ථාව ඉතාමත් වැදගත් වනවා.

ඒ වගේම මම ඉමහත් සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනෑ ඉතාම කලාතුරකින් දකින දර්ශනයක් අපි මෙහි දකිනවා. මේ උතුම් බෞද්ධ පින්බිමේදී අස්ගිරි, මල්වතු, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය, එසේම අමරපුර මහා නිකායේ මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ඉතාම කලාතුරකින් තමයි අපට දැක ගන්නට ලැබෙන්නේ මේ විදියට එකට අසුන්ගෙන සිටිනවා. මගේ ජීවිත කාලය තුළ ඇත්තටම මීට කලින් මේ අවස්ථාව මම දැකලා නැහැ. මහනායක ස්වාමීන් වහන්සේලා සිව් නමම මේ අවස්ථාවට වැඩම කරලා මේ උතුම් කටයුත්තේදී අපට දෙන අනුශාසනාව පිළිබඳව බෞද්ධ ජනතාව විදියට අපි ඉතාමත් සතුටු වෙනවා.

මාතෘකා