කවුරු බැන්නත් අපි සංවර්ධන කටයුතු නැවැත්තුවේ නැහැ : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

කවුරු බැන්නත් අපි සංවර්ධන කටයුතු නැවැත්තුවේ නැහැ : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ අය අපෙන් අහනවා මොකක්ද වත්මන් ආණ්ඩුව කළේ කියලා. අපි කළේ ඒ අයගෙ ණය ගෙවපු එක තමයි. ඒ ණයවලට පොලිය ගෙවන්නවත් බැරි තරම් ණයක් තමයි මහින්ද රාජපක්ෂලා අරගෙන තිබුණේ. ජාත්‍යන්තරයේ තිබූ විශ්වාසය නැතිවුණා. සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය කඩාගෙන වැටුණා. ගම්වල දියුණුව නැවතුණා. අපි ඒ අයගේ කටින් කෙරූ සංවර්ධනය පමණක් මාධ්‍යවලින් දැක්කා. අපි කළ සංවර්ධනය මාධ්‍ය මඟින් පෙන්නුවේ නෑ.” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ පානදුර මැතිවරණ කොට්ඨාසයෙන් පෙරේදා (10) ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙම වැඩපිළිවෙළ අද (12) දිනය පුරා කළුතර දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාසවල ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ පාක්‍ෂිකයන් මෙන්ම සෙසු ජන කොටස් මුණගැසෙමින් ඔවුන්ගේ අදහස් හා සුවදුක් විමසා බලමින් අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොට්ඨාසයෙන් කොට්ඨාසයටද ගියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“මහින්ද රාජපක්ෂ මහත්තයා රට පාලනය කරද්දි රට බෙදිලා තිබුණේ. ආපසු ණයක් ගන්නවත් ජාත්‍යන්තරය සමඟ විශ්වාසයක් තිබුණේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නෑ. අපි මේ වසර හතර තුළ පසුගිය ආණ්ඩුව ගත් ණය ගෙවමින් විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් කළා. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ගෙනාවා. පොලිසිය, අධිකරණය, රාජ්‍ය සේවාව ස්වාධීන කළා. ඒ වගේම කොමිෂන් සභා ඇති කළා. මානව හිමිකම් කොමිෂන් සභා ඇති කළා. තොරතුරු දැන ගැනීමේ පනත ගෙනාවා. අතුරුදන්වූවන් සඳහා වූ කාර්යාලය ස්ථාපිත කළා. ජාතික විගණන පනත ගෙනාවා. කාන්තාවන්ට ප්‍රාදේශීය සභා පළාත් සභාවල නියෝජනය ඇති කර දුන්නා. අධිකරණය ස්වාධීන කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අගෝස්තු 26 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ කුමන්ත්‍රණයක් ඇති කරද්දි ඔබ සියලු දෙනාට හැකි වුණේ එය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න.

ජාතික සංහිඳියාව ඇති කරන්න අපි ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය ඇති කළා. අද පළමු වැනි වතාවට ජාතික ගීයෙන් දෙමළෙන් සහ සිංහලෙන් අප එක මවකගේ දරුවෝ කියලා කියනවා. අපි යාපනයට ගියාම ජාතික ගීය දෙමළෙන්, සිංහලෙන් දෙකෙන්ම කියලයි පටන් ගන්නේ. ඒකයි සංහිඳියාව කියන්නේ. අපි රට තුළ සංහිඳියාව ගොඩනැඟීමේ යාන්ත්‍රණයක් ඇති කර තිබෙනවා. අපි මානව හිමිකම් සුරැකීමේ කොමිෂන් සභාව ඇති කළා. අපි මූල්‍ය වංචා විමර්ශනය කිරීම සඳහා ඒකකයක් ඇති කළා. ඒ විමර්ශන නඩු අහන්න විශේෂ උසාවියක් ගෙනාවා. ඒ උසාවිවල විශේෂ නඩු 30ක් විතර මේ වන විට අහමින් තිබෙනවා. ස්වාධීන පොලිස් කොමිසම ඇති කරපු නිසා අපට පුළුවන් වී තිබෙනවා මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නැති කරන වැඩසටහනක් ඇති කරන්න. පළවැනි වතාවට අපේ පක්ෂයේ පොලිසිය බාර ඇමැතිවරුන් තමයි ස්වාධීන අපරාධ අංශයත් මත් ද්‍රව්‍ය මර්දන ඒකකයත් විශේෂ කාර්ය බළකායත් යන තුනම එකතු කරලා විශාල බළකායක් නිර්මාණය කළේ. ඒ කළේ මත්ද්‍රව්‍ය මර්දනය කරන්නයි. මධූෂ් වගේ පාතාල කල්ලි අල්ලන්න හැකි වුණේ ඒකයි. ඊට පස්සේ අපි මේ රටේ ණය බර ස්ථාවර කර තිබෙනවා. අපි මේ වසරේ විතරක් ඩොලර් මිලියන 5,900ක් ගෙවනවා. මේ අවුරුදු හතරේ අපි කොහොම හරි පසුගිය ආණ්ඩුව ගත් ණය ගෙව්වා. ඒ ණය ගෙවන එක අමාරු වුණා. රටේ ජනතාවටත් දුක් විඳින්න සිද්ධ වුණා. අනුන්ගේ පව් ආණ්ඩුවයි, රටේ ජනතාවයි ගෙව්වා.

