අපි වැඩ කරනවා, හැබැයි රාජ්‍ය නිලධාරීන්ව දේශපාලනිකව මෙහෙයවන්නේ නැහැ : ඇමතිනී තලතා අතුකෝරළ

 ඡායාරූපය:

අපි වැඩ කරනවා, හැබැයි රාජ්‍ය නිලධාරීන්ව දේශපාලනිකව මෙහෙයවන්නේ නැහැ : ඇමතිනී තලතා අතුකෝරළ

සමෘද්ධිය ලැබීමට එකම සුදුසුකම විය යුත්තේ අඩු ආදායම්ලාභියෙක් වීම පමණක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ පවුල් ලක්ෂ හයකට සමෘද්ධිය ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ ඊයේ (25) බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ පවුල් 1,700ක් සඳහා සමෘද්ධි සහනාධාර හිමිකම්පත් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද කීවාය.

"මොන පක්ෂය නියෝජනය කළත් සුදුසු අයට සහනාධාර ලබා දෙනවා. සහනාධාර දෙන්නේ රජයේ මුදල්වලින්. ඒ හැම එකකම අයිතිය අපි ඔක්කොටම තිබෙනවා. ඒ තුළින් ඔබ සවිමත් වෙන්න ඕන. ඔබ එදා වරප්‍රසාද අහිමිව ඉන්න ඇති. එදා ජනසවිය ගත්ත අය වසර දෙකක් තුළ සවිබල ගැන්වුණා. ඒත් 1994න් පස්සේ මේක දේශපාලනීකරණය වුණා. එක කොටසකට විතරක් සමෘද්ධිය හිමි වුණා. එදා බැලුවේ දේශපාලනය විතරයි. එහෙම නෙවෙයි සමෘද්ධිය දෙන්න එකම සුදුසුකම තමන් නියෝජනය කරන ජන වර්ගය දේශපාලන පක්ෂය එහෙමත් නැත්නම් එකම සුදුසුකම තමන්ගේ ආගම නොවිය යුතුයි. සමෘද්ධිය ලැබීමට එකම සුදුසුකම විය යුත්තේ අඩු ආදායම්ලාභියකු වීම පමණයි. පසුගිය අවුරුදු 20 තුළ සවිබල ගැන්වීම පිළිබඳව අපිට කියන්න දෙයක් නැහැ. මේවා රජයේ මුදල්. මේ සහනාධාරය තුළින් ඔබ සවිමත් වෙන්න ඕන. අපි දන්නවා පහුගිය කාලය තුළදී ඇතැම් රජයේ නිලධාරීන් සමහර විදෙස්ගත ශ්‍රමිකයන් හැටියට ඉන්න අය තවත් විවිධ ව්‍යාපාර කරන ඉඩම් හිමියන් මේ ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. අපි අද ඒකෙන් වෙනස් වෙලා උපරිම වශයෙන් මොන පක්ෂය නියෝජනය කළත් සුදුසු අයට මේ සහනාධාරය දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන් මේ සහනාධාර ක්‍රම අපි වගේ දුප්පත් රටවල පමණක් නෙවේ කැනඩාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය එහෙමත් නැත්නම් වෙනත් දියුණු රටවලත් ක්‍රියාත්මක කෙරෙනවා.

"සමහර රටවල තරුණ තරුණියන්ට රැකියාවක් ලැබෙනකල් රජයෙන් ආධාර මුදලක් ලබා දෙනවා. වැඩිහිටි අයට සහනාධාර ලබා දීලා නඩත්තු කරනවා. මේ සහනාධාරය කියන එක අර්ථවත් වෙන්න ඕන. ලැබෙන්න ඕන කෙනාට තමයි සහනාධාර ලබා දෙන්න ඕන. සමහර අය අහනවලු අපි මොනවද කළේ කියලා. ඒ අයට එන්න කියන්න අපි කරපු වැඩ පෙන්වන්නම්. 1995 ඉඳලා 2015 දක්වා කළාට වඩා වැඩි වැඩ කොටසක් අපි කළා. ඉදිරියටත් අපි කරගෙන යනවා. කල්තොට රෝහල මූලික රෝහලක් බවට උසස් කරනවා. කෝටියක් වටිනා ගිලන් රථයක් ඒ රෝහලට පරිත්‍යාග කරනවා. ලක්ෂ හයකට සමෘද්ධිය ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ විසිපන්දහසකට පමණ සමෘද්ධිය ලබා දෙනවා. ඒ යටතේ බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ තුන් දහස් පන්සීයකට වඩා සමෘද්ධිය දෙනවා. අපි කරන දේවල් තුළ රාජ්‍ය නිලධාරීන් දේශපාලනිකව මෙහෙයවන්නේ නැහැ. එදා බෝම්බ පිපිරුණ වෙලාවේ අගමැතිතුමා එහි වගකීම බාර ගත්තා. ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයට අහිංසක මුස්ලිම් ජනතාව පළි නැහැ. ඒ පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ සිදු කරනවා.

"තමුන්නාන්සේලාට මතක ඇති එදා 2015 ජනවාරි 08 වැනිදාට කලින් තිබුණේ මහමඟ මරා දාන යුගයක්. එදා සැනසිල්ලේ දේශපාලනය කරන්න දුන්නේ නැහැ. අද ඔබට කැමති දේශපාලනයක් කරන්න පුළුවන්. රාජ්‍ය නිලධාරීන් දේශපාලනයට යොදා ගත්තා. රජයේ නිලධාරීන් ලෙස තමන්ට ඕනම දේශපාලනයක් කරන්න පුළුවන්. ඒත් රාජකාරියත් එක්ක දේශපාලනය කරන්න බැහැ. එදා කුමන්ත්‍රණයක් කළා. සමහර අයගේ බලයට එන්න තියෙන කෑදරකම නිසාම දිරච්ච ලණු කෑවා. මේ රට මාස හයක් ආපස්සට ගෙනිච්චේ ඒ දේවල් නිසායි."

මාතෘකා