ආණ්ඩුව කරන්නේ අපේ අයව කොටවන එක

 ඡායාරූපය:

ආණ්ඩුව කරන්නේ අපේ අයව කොටවන එක

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

මේ ආණ්ඩුව අපත් සමග සිටින පක්ෂ කොටවන්න හදනවා. බොරු මඩ ප්‍රචාර ගෙනයන්න හදනවා. පුද්ගලයන් කොටවන්න හදනවා.”යැයි, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය පිහිටුවීමේ හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.

“අපි ආණ්ඩුව බාර දෙනවිට මත්කුඩු සහ පාතාල ක්‍රියාකාරකම් තිබුණේ නෑ. රටේ ක්‍රියාත්මකව පැවති පාතාලය දින පනස් එකේ ආණ්ඩුව කාලේදීත් නතර වුණා. එම දින පනස් එකේ පැවති මිනී මැරුම් ප්‍රමාණය කීයද කියල බලන්න. දැන් නම් මන්ත්‍රීවරුත් කොකේන් භාවිත කරන බවට ආණ්ඩුවේම රාජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා. දින පනස් එකෙන් සති දෙකක් අධිකරණය මගින් වැඩ තහනම් කර තිබුණා. ඒ අධිකරණ තීන්දුව පිළිබඳව මම කතා කරන්න යන්නේ නෑ. සමහරු වැරදියි කියනවා.

නමුත් දින පනස් එකේ ආණ්ඩුවෙන් රටට සිදුවූ වාසිය ගැන අද කවුරුත් කතා කරන්නේ නෑ. ඒ තුළින් රටට සිදුවූ වාසියට වඩා මට සිදුවූ අවාසිය වැඩියි. මම හැම විටම සිතන්නෙ රටට වැඩක් වෙනවා නම් මට අවාසි වුණත් කමක් නෑ, ඒ සඳහා මම කැප වෙනවා කියලයි. ඒ නිසා තමයි අපි යුද්ධය අවසන් කිරීමට අත ගැහුවෙ. වරායට ගත් ණය අපි ගෙව්වා. ගෙවන්න පුළුවන් ණය ප්‍රමාණය අපි දන්නවා. ණය නොගෙන වැඩ නොකර ඉන්න පුළුවන්. දැන් මේ ආණ්ඩුව කරන්නෙ අපි අරක කරනවා, මේක කරනවා දැන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිවී තිබෙනවා, විශාල ආර්ථිකයක් ඇතිවී තිබෙනවා කිය කියා කටින් බතල හිටවන එකයි. ගමේ එකෙකුට ජීවත් වෙන්න බෑ පොලිසිය උස්සගෙන ගිහින් පුච්චලා මරණවා. අළුවත් නෑ. රත්ගම තරුණයන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකියන්න ඕන. ඒ සිද්ධිය රට තුළ ඇති කළේ හොඳ තත්ත්වයක් නොවෙයි.

අපත් සමග සිටින පක්ෂ කොටවන්න හදනවා. බොරු මඩ ප්‍රචාර ගෙන යන්න හදනවා. පුද්ගලයන් කොටවන්න හදනවා. ඒ හැර වෙන දෙයක් කරන්න බෑ. ආණ්ඩුව බොරුවෙන් ජීවත් වෙනවා. ඒ වගේම ආණ්ඩුවේ මේ බදු ක්‍රමය ක්‍රියාත්මක වුණොත් මිනිහා දුප්පත් වෙනවා මිසක් ව්‍යාපාර ගොඩ නැඟෙන්නෙ නෑ.

ඉඳිආප්ප සහ ආප්ප කඩවලටත් පාර අයිනේ තියෙන පෙට්ටි කඩේටත් අද ආදායම් බදු ගෙවීමට සිදුවෙලා. මේ වසර මැතිවරණ වසරක් නිසා යම් යම් දේවල් මේ අය වැයෙන් අඩු වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඊළඟ ආණ්ඩුවට තමයි මොකක්ද කරන්න වෙන්නෙ කියල හිතන්න වෙන්නෙ. අපි එහෙම නෑ. ආණ්ඩුව තිබුණත් නැතත් යන වැඩපිළවෙළ එකයි. අපේ ආණ්ඩුවක් යටතේ රට, ජනතාව සහ සියලු ජාතීන් ශක්තිමත් කරනවා.

මාතෘකා