මේ ආණ්ඩු කාලයේ කිසිම දේශපාලන ඝාතනයක් වුණේ නෑ

 ඡායාරූපය:

මේ ආණ්ඩු කාලයේ කිසිම දේශපාලන ඝාතනයක් වුණේ නෑ

අමාත්‍ය පාඨලී චම්පික රණවක

මේ ආණ්ඩුව බලයට පත් වූවාට පසු කිසිම ආකාරයක දේශපාලන ඝාතනයක් සිදු වී නොමැති බවත් මෙය යහපාලනය ලබා ගත් ජයග්‍රහණයක් බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල, ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

වත්මන් ආණ්ඩුව 19 වැනි සංශෝධනය ගෙනැවිත් ස්වාධීන මානව හිමිකම් කොමිසමක් පත් කළා. ඔවුන් ආරක්ෂක අංශ සම්බන්ධයෙන්ද යම් යම් විවේචනාත්මක පියවර ගෙන තිබෙනවා. අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමේ කාර්යාලයක්ද ඇති කළා. වන්දි ගෙවීම් පිළිබඳව විවිධ පියවර ගෙන තිබෙනවා. පොලිසිය යම් ආකාරයකින් ස්වාධීනව ක්‍රියා කරන බවට මෑත කාලයේ උදාහරණ තිබෙනවා. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු වෙනවා. නාවික හමුදාවේ හිටපු ප්‍රධානි කරන්නාගොඩ, විජේගුණරත්න මහත්වරුන් දරුවන් අතුරුදන් වීමේ සිද්ධියට සෘජු සම්බන්ධයක් නෑ. ඒ අය යටතේ වැඩ කළ යම් යම් පිරිස් කළ අපරාධ නිසා ඔවුන්ට නොයෙක් අපහසුතාවලට ලක්වීමට සිදු වෙලා. මෙවැනි මට්ටමක තොරතුරු සෙවීමකට අපේ රට පැමිණ තිබෙනවා.

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් යටි අරමුණක් සඳහා 12,600ක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිසිම සොයා බැලීමකින් තොරව නිදහස් කළා. එයින් අති විශාල ප්‍රමාණයක් යුද හමුදා බුද්ධි අංශයට බඳවාගෙන වැටුප් ගෙව්වා. එසේ කළේ ඡන්දය ජය ගැනීමටයි. එය සිදුවී මේ වන විට කාලයක් ගත වෙලා. ත්‍රස්තවාදය වැළැක්වීමේ නවීකාරක පනතක් කොටුම්පත් කර දැන් පාර්ලිමේන්තුව ඉදිරියේ තිබෙනවා. පසුගිය කාලයේ පැවැත්වූ මැතිවරණවලදී ජනතාව නිදහසේ ඡන්දය ලබා දුන්නා. උතුරේ ආර්ථිකය දකුණේ ආර්ථිකයත් සමඟ මිශ්‍රව ගමන් කරනවා.

ඉහත කරුණුවලින් අපට බොහෝ දේ පෙනෙනවා. පසුගිය තුවාල පාර පාර ඒවා ඉදිරියට ගෙන යෑමේ තේරුමක් නෑ කියන එකයි අපේ ස්ථාවරය. අතීතය අමතක කර අප ඉදිරියට යා යුතුයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, සම්බන්දන් මහතා, මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා. නමුත් හර්තාල්වලට සම්බන්ධ පිරිස් කියන්නේ හමුදාවට දඬුවම් ලබා දිය යුතු බවයි. සන්නද්ධ දමිළ කණ්ඩායම් දොරේඅප්පා ඝාතනය කළා අපට මතකයි. උතුරේ යුදමය ක්‍රියාදාමය ප්‍රධාන වශයෙන් සිදු කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය. එල්.ටී.ටී.ඊ. සංවිධානයද නවදහසක් ඝාතන සිදු කළා. සිංහල දේශපාලනඥයන් රැසක්ද ඔවුන් අතින් ඝාතනය වුණා. සිංහල, මුස්ලිම් ජනතාව උතුරෙන් පැන්නුවා. දමිළ ජනතාව මිනිස් පළිහක් ලෙස යොදා ගත්තා. මේ සියල්ල මනුෂ්‍යත්වයට එරෙහි යුද අපරාධ. අපි අහන්නේ මේ පුද්ගලන්ට දඬුවම් නැද්ද කියලා. එල්.ටී.ටී.ඊ. නායකයන් සහ නිදහස්වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විශාල පිරිසක් මේ වන විට සිටිනවා. යුද අපරාධ කළා කියා ආරක්ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරන පිරිස්වලට අපි කියන්නේ එල්.ටී.ටී.ඊ.යේ එම පිරිස්ද අත්අඩංගුවට ගත යුතු බවයි. අද හර්තාල් කරන බොහෝ සංවිධාන එදා අවි ගත් පිරිස්. ඔවුන්ද එදා ඝාතන ක්‍රියාවලියේ නිරත වුණා.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අතින්ද එදා දකුණේ ජනතාව ඝාතනය වුණා. අතීතයට යුක්තිය ඉටු කරනවා නම් මේ සියලු දෙනාට නඩු පැවරිය යුතුයි. මේක ප්‍රායෝගිකව කරන් පුළුවන්ද? අතුරුදන්වූවන් පිළිබඳව දැන් සහතික නිකුත් කළ යුතුයි. අතුරුදන්වූවන් පිළිබඳව තව කොමිෂන් වැඩක් නෑ.

මාතෘකා