මට ජනතාවගෙන් සියයට 75ක් බැන්නා. මොනවද මේ කරන්නේ කියලා. සමහරු පොහොට්ටුවටත් ඡන්දය දුන්නා. නමුත් ජනතාව කොපමණ බැන්නත් අපි ඉදිරියට ක්‍රියාත්මක කරපු වැඩසටහන නැවැත්තුවේ නෑ. අපි එදා ඒ ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රතිඵල අද ලැබී තිබෙනවා. අද අපනයන අපි වැඩිකර තිබෙනවා. එදා ලබා නොදුන් GSP + සහනය අද රටට ලැබෙනවා. අපි අපනයන භාණ්ඩ හා සේවාවලින් 2018 වසරේ පමණක් ඩොලර් මිලියන 18,000ක් ආදායම් ලබා ගත්තා. එම ආදායම තමයි මෙතෙක් අපනයනයෙන් ඉපයූ වැඩිම ආදායම වන්නේ.

අද නුවර, කොළඹ, හම්බන්තොට එක්කරන මහා අධිවේගී මාර්ගයක් හදාගෙන යනවා. පසුගිය ආණ්ඩුව භාගයක් හදාගෙන ගියා. ඒකෙන් හොඳට කොමිස් ගැහුවා. දැන් 2021 වනවිට කොළඹ ඉඳන් හම්බන්තොටට පැය හතරෙන් යන්න පුළුවන්. එම මහා මාර්ගය වටේ තමයි කර්මාන්ත හා සංචාරක කලාප විශාල ප්‍රාමාණයක් ඉදි කරන්නේ. එදා හම්බන්තොට වරාය සුදු අලියෙක් විතරයි. අද ලංකාවේ වරාය අධිකාරියයි, චයිනා මර්චන්ට් සමාගමයි එකතු වෙලා දියුණු කරන්න වැඩකටයුතු කරමින් සිටිනවා. තව වසර කීපයකින් මෙය සාර්ථකම වරායක් බවට පත් වෙනවා. දැනට අපි සංවර්ධනය වෙනුවෙන් වැය කළ මුදල් අපි නැවත උපයා තිබෙනවා.

තව දින කීපයක් තුළ මත්තල ගුවන්තොටුපොළ ලංකාවේ ගුවන් අධිකාරියයි, ඉන්දියානු ගුවන් අධිකාරියයි එකට එකතු වෙලා අලුත් සමාගමකින් ඉන්දියානු සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කරනවා.

කළුතර ඔබ ඉන්නේ කටුනායකයි, මත්තල ගුවන් තොටුපොළයි අතර ප්‍රදේශයේ, කොළඹ වරායයි හම්බන්තොට වරායයි අතර ප්‍රදේශයේ. මේ ගුවන් තොටුපොළවල්, වරායවල් පාඩු ලබමින් තියෙද්දී අපි ඒ පාඩුව නැවැත්තුවා. 2015 අපි බලයට එද්දී ලංකාවේ වෙළෙඳ කලාප 14න් අක්කර 600ක් හිස්ව ඉතිරිව තිබුණා. අපි වසර දෙකකින් ඒ අක්කර 600 පිරෙව්වා. අපි පසුගියදා අක්කර 1,600ක විශාල වෙළෙඳ කලාපය බිංගිරියේ ආරම්භ කළා.

මාවතගම අක්කර 700ක වෙළෙඳ කලාපයක් ආරම්භ වෙනවා. හම්බන්තොට අක්කර 5,000ක විශාල ආයෝජන කලාපයක්, මොනරාගල අක්කර 6,000ක වෙළෙඳ කලාපයක් සහ බණ්ඩාරගම 1,200ක අයෝජන කලාපයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ආයෝජන ප්‍රවර්ධන කලාප හරහා ක්‍රමානුකූලව විදේශ විනිමය ලංකාවට ගේන්න පුළුවන්.

උතුරු පළාත සම්පූර්ණයෙන් අපි දියුණු කර තිබෙනවා. කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපොළ දියුණු කර උතුරේ සංචාරක ව්‍යපාරයට නව පණක් දෙනවා.

ඒ වගේම උතුරේ අලුතින් නිවාස සහ මහා මාර්ග ඉදි වෙනවා. අපි උතුර අමතක කළෙත් නෑ. හලාවත ඉරණවිල විශාල හෝටල් කලාපයක් ඉදි කරමින් සිටිනවා. එවැනිම හෝටල් කලාප ගාල්ලේ සහ බෙන්තොට වාගේ ස්ථාන තුනක ඉදිරියේදී ඉදි වෙනවා.

අපි සාමාන්‍ය ජනතාවට තමන්ගේ නිවසේම කුඩාවට සංචාරකයන් සඳහා නවාතැන් දෙන ස්ථාන ඇති කරන්න ආණ්ඩුවක් ලෙස උදවු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ගම දියුණු කරන්න ගම්පෙරළිය තිබෙනවා. ණය ගන්න නම් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තිබෙනවා. මහ නගර සංවර්ධන අමාත්‍යාංශය මඟින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. කොළඹ වරාය ජා ඇළ දක්වා දික් කරන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එය දකුණු ආසියාවේ විශාලතම වරාය බවට පත්වෙනවා. වරාය නගරයේ වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් අවසන්. මේ රටේ දුප්පත්කම නැති කරන්න සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 6කින් වැඩිකරන්න කටයුතු කරමින් සිටිනවා. සෑම සමෘද්ධි ලාභියකුටම රුපියල් 30,000 බැගින් කොටස් දෙකකට ණය දෙනවා.

කුලුනු මත ඉදිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයක් ඉදි කරනවා. හෝමාගම නව නගරය ඉදිවෙනවා. කොළඹ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන විශේෂ මාර්ගයක් ඉදිකර වාහන තදබදය නවත්වනවා. විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කරනවා. මොරගහකන්ද ජලාශයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. කල්පිටිගල ජලාශයේ වැඩකටයුතුත් ආරම්භ කර තිබෙනවා.

දිවයින පුරා නගර සංවර්ධන වැඩසටහන් 100කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. මහ කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පෑලියගොඩ එළවළු වෙළෙඳ සංකීර්ණයේ වැඩකටයුතු අවසන්, සැහැල්ලු දුම්රිය සේවාව, නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ නිවාස 10,000ක් ඉදිකර අවසන්. බේරේ වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කර තිබෙනවා. ප්‍රජා ජල යෝජනා ක්‍රමය යටතේ ගමට ජලය ලබාදී තිබෙනවා. මේ වගේ තවත් බොහෝ සංවර්ධන වැඩසටහන් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙවැනි සංවර්ධන වැඩසටහන් ජනතාව අතරට පත්වෙද්දි බලය ලබාදිය යුත්තේ අපිටද නැත්නම් මහින්ද රාජපක්ෂ මහතාටද? අපේ අඩුපාඩු තියෙනවා ඇති. නමුත් අපි රට ආපසු ගොඩ ගත්තා. රට ඉදිරියට ගෙනයනවා. ලෝකය අපිව පිළිගන්නවා. ඒ නිසා තමයි අද සිරිකොත ගමට ගෙනත් තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා. පොහොට්ටුවට ආණ්ඩු බලය ලබා දුන්නොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ නෑ. බලයට කෑදර වෙලා තමයි ඒ අය ඔක්තෝබර් මාසයේ බලයට ආවේ. ඒ අයගේ දින 51 ආණ්ඩුව ගම්පෙරළිය අහෝසි කළා. බඩු මිල අඩුකරනවා කිව්වාට බඩු මිල අඩු කෙළේ නෑ. වැඩකරන්න බැරි මිනිස්සුන්ට ආණ්ඩු බාර දීලා වැඩක් නෑ. ඒ නිසා ජනතාවට වැඩ කරන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදමු කියන්න කැමතියි.”

මාතෘකා